සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

2. අනිත්‍ය වර්ගය

9. හේතු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, රූපය අනාත්මය. රූපයේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් රූපය කෙසේ ආත්මය වන්නේද?

“වේදනාව අනාත්මය. වේදනාවේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් වේදනාව කෙසේ ආත්මය වන්නේද?

“සඤ්ඤාව අනාත්මය, සංඥාවේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනාත්මය. මහණෙනි අනාත්මවූ හේතුවෙන් හටගත් සංඥාව කෙසේ ආත්මය වන්නේද?

“සංස්කාර අනාත්මය, සංස්කාරයන්ගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් සංස්කාර කෙසේ ආත්මය වන්නේද?

“විඤ්ඤාණය අනාත්මය, විඤ්ඤාණයේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් විඤ්ඤාණය කෙසේ ආත්මය වන්නේද?

“මහණෙනි, බොහෝ ඇසූ පිරූතැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන ඥානය ඇතිවෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලදී. කළයුත්ත කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”

(නවවෙනි හේතු සූත්‍රය නිමි)