සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

3. භාර වර්ගය

5. අස්සාද සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, චතුස්සත්‍යය අවබොධ කිරීමට පළමු බුදුනොවූ බොධිසත්වවූම මට මෙබඳු සිතක් ඇතිවිය. ‘රූපයාගේ ආශ්වාදය (රසවිඳීම) කුමක්ද? ආදීනවය (දොෂය) කුමක්ද? නිස්සරණය (නිදහස්වීම) කුමක්ද? වේදනාවගේ ආශ්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද? සඤ්ඤාවගේ ආශ්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද? සංස්කාරයන්ගේ ආශ්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද? විඤ්ඤාණයගේ ආශ්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද? කියායි. මහණෙනි, ඒ මට මෙසේ අදහස් විය.

‘රූපය නිසා යම්කිසි සැපයක්, සොම්නසක් ඇතිවේද මේ රූපයාගේ ආශ්වාදයයි. යම් රූපයක් අනිත්‍යයද, දුකද පෙරලෙන සුළුද, මේ රූපයගේ ආදීනවයයි. රූපයෙහි යම් ආශාව දුරුකිරීමක්, නැතිකිරීමක් වේද, මේ රූපයාගේ නිස්සරණයයි.

“වේදනාව නිසා යම්කිසි සැපයක්, සොම්නසක් ඇති වේද, මේ වේදනාවේ ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද දුකද, පෙරළෙන සුළුද, මේ වේදනාවේ ආදීනවයයි. වේදනාවෙහි යම් ආශාව දුරු කිරීමක්, නැතිකිරීමක් වේද, මේ වේදනාවේ නිස්සරණයයි.

‘සංඥාව නිසා යම්කිසි සැපයක්, සොම්නසක් ඇතිවේද, මේ සංඥාවේ ආශ්වාදයයි. යම් සංඥාවක් අනිත්‍යද, දුකද, පෙරලෙන සුළුද, මේ සංඥාවේ ආදීනවයයි. සංඥාවේ යම් ආශාව දුරු කිරීමක්, නැති කිරීමක් වේද, මේ සංඥාවේ නිස්සරණයයි.

‘සංස්කාරය නිසා යම් කිසි සැපයක්, සොම්නසක් ඇතිවේද, මේ සංස්කාරයන්ගේ ආශ්වාදයයි. යම් සංස්කාරයක් අනිත්‍යද, දුකද පෙරලෙන සුළුද, මේ සංස්කාරයාගේ ආදීනවයයි. සංස්කාරයන්හි යම් ආශාව දුරු කිරීමක්, නැති කිරීමක් වේද, ඒ සංස්කාරයන්ගේ නිස්සරණයයි.

“විඤ්ඤාණය නිසා යම් කිසි සැපයක් සොම්නසක් ඇති වේද, ඒ විඤ්ඤාණයාගේ ආශ්වාදයයි. යම් විඤ්ඤාණයක් අනිත්‍යද, දුකද, පෙරළෙන සුළුද, මේ විඤ්ඤාණයාගේ ආදීනවයයි. විඤ්ඤාණයෙහි යම් ආශාව දුරු කිරීමක්, නැති කිරීමක් වේද, මේ විඤ්ඤාණයාගේ නිස්සරණයයි.’

‘මහණෙනි, යම්තාක් කල් මම මේ පඤ්ච උපාදානස්කන්ධයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාදය වශයෙන්ද, ආදීනවය ආදීනවය වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, තත්වාකාරයෙන් අවබෝධ නොකෙළෙම්ද, මහණෙනි, මම ඒතාක් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත සත්ව ලෝකයෙහිද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළෙම්යයි ප්‍රතිඥා නොකෙළෙමි.

“මහණෙනි, යම් කලෙක මම මේ පඤ්ච උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදය, ආශ්වාදය වශයෙන්ද, ආදීනවය, ආදීනවය වශයෙන්ද, නිස්සරණය, නිස්සරණය වශයෙන්ද, තත්වාකාරයෙන් අවබෝධ කෙළෙම්ද? එකල්හි මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත සත්ව ලොකයෙහිද මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත, ප්‍රජාව අතරෙහිද උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළෙම්යයි ප්‍රතිඥා කෙළෙමි. මාගේ අර්හත්ඵල විමුක්තිය ස්ථිරය. මේ අන්තිම ජාතියයි. නැවත ඉපදීමක් නැත යන ඥාන දර්ශනය මට පහළ විය.”

(පස්වෙනි අස්සාද සූත්‍රය නිමි.)