සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

3. භාර වර්ගය

1. භාර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි තොපට බරද, බර ගෙනයන්නාද, බර ඉසිලීමද, බර බහා තැබීමද, දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. දේශනා කරන්නෙමි”යි වදාළසේක. “එසේය, ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, බර නම් කවරේද? ඊට උපාදානස්කන්ධ පසයයි කියයුතුය. කවර පසක්ද? එනම්:- රූප උපාදානස්කන්ධය, වේදනාඋපාදානස්කන්ධය, සඤ්ඤාඋපාදානස්කන්ධය, සංස්කාරඋපාදානස්කන්ධය, විඤ්ඤාණඋපාදානස්කන්ධය යනුයි. මහණෙනි, මේ බරයයි කියනු ලැබේ.

“මහණෙනි, බර ගෙන යන්නා නම් කවරෙක්ද? ඔහුට පුද්ගලයායයි කිය යුතුය. මෙබඳු නමක් ඇත්තාවූ හෝ මෙබඳු ගොත්‍ර ඇත්තාවූ හෝ යම් ඒ ආයුෂ්මතෙක් වෙයිද, මහණෙනි, මේ තැනැත්තා බර ගෙනයන්නායයි කියනු ලැබේ.

“මහණෙනි, බර ඉසිලීම නම් කවරේද? නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ, ඇලීමෙන් යුක්තවූ, ඒ ඒ භවයෙහි ඇලෙන්නාවූ, යම් ඒ තෘෂ්ණාවක් වේද? එනම්:- කාම තණ්හාවය, භව තණ්හාවය, විභව තණ්හාවය යන මොහුයි. මහණෙනි, මේ බර ඉසිලීමයයි කියනු ලැබේ.

“මහණෙනි, බර බහා තැබීම කවරේද? ඒ තණ්හාවගේ යම් මුළුමනින්ම නිරුද්ධ කිරීමක්, අත්හැරීමක්, දුරලීමක් මිදීමක්, නොඇල්මක් වේද? මහණෙනි, මේ බර බහාතැබීමයයි කියනු ලැබේ.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය මෙසේ වදාරා, සුගත නම්වූ ශාස්තෲන් වහන්සේ නැවත මෙසේ වදාළ සේක.

“ලෝකයෙහි බර නම් ඒකාන්තයෙන්ම පඤ්චස්කන්ධයෝය, බර ගෙන යන්නා නම් පුද්ගලයාය. බර ඉසිලීම නම් දුකය. බර බහා තැබීම සැපය නම් වේ.

“මහත්වූ බර බහා තබා, අන් බරක් නොගෙන, මුල් සහිතවූ, තෘෂ්ණාව උදුරා, තෘෂ්ණා රහිතවූයේ පිරිනිවියේය.”

(පළමුවෙනි භාර සූත්‍රය නිමි.)