සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

3. භාර වර්ගය

6. අස්සාද සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, මම රූපයේ ආශ්වාදය සොයමින් හැසුරුනෙමි. රූපයේ යම් ආශ්වාදයක් වේනම් ඊට පැමිණියෙමි. යම්තාක් රූපයාගේ ආශ්වාදයක්වේද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම රූපයේ ආදීනව සොයමින් හැසුරුණෙමි රූපයේ යම් ආදීනවයක් වේද, ඊට පැමිණියෙමි. රූපයාගේ යම්තාක් ආදීනව වෙයිද, මා විසින් එය නුවණින් මනා කොට දක්නා ලදී.

“මහණෙනි, මම රූපයේ නිස්සරණය සොයමින් හැසුරුණෙමි. රූපයේ යම් නිස්සරණයක් වේද, එයට පැමිණියෙමි. රූපයාගේ නිස්සරණය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම වේදනාවේ ආශ්වාදය සොයමින් හැසුරුණෙමි. වේදනාවේ යම් ආශ්වාදයක් වේද එයට පැමිණියෙමි. වේදනාවේ ආශ්වාදය යම්තාක්ද මා විසින් නුවණින් එය මනාකොට දක්නාලදී.

“මහණෙනි, මම වේදනාවේ ආදීනවය සොයමින් හැසුරුණෙමි. වේදනාවේ යම් දෝෂයක් වේද, එයට පැමිණියෙමි. වේදනාවේ ආදීනවය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම වේදනාවේ නිස්සරණය සොයමින් හැසුරුණෙමි. වේදනාවේ යම් නිස්සරණයක් වේද, එයට පැමිණියෙමි. වේදනාවේ නිස්සරණය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම සඤ්ඤාවෙහි ආශ්වාදය සොයමින් හැසුරුණෙමි. සංඥාවෙහි යම් ආශ්වාදයක් වේද, එයට පැමිණියෙමි. සංඥාවෙහි ආශ්වාදය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම සංඥාවේ ආදීනව සොයමින් හැසුරුනෙමි. සංඥාවේ යම් ආදීනවයක් වේද, එයට පැමිණියෙමි. සංඥාවේ ආදීනවය යම්තාක්ද, මා විසින් එය මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම සංඥාවේ නිස්සරණය සොයමින් හැසුරුණෙමි. සංඥාවේ යම් නිස්සරණයක් වේද, එයට පැමිණියෙමි. සංඥාවේ නිස්සරණය යම් තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම සංස්කාරයන්ගේ ආශ්වාදය සොයමින් හැසුරුණෙමි. සංස්කාරයන්ගේ යම් ආශ්වාදයක් වේද, එයට පැමිණියෙමි. සංස්කාරයන්ගේ ආශ්වාදය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නාලදී.

“මහණෙනි, මම සංස්කාරයන්ගේ ආදීනව සොයමින් හැසුරුණෙමි. සංස්කාරයන්ගේ යම් ආදීනවයක් වේද, එයට පැමිණියෙමි. සංස්කාරයන්ගේ ආදීනවය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම සංස්කාරයන්ගේ නිස්සරණය සොයමින් හැසුරුණෙමි. සංස්කාරයන්ගේ යම් නිස්සරණයක් වේද, එයට පැමිණියෙමි. සංස්කාරයන්ගේ නිස්සරණය යම්තාක්ද මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම විඤ්ඤාණයේ ආශ්වාදය සොයමින් හැසුරුණෙමි. විඤ්ඤාණයේ යම් ආශ්වාදයක් වේද, එයට පැමිණියෙමි. විඤ්ඤාණයේ ආශ්වාදය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම විඤ්ඤාණයේ ආදීනව සොයමින් හැසුරුණෙමි. විඤ්ඤාණයේ යම් ආදීනවයක් වේද, එයට පැමිණියෙමි. විඤ්ඤාණයේ ආදීනව යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම විඤ්ඤාණයේ නිස්සරණය සොයමින් හැසුරුණෙමි. විඤ්ඤාණයේ යම් නිස්සරණයක් වේද, එයට පැමිණියෙමි. විඤ්ඤාණයේ නිස්සරණය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම යම් කලෙක මේ පඤ්ච උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදය ආශ්වාදය වශයෙන්ද, ආදීනවය ආදීනවය වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, තත්වාකාරයෙන් අවබෝධ නොකෙළෙම්ද, මහණෙනි, මම ඒතාක් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත සත්ව ලෝකයෙහිද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබොධ කෙළෙම්යයි ප්‍රතිඥා නොකෙළෙමි.

“මහණෙනි, මම යම් කලෙක පඤ්ච උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදය ආශ්වාදය වශයෙන්ද, ආදීනව ආදීනව වශයෙන්ද නිස්සරණය නිස්සරණය වශයෙන්ද, තත්වාකාරයෙන් අවබෝධ කළෙම්ද, එකල්හි මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත සත්ව ලෝකයෙහිද, මහණ, බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළෙම්යයි ප්‍රතිඥා කළෙමි. මගේ අර්හත් ඵල විමුක්තිය ස්ථිරය. මේ අන්තිම ජාතියයි. නැවත ඉපදීමක් නැත යන ඥාන දර්ශනය මට පහළ විය.”

(හයවෙනි අස්සාද සූත්‍රය නිමි.)