සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

4. නතුම්හාක වග්ගය

9. අනුධර්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, නව ලොකොත්තර ධර්මයට අනුකූලවූ ප්‍රතිපත්තියෙහි පිළිපන්නාවූ භික්ෂුවහට මේ අනුකූල ධර්මයවේ. රූපය දුකයයි දකිමින් වාසය කරන්නේය යන යමක් වේද වේදනාව දුකයයි දකිමින් වාසය කරන්නේය යන යමක් වේද, සංඥාව දුකයයි දකිමින් වාසය කරන්නේය යන යමක් වේද, සංස්කාර දුකයයි දකිමින් වාසය කරන්නේය යන යමක් වේද, විඤ්ඤාණය දුකයයි දකිමින් වාසය කරන්නේය යන යමක් වේද, යනු අනුකූල ධර්මයයි.

“හෙතෙම රූපය දුකයයි දකිමින් වාසය කරන්නේ වේදනාව දුකයයි දකිමින් වාසය කරන්නේ, සංඥාව දුකයයි දකිමින් වාසය කරන්නේ, සංස්කාරයන් දුකයයි දකිමින් වාසය කරන්නේ, විඤ්ඤාණය දුකයයි දකිමින් වාසය කරන්නේ, රූපය පිරිසිඳ දනී, වේදනාව පිරිසිඳ දනී, සංඥාව පිරසිඳ දනී, සංස්කාරය පිරිසිඳ දනී, විඤ්ඤාණය පිරිසිඳ දනී,

“හෙතෙමේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාරයන් පිරිසිඳ දන්නේ විඤ්ඤාණය පිරිසිඳ දන්නේ, රූපය කෙරෙන් මිදෙයි. වේදනාව කෙරෙන් මිදෙයි. සංඥාව කෙරෙන් මිදෙයි. සංස්කාරයන් කෙරෙන් මිදෙයි. විඥානය කෙරෙන් මිදෙයි. ජාතියෙන්ද, ජරාමරණයෙන්ද, සෝකයන්ගෙන්ද, පරිදේවයන්ගෙන්ද, දුක් දොම්නස්වලින්ද, දැඩි වෙහෙසින්ද මිදෙයි. සියළු දුක්වලින් මිදේයයි කියමි.

(නවවෙනි අනුධර්ම සූත්‍රය නිමි.)