සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

5. අත්තදීප වර්ගය

4. අනිච්චතා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, රූපය අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුකකි. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේ’ යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.

“වේදනාව අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකකි. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේ’ යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.

“සංඥාව අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකකි. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේ’ යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.

“සංස්කාර අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුකකි. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේ’ යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.

“විඤ්ඤාණය අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකකි. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේ’ යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.

“මෙය මෙසේයයි තත්වූ පරිදි මනා නුවණින් බලන්නහුට අතීත භව පිළිබඳ දෘෂ්ටීහු නොවෙත්. අතීත බව පිළිබඳ දෘෂ්ටි නැතිවූ කල්හි අනාගත භව පිළිබඳ දෘෂ්ටීහු නොවෙත්. අනාගත භව පිළිබඳ දෘෂ්ටි නැතිවූ කල්හි දැඩිසේ දෘෂ්ටියෙන් අල්වා ගැණීමක් නොවෙයි. දැඩිසේ දෘෂ්ටියෙන් අල්වා ගැනීමක් නැතිවූකල්හි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන මොවුන් කෙරෙහි සිත නො ඇලෙයි. දැඩි කොට අල්වා නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙයි. මිදුනු හෙයින් (මතු කළයුතු කිසක් නැති හෙයින්) සිටියි. සිටි හෙයින් සතුටු වෙයි. සතුටු වූ හෙයින් හෙතෙමේ තැති නොගනියි. තැති නොගත්තේ නම් ආත්මයෙහිම පිරිනිවන් පායි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”

(හතරවෙනි අනිච්චතා සූත්‍රය නිමි.)