සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

1. නකුල පිතු වර්ගය

3. හාලිද්දකානි සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක ආයුෂ්මත්වූ මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ අවන්ති ජනපදයෙහි කුරිර ඝරනම් නගරයෙහි පවත්ත නම් පර්වතයෙහි වාසය කරන සේක.

ඉක්බිති හාලිද්දකානි නම් ගෘහපතිතෙමේ ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහාකාච්චායන ස්ථවිරයන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවූ හාලිද්දකානි ගෘහපතිතෙම ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේට මේ කාරණය සැලකළේය. එනම්: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටක වර්ගයෙහි මාගන්දිය ප්‍රශ්නයෙහි මෙසේ වදාරන ලදි.

‘ගෙය අත්හැර ගෙයි වාසය නොකරන්නාවූ ගම හා එක්ව නොවසන්නාවූ, කාමයන් කෙරෙන් මිදුණාවූ, සසර පෙරටුකොට නැත්තාවූ මහණතෙමේ කෙසේනම් ජනයා සමග විරුද්ධව කථා නොකරන්නේද?’

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දත යුතුද යනුයි.

“ගෘහපතිය, රූපස්කන්ධය වනාහි විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. විඥානය රූපස්කන්ධයෙහි ඇලෙන රාගයෙන් බැඳුණ විඤ්ඤාණය ඔක සාරීයයි’ කියනු ලැබේ. ගෘහපතිය, වේදනා ස්කන්ධය විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. වේදනාවෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානය ‘ඔක සාරීයයි’ කියනු ලැබේ.

“ගෘහපතිය, සංඥා ස්කන්ධය විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. සංඥා ස්කන්ධයෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානය ‘ඔකසාරීයයි’ කියනු ලැබේ.

“ගෘහපතිය, සංස්කාර ස්කන්ධ විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. සංස්කාර ස්කන්ධයෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානය ‘ඔකසාරීයයි’ කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි ඔකසාරී නම් වෙයි.

“ගෘහපතිය, කෙසේනම් අනොකසාරී නම් වේද? ගෘහපතිය, රූප ස්කන්ධයෙහි ඇලෙන යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, තෘෂ්ණා දෘෂ්ටි යන උපාසයන් සහ සතර උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට ස්ථානවූ, අනුසය ධර්මයෝ වෙත්ද ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදහ. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහු. නැවත හට නොගන්නා ස්වභාවයක් කරන ලද්දාහුය. විනාශ කරන ලදහ. නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලදහ. එහෙයින් තථාගතයන් වහන්සේ ‘අනොකසාරීයයි’ කියනු ලැබේ.

“ගෘහපතිය වේදනා ස්කන්ධයෙහි, ගෘහපතිය, සංඥා ස්කන්ධයෙහි, ගෘහපතිය, සංස්කාර ස්කන්ධයෙහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, යම් තෘෂ්ණා දෘෂ්ටි යන උපාය සහ සතර උපාදානයෝ අකුසල් සිතට වාසස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහ. මත්තෙහි නූපදනා බවට පමුණුවන ලද්දාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනොකසාරී යයි කියනු ලැබේ.

“ගෘහපතිය, විඥාන ධාතුවෙහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, යම් උපාය උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට වාසස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදහ. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනොකසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනොකසාරී නම් වෙයි.

“ගෘහපතිය, කෙසේනම් නිකෙතසාරී (ගෙයි හැසිරෙන්නේ නම්) වේද, රූපාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, ශබ්දාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ. ගන්ධාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ. රසාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ. පොට්ඨබ්බාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකේතසාරීයයි කියනු ලැබේ. ධර්මාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය මෙසේ වනාහි නිකෙතසාරී නම් වෙයි.

“ගෘහපතිය, කෙසේ නම් අනිකෙතසාරී නම් වේද? ගෘහපතිය, රූපාරම්මණය නැමති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරී නම් වෙයි.

“ගෘහපතිය, ශබ්දාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශ ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරී නම් වෙයි.

“ගෘහපතිය, ගන්ධාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරී නම් වෙයි.

“ගෘහපතිය, රසාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශකරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරීනම් වෙයි.

“ගෘහපතිය, ස්පර්ශාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරීනම් වෙයි.

“ගෘහපතිය, ධර්මාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙත සාරීනම් වෙයි.

‘ගෘහපතිය, කෙසේ නම් ගම හා එක්වන ස්වභාවය ඇත්තේද? ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ගිහියන් හා එක්ව වාසය කරයි. එක්ව සතුටු වෙමින්, එක්ව ශෝකවෙමින් ගිහියන් හා සැපවත්වූ කල්හි තමාත් සැප සහිත වෙමින්, ගිහියන් දුක් සහිතවූ කල්හි තමාත් දුක් සහිත වෙමින්, ගිහියන්ගේ නොයෙක් කටයුතු උපන් කල්හි තමාත් ඔවුන් හා එක්වීමට පැමිණෙයි. ගෘහපතිය, මෙසේ වනාහි ගම හා එක්ව වාසය කරන්නේ නම් වේ.

“ගෘහපතිය, කෙසේනම් ගම හා එක්ව වාසය නොකරන්නේද? ගෘහපතිය, මේ ශාසනයෙහි මහණතෙම ගිහියන් හා මිශ්‍රව වාසය නොකරයි. ගිහියන් හා එක්ව සතුටු නොවන්නේ ශෝක නොවන්නේ ගිහියන් සැප සහිතවූ කල්හි තමාත් සැප සහිත නොවන්නේ ගිහියන් දුක් සහිතවූ කල්හි තමාත් දුක් සහිත නොවන්නේ ගිහියන්ගේ කටයුතු උපන් කල්හි ඒ කටයුතුවලට එක්වීමට නොපැමිණෙන්නේ වෙයි. ගෘහපතිය, මෙසේ වනාහි ගම හා එක් නොවන්නේ නම් වේ.

‘ගෘහපතිය, කෙසේ නම් කාමයන්ගෙන් නොමිදුණේ නම් වේද? ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්හි දුරු නොකළ රාගය ඇත්තේ වේද, දුරු නොකළ ඡන්දය ඇත්තේවේද, දුරු නොකළ ප්‍රේමය ඇත්තේ වේද, දුරු නොකළ පිපාසය ඇත්තේ වේද, දුරු නොකළ දාහය ඇත්තේ වේද, දුරු නොකළ තෘෂ්ණාව ඇත්තේ වේද, ගෘහපතිය, මෙසේ වනාහි කාමයන්ගෙන් නොමිදුණේ නම් වෙයි.

“ගෘහපතිය, කෙසේ නම් කාමයන්ගෙන් මිදුණේ නම් වේද? මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්හි දුරු කළ රාගය ඇත්තේවේද, දුරුකළ ඡන්දය ඇත්තේ වේද, දුරුකළ ප්‍රේමය ඇත්තේ වේද, දුරුකළ පිපාසය ඇත්තේ වේද, දුරුකළ දාහය ඇත්තේ වේද, දුරුකළ තෘෂ්ණාව ඇත්තේ වේද, ගෘහපතිය, මෙසේ වනාහි කාමයන්ගෙන් මිදුණේ නම් වෙයි.

“ගෘහපතිය, කෙසේ නම් සසර පෙරටුකොට ඇත්තේ නම් වේද, ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැමෙකුට අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්වා. මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳුවූ විඥාන ඇත්තෙක් වන්නෙම්වායි මෙසේ අදහස් වෙයි. ගෘහපතිය, මෙසේ වනාහි සසර පෙරටුකොට ඇත්තේ නම් වෙයි.

“ගෘහපතිය, කෙසේ නම් සසර පෙරටුකොට නැත්තේ නම් වේද, ගෘහපතිය මේ ශාසනයෙහි ඇතැම් කෙනෙකුට අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙම්වායි. මෙසේ අදහස් නොවේද, ගෘහපතිය, මෙසේ වනාහි සසර පෙරටුකොට නැත්තේ නම් වෙයි.

“ගෘහපතිය, කෙසේනම් ජනයා සමග විරුද්ධ කථා කරන්නේ නම් වේද? ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැමෙක් මෙවැනි කථා කරන්නේ වෙයි කෙසේද? ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දන්නෙමි. කිමෙක්ද නුඹ මේ ධර්ම විනය දන්නෙහිද, නුඹ වරදවා පිළිපන්නෙක් වෙහිය. මම මනාකොට පිළිපන්නෙක් වෙමි. පළමුව කියයුත්ත පසුව කීයෙහිය. පසුව කියයුත්ත පළමුව කීයෙහිය. මාගේ වචනය සිළුටුය (මධුරය.) තාගේ වචනය අසිළුටුය (අමධුරය) තා විසින් බොහෝ කලක් පුරුදු කරනලද වාදය මාගේ වාදයට පැමිණ, ක්ෂණයකින් නවතින්නේය. මා විසින් තොපගේ දෝෂය නංවනලදී. මේ වාදයෙන් මිදෙනු පිණිස ගුරුන් සොයා යව. ඉදින් නිග්‍රහ කරන ලද්දේවෙහි, හැකි නම් ප්‍රශ්නය විසඳව’ කියායි.

“ගෘහපතිය, මෙසේ වනාහි ජනයා සමග විරුද්ධ කථා කරන්නේ නම් වෙයි. ගෘහපතිය, කෙසේ නම් ජනයා සමග විරුද්ධ කථා නොකරන්නේ නම් වෙයිද?

“ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම මෙසේ කථා නොකරන්නේ වෙයි කෙසේද? ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය, මම මේ ධර්ම විනය දන්නෙමි. කිම, නුඹ මේ ධර්මවිනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නේ වෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. පළමුව කියයුත්ත පසුව කීවෙහිය. පසුව කියයුත්ත පළමුව කීවෙහිය. මාගේ වචනය සිළුටුය. තාගේ වචනය අසිළුටුය. තා විසින් බොහෝ කලක් පුරුදු කරන ලද්ද මාගේ වාදයට පැමිණ නවතියි. මා විසින් වාදය ආරොපනය කරනලදී. වාදයෙන් මිදෙනු පිණිස ගුරුන් කරා යව. නිග්‍රහ කරන ලද්දෙහි ඉදින් සමර්ථවෙහි නම් විසඳවයි’ මෙබඳු කථා නොකරන්නේ වෙයි.

“ගෘහපතිය, මෙසේ වනාහි ජනයා සමග විරුද්ධ කථා නොකරන්නේ වෙයි. ගෘහපතිය, මෙසේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටක වර්ගයෙහි මාගන්දිය ප්‍රශ්නයෙහි “ගෙය අත්හැර ගෙයි වාසය නොකරන්නාවූ, ගම හා එක්ව නොවසන්නාවූ, කාමයන් කෙරෙන් මිදුණාවූ, සසර පෙරටු කොට නැත්තාවූ, මහණ තෙමේ කෙසේ ජනයා සමග විරුද්ධ කථා නොකරන්නේද?” යන යම් වචනය වදාරන ලද්දේද, ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාළ මේ වචනයාගේ අර්ථය විස්තර වශයෙන් මෙසේ දතයුතු.”

(තුන්වෙනි හාලිද්දකානි සූත්‍රය නිමි.)