සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

15. දිට්ඨි වර්ගය

7. අත්තානු දිට්ඨි සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, කුමක් ඇති කල්හි, කුමක් නිසා කුමකට පිවිස ආත්මානු දෘෂ්ටිය උපදීද?” - “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.”

“මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස ආත්මානු දෘෂ්ටිය උපදී. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පිවිස ආත්මානු දෘෂ්ටිය උපදී. සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාවට පිවිස ආත්මානු දෘෂ්ටිය උපදී. සංස්කාරයන් ඇති කල්හි සංස්කාරයන් නිසා සංස්කාරයන්ට පිවිස ආත්මානු දෘෂ්ටිය උපදී. විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා විඤ්ඤාණයට පිවිස ආත්මානු දෘෂ්ටිය උපදී.”

“මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍යනම්, එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් ආත්මානු දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, මෙය නොවේමය.”

“වේදනාව නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍ය නම් එය දුකද; සැපද?” - “ස්වාමීනි, දුකය.’

“යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය තදින් අල්ලා නොගැනීමෙන් ආත්මානු දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, මෙය නොවේමය.”

“සංඥාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍යනම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් ආත්මානු දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි මෙය නොවේමය.”

“සංස්කාරයන් නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍ය නම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් ආත්මානු දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, මෙය නොවේමය.”

“විඥාණය නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍යනම්, එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් ආත්මානු දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි මෙය නොවේමය.

මෙසේ දක්නාවූ, අශ්‍රැතවත් ආර්යශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නො ඇලෙයි (ඵලයට පැමිණීමෙන්) නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි නුවණ (පහළ) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේ යයි දනියි.” යනුයි.

(හත්වෙනි අත්තානු දිට්ඨි සූත්‍රය නිමි.)