සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

6. උපාය වර්ගය

2. බීජ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, මේ බීජ වර්ග පසක් වෙති. ඒ පස කවරහුද? (මුලින් පැලවන) මූල බීජය, (කඳෙන් පැලවන) ඛන්ධ බීජය, (පුරුකෙන් පැලවන) ඵලු බීජය, (අගින් පැලවන) අග්ග බීජය, (ඇටයෙන් පැලවන) පස්වැනිවූ බීජබීජය යන පසය.

“මහණෙනි, නොබිඳුනාවූ, කුණු නොවූවාවූ, අව් සුළඟින් නොනැසුනාවූ, බොල් නොවූ, තුන් සතර මසක් මනාසේ තබන ලද්දාවූ, මේ බීජයෝ වෙත්ද, පොළොවක් නැත්තේද වතුරක් නැත්තේද, මහණෙනි, එසේ නම් පස්වැදෑරුම් බීජවර්ග වැඩීමට, දියුණුවට මහත් බවට පැමිණෙන්නාහුද?

“ස්වාමීනි, එය නොවන්නේමය.”

“මහණෙනි, බිඳුනාවූ, කුණුවූ, අව් සුළඟින් නසනු ලැබූ, බොල්වූ, කලක් මනාසේ නොතබනලද මේ පස්වැදෑරුම් බීජවර්ග වෙත්ද, පොළොවද ඇත්තේය, ජලයද ඇත්තේය. මහණෙනි, එසේ නම් මේ බීජවර්ග පස වැඩීමට, දියුණුවට හා

මහත් බවට පැමිණෙන්නාහුද?”

“ස්වාමීනි, එය නොවන්නේමය.”

“මහණෙනි, නොබිඳුනාවූ, කුණු නොවූ, හරය ගන්නාවූ, මනාසේ මඳ කලක් තබනලද මේ බීජවර්ග පස වෙත්ද, පොළොවද ඇත්තේය. ජලයද ඇත්තේය. එසේ නම්, මහණෙනි, මේ බීජවර්ග පස වැඩීමට, දියුණුවට, මහත් බවට පැමිණෙන්නාහුද?”

“ස්වාමීනි, එසේය.”

“මහණෙනි, පොළොව යම්සේද, එපරිද්දෙන් කර්ම විඤ්ඤාණයට ආරම්මණවූ රූපාදී ස්කන්ධ සතර දතයුත්තාහ. මහණෙනි, ජලය යම්සේද, එසේ ආශාව දතයුතුයි.

“මහණෙනි, බීජවර්ග පස යම්සේද, එසේ ප්‍රත්‍යය සහිතවූ කර්මවිඥානය දතයුතුයි.

“මහණෙනි, රූපය කරා පැමිණි කර්මවිඥානය පවත්නේය. රූපය අරමුණුකොට ඇති, රූපය ආධාරකොට ඇති, තෘෂ්ණා සේවනය ඇති, කර්මවිඥානය වැඩීමට, දියුණුවට, මහත් බවට පැමිණෙන්නේය.

“මහණෙනි, වේදනාව කරා පැමිණ, කර්මවිඥානය පවත්නේය. වේදනාව අරමුණුකොට ඇති, වේදනාව ආධාර කොට ඇති, තෘෂ්ණා සේවනය ඇති, කර්මවිඥානය වැඩීමට දියුණුවට මහත් බවට පැමිණෙන්නේය.

“මහණෙනි, සංඥාව කරා පැමිණ කර්මවිඥානය පවත්නේය. සංඥාව අරමුණුකොට ඇති, සංඥාව ආධාරකොට ඇති තෘෂ්ණා සේවනය ඇති කර්මවිඥානය වැඩීමට, දියුණුවට, මහත් බවට පැමිණෙන්නේය.

“මහණෙනි, සංස්කාර කරා පැමිණි කර්මවිඥානය පවත්නේය. සංස්කාර අරමුණුකොට ඇති, සංස්කාර ආධාර කොට ඇති, තෘෂ්ණා සේවනය ඇති, කර්මවිඥානය වැඩීමට, දියුණුවට මහත් බවට පැමිණෙන්නේය.

“මහණෙනි, යමෙක් මෙසේ කියන්නේද, ‘මම රූප ස්කන්ධය හැර, වේදනාස්කන්ධය හැර, සංඥාස්කන්ධය හැර විඥානයාගේ ඊමක් හෝ යාමක් හෝ චුතියක් හෝ උත්පත්තියක් හෝ වැඩීමක් හෝ දියුණුවක් හෝ මහත් බවක් හෝ පණවන්නෙමි’ යන මේ කාරණය සිදු නොවේ.

“මහණෙනි, ඉදින් රූපස්කන්ධයෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනාලද අරමුණ කර්මවිඥානයට පිහිට නොවෙයි.

“මහණෙනි, ඉදින් වේදනාස්කන්ධයෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනාලද අරමුණ කර්මවිඥානයට පිහිට නොවෙයි.

“මහණෙනි, ඉදින් සංඥාස්කන්ධයෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනාලද අරමුණ කර්මවිඥානයට පිහිට නොවෙයි.

“මහණෙනි, ඉදින් සංස්කාරස්කන්ධයෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනාලද අරමුණ කර්මවිඥානයට පිහිට නොවෙයි.

“මහණෙනි, ඉදින් විඤ්ඤාණස්කන්ධයෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනාලද අරමුණ කර්මවිඥානයට පිහිට නොවෙයි.

ඒ පිහිටීමක් නොලත් නොවැඩුනාවූ කර්මවිඥානය ප්‍රතිසන්ධි ගෙනදීමෙන් මිදුනේ වෙයි. මිදුනු බැවින් නැවත කළයුත්තක් නැති බවට පැමිණියේ වෙයි. ඊට පැමිණි බැවින් සතුටුවූයේ වෙයි. සතුටු බැවින් තැති නොගනියි. තැති නොගන්නේ එම ආත්මභාවයෙහිදීම පිරිනිවෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවන ලදී. මේ ආත්ම භාවය සඳහා කළයුතු අනිකක් නැත්තේයයි දනියි.”

(දෙවෙනි බීජ සූත්‍රය නිමි.)