සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

5. අත්තදීප වර්ගය

10. නන්දික්ඛය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපය නුවණින් මෙනෙහි කරව්. රූපයේ අනිත්‍ය ස්වභාවයද ඇතිතතු විමසා බලව්. මහණෙනි, රූපය නුවණින් මෙනෙහිකරන්නේ, රූපයේ අනිත්‍ය ස්වභාවය ඇතිතතු මෙනෙහි කරන්නේ, රූපයෙහි කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුනේය, මනාකොට මිදුණේයයි කියනු ලැබේ.

“මහණෙනි, වේදනාව නුවණින් මෙනෙහි කරව්. වේදනාවේ අනිත්‍ය ස්වභාවයද ඇති තතු විමසා බලව්. මහණෙනි, වේදනාව නුවණින් මෙනෙහි කරන්නේ, වේදනාවෙහි අනිත්‍ය ස්වභාවය ඇතිතතු මෙනෙහි කරන්නේ, වේදනාවෙහි කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුණේය. මනාකොට මිදුණේයයි කියනු ලැබේ.

“මහණෙනි, සංඥාව නුවණින් මෙනෙහිකරව්. සංඥාවේ අනිත්‍ය ස්වභාවයද ඇතිතතු විමසා බලව්. මහණෙනි, සංඥාව නුවණින් මෙනෙහි කරන්නේ, සංඥාවේ අනිත්‍ය ස්වභාවය ඇතිතතු මෙනෙහි කරන්නේ, සංඥාවෙහි කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුණේය. මනාකොට මිදුණේයයි කියනු ලැබේ.

“මහණෙනි, සංස්කාර නුවණින් මෙනෙහිකරව්. සංස්කාරයේ අනිත්‍ය ස්වභාවයද ඇතිතතු විමසා බලව්. මහණෙනි, සංස්කාර නුවණින් මෙනෙහි කරන්නේ, සංස්කාරයේ අනිත්‍ය ස්වභාවය ඇතිතතු මෙනෙහි කරන්නේ, සංස්කාරයෙහි කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුණේය. මනාකොට මිදුණේයයි කියනු ලැබේ.

“මහණෙනි, විඤ්ඤාණය නුවණින් මෙනෙහි කරව්. විඤ්ඤාණයේ අනිත්‍ය ස්වභාවයද ඇතිතතු විමසා බලව්. මහණෙනි, විඤ්ඤාණය නුවණින් මෙනෙහි කරන්නේ, විඤ්ඤාණයේ අනිත්‍ය ස්වභාවය ඇතිතතු මෙනෙහි කරන්නේ, විඤ්ඤාණයෙහි කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුණේය. මනාකොට මිදුණේයයි කියනු ලැබේ.”

(දහවෙනි නන්දික්ඛය සූත්‍රය නිමි.)

පස්වෙනි අත්තදීප වර්ගයයි.

අත්තදීප සූත්‍රය, පටිපදාසූත්‍ර දෙකය, අනිච්චතා සූත්‍රය, සමනුපස්සනා සූත්‍රය, ඛන්ධසූත්‍රය, සෝණ සූත්‍ර දෙක සහ නන්දික්ඛය සූත්‍ර දෙකදැයි මේ අත්තදීප වර්ගයෙහි සූත්‍ර දහයකි.

මූලපණ්ණාසකය නිමි.

නකුල පිතු වර්ගය, අනිච්ච වර්ගය, භාර වර්ගය, නතුම්හාක වර්ගය සහ අත්තදීප වර්ගයයි මේ මුල් සූත්‍ර පණසෙහි වර්ග පසෙකි.