සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

5. අත්තදීප වර්ගය

1. අත්තදීප සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, ධර්මය තමාට පහනක් කොට ගෙන ධර්මය තමාට පිහිට කොට ගෙන අන්‍ය පිහිටක් නැත්තෝව වාසය කරව්. ධර්මය පහනක් කොට ගෙන, ධර්මය පිහිට කොට ගෙන අන්‍ය පිහිටක් නැත්තෝව වාසය කරව්.

“මහණෙනි, තමා පහනක් කොට ගෙන, තමා පිහිට කොටගෙන අන් පිහිටක් නැත්තෝව ධර්මය පහනක් කොට ගෙන, ධර්මය පිහිටකොට ගෙන, අන් පිහිටක් නැතිව වාසය කරන්නවුන්ගේ හේතුව, කාරණය සෙවිය යුතුයි. කුමක් හේතුකොට ගෙන සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ පවතිද්ද, කුමකින් හටගන්නාහුද යනුවෙනි.

“මහණෙනි, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ කුමක් හේතුකොට ගෙන උපදින්නාහුද, කුමකින් පහළවන්නාහුද?

“මහණෙනි, මේ ශාසනයෙහි බොහෝ ඇසූ පිරූ තැන් නැති ආර්‍ය්‍යයන් නොදක්නාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ, පෘථග්ජනතෙමේ රූපය තමා වශයෙන් දකියි. තමා රූපවත්යයි හෝ දකියි. රූපය තමා කෙරෙහි හෝ ඇතැයි දකියි.

“ඔහුගේ ඒ රූපය වෙනස්වෙයි. අන් ආකාරයකට පැමිණෙයි. ඔහුගේ ඒ රූපය වෙනස්වීමෙන් හා අන් අයුරකට පැමිණීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ උපදිත්.

“වේදනාව තමා වශයෙන් දකියි. තමා වේදනාවත්යයි හෝ දකියි වේදනාව තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා වේදනාව කෙරෙහි හෝ ඇතැයි දකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් ආකාරයකට පැමිණෙයි. ඔහුගේ ඒ වේදනාව වෙනස්වීමෙන් හා අන් අයුරකට පැමිණීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ උපදිත්.

“සඤ්ඤාව තමා වශයෙන් දකියි. තමා සඤ්ඤාවත්යයි හෝ දකියි. සඤ්ඤාව තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා සඤ්ඤාව කෙරෙහි හෝ ඇතැයි දකියි. ඔහුගේ ඒ සඤ්ඤාව වෙනස්වෙයි. අන් ආකාරයකට පැමිණෙයි. ඔහුගේ ඒ සඤ්ඤාව වෙනස්වීමෙන් හා අන් ආකාරයකට පැමිණීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ උපදිත්.

“සංස්කාරයන් තමා වශයෙන් දකියි. තමා සංස්කාරවත් යයි හෝ දකියි. සංස්කාර තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා සංස්කාරයන් කෙරෙහි හෝ ඇතැයි දකියි. ඔහුගේ ඒ සංස්කාරයන් වෙනස්වෙයි. අන් ආකාරයකට පැමිණෙයි. වෙනස්වීමෙන් අන් ආකාරයකට පැමිණීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ උපදිත්.

“විඤ්ඤාණය තමා වශයෙන් දකියි. තමා විඤ්ඤාණවත් යයි හෝ දකියි. විඤ්ඤාණය තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා විඤ්ඤාණය කෙරෙහි හෝ ඇතැයි දකියි. ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනස්වෙයි. අන් ආකාරයකට පැමිණෙයි. ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනස්වීමෙන් හා අන් ආකාරයකට පැමිණීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ උපදිත්.

“මහණෙනි, රූපයේ අනිත්‍ය බව දැන, පෙරද රූපය අනිත්‍යහ, පෙරලෙන නොඇලිය යුතු නැතිවන ස්වභාවය ඇති ධර්මයකි. දැනුදු සියලු රූපය අනිත්‍යය. දුකය. පෙරලෙන සුළුයයි. මෙසේ මේ කාරණය තත්වූ පරිදි නුවණින් දකින්නාට යම් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස කෙනෙක් වෙත්ද, ඔවුහු ප්‍රහීණවෙත්. ඔවුන්ගේ ප්‍රහාණයෙන් තැති නොගනී. තැති නොගන්නේ සැපසේ වාසය කරයි. සැපසේ වාසය කරන මහණතෙම තාවකාලිකව නිවුනේයයි කියනු ලැබේ.

“මහණෙනි, වේදනාවේ අනිත්‍ය බව දැන, පෙරද වේදනාව අනිත්‍ය පෙරලෙන නොඇලිය යුතු නැතිවන ස්වභාවය ඇති ධර්මයකි. දැනුදු සියලු වේදනාව අනිත්‍යය. දුකය. පෙරලෙන සුළුයයි මෙසේ මේ කාරණය තත්වූ පරිදි නුවණින් දකින්නාහට යම් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ වෙත්ද, ඔවුහු ප්‍රහීණවෙත්. ඔවුන්ගේ ප්‍රහාණයෙන් තැති නොගනී. තැති නොගන්නේ සැපසේ වාසය කරයි. සැපසේ වාසය කරන මහණතෙම තාවකාලිකව නිවුනේයයි කියනු ලැබේ.

“මහණෙනි, සඤ්ඤාවේ අනිත්‍ය බව දැන, පෙරද සඤ්ඤාව අනිත්‍යය. පෙරලෙන, නොඇලිය යුතු, නැතිවන ස්වභාවය ඇති ධර්මයකි. දැනුදු සඤ්ඤාව අනිත්‍යය, දුකය, පෙරලෙන සුළුයයි මෙය මෙසේ තත්වූ පරිදි නුවණින් දකින්නාහට යම් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස කෙනෙක් වෙත්ද ඔවුහු ප්‍රහීණවෙත්. ඔවුන්ගේ ප්‍රහාණයෙන් තැති නොගනී. තැති නොගන්නේ සැපසේ වාසය කරයි. සැපසේ වාසය කරන මහණතෙම තාවකාලිකව නිවුනේයයි කියනු ලැබේ.

“මහණෙනි, සංස්කාරයන්ගේ අනිත්‍ය බව දැන, පෙරද සංස්කාරයෝ අනිත්‍යය, පෙරලෙන නො ඇලිය යුතු නැති වන ස්වභාවය ඇති ධර්මයෝය. දැනුදු සංස්කාරයෝ අනිත්‍යය. දුකය. පෙරලෙන සුළුයයි මෙය මෙසේ තත්වූ පරිදි නුවණින් දකින්නාහට යම් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස කෙනෙක් වෙත්ද, ඔවුහු ප්‍රහීණවෙත්. ඔවුන්ගේ ප්‍රහාණයෙන් තැති නොගනී. තැති නොගන්නේ සැපසේ වාසය කරයි. සැපසේ වාසය කරන මහණතෙම තාවකාලිකව නිවුනේයයි කියනු ලැබේ.

“මහණෙනි, විඤ්ඤාණයේ අනිත්‍ය බව දැන, පෙරද විඤ්ඤාණය අනිත්‍යය, පෙරලෙන, නොඇලිය යුතු, නැතිවන ස්වභාවය ඇති ධර්මයකි. දැනුදු විඤ්ඤාණ අනිත්‍යය. දුකය, පෙරලෙන සුළුයයි මෙය මෙසේ තත්වූ පරිදි නුවණින් දක්නාහට යම් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස කෙනෙක් වෙත්ද, ඔව්හු ප්‍රහීණවෙත්. ඔවුන්ගේ ප්‍රහාණයෙන් තැති නොගනී. තැති නොගන්නේ සැපසේ වාසය කරයි. සැපසේ වාසය කරන මහණතෙම තාවකාලිකව නිවුනේයයි කියනු ලැබේ.”

(පළමුවෙනි අත්තදීප සූත්‍රය නිමි.)