සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

4. නතුම්හාක වග්ගය

3. භික්ඛු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා තනිව, විවේකව අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙම්ද, (එබඳුවූ) ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ කොටින් දේශනා කරන සේක්වා” යනුයි.

“මහණ, යමක් (කාමරාගාදී කෙලෙස්) අත්නොහැර පවතියිද, එය (කාමරාගාදී කෙලෙස්) සංඛ්‍යාවට පැමිණෙයි. යමක් (කෙලෙස්) අත්නොහැර නොවතියි නම් එය (කෙලෙස්) සංඛ්‍යාවට නොපැමිණෙයි” කියා වදාළේය.

භික්ෂුතෙමේ “භාග්‍යවතුන් වහන්ස, දැනගන්නා ලදී. සුගතයන් වහන්ස, දැනගන්නාලදීයයි” කීය.

“මහණ, ඔබ කෙසේ නම් මා විසින් සංක්ෂෙපයෙන් කියනලද වචනයාගේ අර්ථය විස්තර වශයෙන් දැනගත්තෙහිද?”

“ස්වාමීනි, රූපය අත්නොහැර පවතියි නම්, එය ඒ (රාගයෙන් යුත් පුද්ගලයා යනාදි) සංඛ්‍යාවට පැමිණෙයි. ඉදින් වේදනාව අත්නොහැර පවතියි නම්, එය ඒ සංඛ්‍යාවට යයි. ඉදින් සංඥාව අත්නොහැර පවතියි නම් එය ඒ සංඛ්‍යාවට යයි.

ඉදින් සංස්කාරයන් අත්නොහැර පවතියි නම් එය ඒ සංඛ්‍යාවට යයි. ඉදින් විඤ්ඤාණය අත්නොහැර පවතියි නම් එය ඒ සංඛ්‍යාවට පැමිණෙයි.

“ස්වාමීනි, ඉදින් රූපය අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ඉදින් වේදනාව අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ඉදින් සංඥාව අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ඉදින් සංස්කාරයන් අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ඉදින් විඤ්ඤාණය අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ස්වාමීනි, මම මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරනලද වචනයාගේ අර්ථය විස්තර වශයෙන් දැනගනිමියි කීය.”

“මහණ, යහපති! මහණ, යහපති!! ඔබ මා විසින් සංක්ෂෙපයෙන් කියනලද වචනයාගේ අර්ථය විස්තර වශයෙන් දැන ගත්තෙහිය.

“මහණ, ඉදින් රූපය අත්නොහැර පවතියි නම් එය ඒ සංඛ්‍යාවට යයි. ඉදින් වේදනාව අත්නොහැර පවතියි නම් එය ඒ සංඛ්‍යාවට යයි. ඉදින් සංඥාව අත්නොහැර පවතියි නම් එය ඒ සංඛ්‍යාවට යයි. ඉදින් සංස්කාර අත්නොහැර පවතියි නම් එය ඒ සංඛ්‍යාවට යයි. ඉදින් විඤ්ඤාණය අත් නොහැර පවතියි නම් එය ඒ සංඛ්‍යාවට යයි.

“මහණ, ඉදින් රූපය අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ඉදින් වේදනාව අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ඉදින් සංඥාව අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ඉදින් සංස්කාරයන් අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ඉදින් විඤ්ඤාණය අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි.

“මහණ, මා විසින් සංක්ෂෙපයෙන් කියනලද වචනයාගේ අර්ථය මෙසේ දතයුතුයයි” වදාළේය.

එකල්හි වනාහි ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන්වහන්සේගේ වචනයට විශෙෂයෙන් සතුටුවී අනුමෝදන්වී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණුකොට ගියේය. එකල්හි ඒ මහණතෙමේ තනිව විවේකව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව ආත්මපරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, නොබෝ කලකින්ම මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කොට ඊට පැමිණ, වාසය කෙළේය.

ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව සඳහා කළයුතු අනිකක් නැත්තේයයි දැන ගත්තේය. ඒ මහණතෙමේ රහතුන් අතුරෙන් එක්තරා රහත් භික්ෂුවක් විය.

(තුන්වෙනි භික්ඛු සූත්‍රය නිමි.)