සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

6. උපාය වර්ගය

1. උපාය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, (තණ්හා, දිට්ඨි, මාන වශයෙන්) පඤ්චස්කන්ධය කරා පැමිණියේ නොමිදුණේය. (තණ්හා, දිට්ඨි, මාන වශයෙන්) පඤ්චස්කන්ධය කරා නොපැමිණියේ මිදුණේය.

“මහණෙනි, රූපය කරා හෝ පැමිණි කර්මවිඤ්ඤාණය (කුසල් අකුසල් සිත) පවත්නේය. රූපය අරමුණුකොට ඇති, රූපය ආධාරකොට ඇති තණ්හාවගෙන් ආ සේවනය ලැබූ කර්ම විඤ්ඤාණය වැඩීමට, දියුණුවට, මහත් බවට පැමිණෙන්නේය.

“මහණෙනි, වේදනාව කරා හෝ පැමිණි කර්මවිඥානය පවත්නේය. වේදනාව අරමුණුකොට ඇති, වේදනාව ආධාර කොට ඇති, තණ්හාවගෙන් ආ සේවනය ලැබූ කර්මවිඥානය දියුණුවට, වැඩීමට, මහත් බවට පැමිණෙන්නේය,

“මහණෙනි, සංඥාව කරා හෝ පැමිණි කර්මවිඥානය පවත්නේය. සංඥාව අරමුණුකොට ඇති, සංඥාව ආධාර කොට ඇති, තණ්හාවගෙන් ආ සේවනය ලැබූ කර්මවිඥානය වැඩීමට, දියුණුවට, මහත් බවට පැමිණෙන්නේය.

“මහණෙනි, සංස්කාරයන් කරා හෝ පැමිණි කර්මවිඥානය පවත්නේය. සංස්කාරයන් අරමුණුකොට ඇති, සංස්කාරයන් ආධාරකොට ඇති තණ්හාවෙන් ආ සේවනය ලැබූ කර්ම විඥානය වැඩීමට දියුණුවට, මහත් බවට පැමිණෙන්නේය.

“මහණෙනි, යමෙක් මෙසේ කියන්නේද “මම රූපයෙන් වෙන්වම, වේදනාවෙන් වෙන්වම, සංඥාවෙන් වෙන්වම, සංස්කාරයන්ගෙන් වෙන්වම, විඤ්ඤාණයාගේ ඊම හෝ යාම හෝ චුතිය හෝ උත්පත්තිය හෝ වැඩීම හෝ දියුණුව හෝ මහත් බව හෝ වන්නෙමි” යන මේ කාරණය විද්‍යාමාන නොවේ හෙවත් සිදු නොවේ.

“මහණෙනි, ඉදින් භික්ෂුවගේ රූප ධාතුවෙහි රාගය ප්‍රහීණ වූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනලද අරමුණ කර්මවිඥානයට පිහිට නොවේ.

“මහණෙනි, ඉදින් වේදනා ධාතුවෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනලද අරමුණ කර්මවිඥානයට පිහිට නොවේ.

“මහණෙනි, ඉදින් සංඥා ධාතුවෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනලද අරමුණ කර්මවිඥානයට පිහිට නොවේ.

“මහණෙනි, ඉදින් සංස්කාර ධාතුවේ භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනලද අරමුණ කර්මවිඥානයට පිහිට නොවේ.

“මහණෙනි, ඉදින් විඤ්ඤාණ ධාතුවෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනලද අරමුණ කර්මවිඥානයට පිහිට නොවේ.

“ඒ පිහිටක් නැත්තාවූ, නොවැඩුනාවූ, කර්මවිඥානය ප්‍රතිසන්ධිය ගෙන නොදී මිදුනේ වෙයි. මිදුනු බැවින් නැවතුණේ වෙයි. නැවතුණු බැවින් සතුටුවූයේ වෙයි. සතුටුවූ බැවින් තැති නොගනියි. තැති නොගන්නේ නම් ආත්මභාවයෙහිදීම පිරිනිවේ. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවන ලද්දේ කටයුතු කොට නිමවනලදී. මේ ආත්මභාවය සඳහා කළයුතු අනිකක් නැත්තේයයි දනියි.”

(පළමුවෙනි උපාය සූත්‍රය නිමි.)