සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
6. උපාය වර්ගය
3. උදාන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් වදාළේය.
“ඉදින් මාගේ අතීත භවයන්හි කර්ම රැස්කිරීම නොවූයේ නම් දැන් (වර්තමාන) ස්කන්ධ පඤ්චකය නොවන්නේය. (දැන්) අනාගත ස්කන්ධ උපදවන්නාවූ කර්ම රැස් කිරීම නොවන්නේ නම් මාගේ අනාගත ස්කන්ධ පඤ්චකය නොවන්නේය. මෙසේ මිදෙන්නාවූ භික්ෂුතෙමේ ඕරම්භාගිය (කාම ලෝකය භජනය කරන්නාවූ) සංයෝජනයන් සිඳින්නේය” කියායි.
“මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්වූයේය. “ස්වාමීනි, කෙසේ නම් ඉදින් මාගේ අතීත භවයෙහි කර්ම රැස්කිරීම නොවූයේ නම් වර්තමාන ස්කන්ධ පඤ්චකය නොවන්නේද, දැන් අනාගත ස්කන්ධ උපදවන්නාවූ කර්ම රැස්කිරීම නොවන්නේ නම් මාගේ අනාගත ස්කන්ධ පඤ්චකය නොවන්නේයයි මෙසේ මිදෙන්නාවූ භික්ෂුතෙමේ පස්වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන් සිඳින්නේද?” කියායි.
‘මහණ මේ සස්නෙහි ආර්‍ය්‍යයන් නොදක්නාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි අදක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුණාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය තමා වශයෙන් දකී. රූපවත් වූවක් හෝ තමා වශයෙන් දකී. තමා කෙරෙහි හෝ රූපය ඇතැයි දකියි. රූපය කෙරෙහි හෝ තමා ඇතැයි දකී.
“වේදනාව තමා වශයෙන් දකී. වේදනා සහිත වූවක් හෝ තමා වශයෙන් දකී. තමා කෙරෙහි හෝ වේදනාව ඇතැයි දකියි. වේදනාව කෙරෙහි හෝ තමා ඇතැයි දකී.
“සංඥාව තමා වශයෙන් දකී. සංඥාව සහිත වූවක් හෝ තමා වශයෙන් දකී. තමා කෙරෙහි හෝ සංඥාව ඇතැයි දකියි. සංඥාව කෙරෙහි හෝ තමා ඇතැයි දකී.
“සංස්කාරයන් තමා වශයෙන් දකී. සංස්කාරයන් සහිත වූවක් හෝ තමා වශයෙන් දකී. තමා කෙරෙහි හෝ සංස්කාරයන් ඇතැයි දකියි. සංස්කාරයන් කෙරෙහි හෝ තමා ඇතැයි දකී.
“විඤ්ඤාණය තමා වශයෙන් දකී. විඤ්ඤාණ සහිත වූවක් හෝ තමායයි දකී. තමා කෙරෙහි හෝ විඤ්ඤාණය ඇතැයි දකියි. විඤ්ඤාණය කෙරෙහි හෝ තමා ඇතැයි දකියි.
“හෙතෙමේ අනිත්‍යයවූ, රූපය අනිත්‍යවූ රූපයයි තත්වූ පරිදි නොදනියි. අනිත්‍යයවූ වේදනාව අනිත්‍යයවූ වේදනාවයයි තත්වූ පරිදි නොදනියි. අනිත්‍යයවූ සංඥාව අනිත්‍යයවූ සංඥාවයයි තත්වූ පරිදි නොදනියි. අනිත්‍යයවූ සංස්කාර අනිත්‍යයවූ සංස්කාරයයයි තත්වූ පරිදි නොදනියි. අනිත්‍යවූ විඥානය අනිත්‍යයවූ විඥානයයි තත්වූ පරිදි නොදනියි.
“දුක්වූ රූපය දුක්වූ රූපයයි තත්වූ පරිදි නොදනියි. දුක්වූ වේදනාව දුක්වූ වේදනාවයයි තත්වූ පරිදි නොදනියි. දුක්වූ සංඥාව දුක්වූ සංඥාවයයි තත්වූ පරිදි නොදනියි. දුක්වූ සංස්කාරයන් දුක්වූ සංස්කාරයෝයයි තත්වූ පරිදි නොදනියි. දුක්වූ විඥානය දුක්වූ විඥානයයි තත්වූ පරිදි නොදනියි.
“අනාත්මවූ රූපය අනාත්මවූ රූපයයි තත්වූ පරිදි නොදනියි. අනාත්මවූ වේදනාව අනාත්මවූ වේදනාවයයි තත්වූ පරිදි නොදනියි. අනාත්මවූ සංඥාව අනාත්මවූ සංඥාවයයි තත්වූ පරිදි නොදනියි. අනාත්මවූ සංස්කාරයන් අනාත්මවූ සංස්කාරයෝයයි තත්වූ පරිදි නොදනියි. අනාත්මවූ විඥානය අනාත්මවූ විඥානයයි තත්වූ පරිදි නොදනියි.
“සංඛතවූ (කර්මාදි ප්‍රත්‍යයෙන් හටගත්) රූපය සංඛතවූ රූපයයි තත්වූ පරිදි නොදනියි. සංඛතවූ වේදනාව සංඛතවූ වේදනාවයයි තත්වූ පරිදි නොදනියි. සංඛතවූ සංඥාව සංඛතවූ සංඥාවයයි තත්වූ පරිදි නොදනියි. සංඛතවූ සංස්කාරයන් සංඛතවූ සංස්කාරයයි තත්වූ පරිදි නොදනියි. සංඛතවූ විඥානය සංඛතවූ විඥානයයි තත්වූ පරිදි නොදනියි.
‘රූපය බිඳෙන්නේයයි තත්වූ පරිදි නොදනියි. වේදනාව බිඳෙන්නේයයි තත්වූ පරිදි නොදනියි. සංඥාව බිඳෙන්නේයයි තත්වූ පරිදි නොදනියි. සංස්කාරයන් බිඳෙන්නේයයි තත්වූ පරිදි නොදනියි. විඥානය බිඳෙන්නේයයි තත්වූ පරිදි නොදනියි.
“මහණෙනි, ආර්‍ය්‍යයන් දක්නාවූ ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුණාවූ සත්පුරුෂයන් දක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි හික්මුණාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපය තමා වශයෙන් නොදකියි. රූප සහිත වූවක් හෝ තමායයි නොදකියි. තමා කෙරෙහි හෝ රූපය ඇතැයි නොදකියි. රූපය කෙරෙහි හෝ තමා ඇතැයි නොදකියි.
“වේදනාව තමාවශයෙන් නොදකියි. වේදනාවක් වූවක් හෝ තමායයි නොදකියි තමා කෙරෙහි හෝ වේදනාව ඇතැයි නොදකියි. වේදනාව කෙරෙහි හෝ තමා ඇතැයි නොදකියි. සංඥාව තමා වශයෙන් නොමදකියි. සංඥාව සහිතවූවක් හෝ තමායයි නොදකියි. තමා කෙරෙහි හෝ සංඥාව ඇතැයි නොදකියි. සංඥාව කෙරෙහි හෝ තමා ඇතැයි නොදනියි. සංස්කාරයන් තමා වශයෙන් නොමදකියි. සංස්කාර සහිත වූවක් හෝ තමායයි නොමදකියි. තමා කෙරෙහි හෝ සංස්කාර ඇතැයි නොමදකියි. සංස්කාරයන් කෙරෙහි හෝ තමා ඇතැයි නොමදකී. විඥානය තමා වශයෙන් නොමදකියි. විඥානය සහිතවූවක් හෝ තමායයි නොමදකියි. තමා කෙරෙහි හෝ විඥානය ඇතැයි නොමදකී. විඥානය කෙරෙහි හෝ තමා ඇතැයි නොමදකියි.
“හෙතෙමේ අනිත්‍යයවූ රූපය අනිත්‍යවූ රූපයයි තත්වූ පරිදි දනියි. අනිත්‍යයවූ වේදනාව අනිත්‍යවූ වේදනාවයයි තත්වූ පරිදි දනියි. අනිත්‍යයවූ සංඥාව අනිත්‍යවූ සංඥාවයයි තත්වූ පරිදි දනී. අනිත්‍යයවූ සංස්කාර අනිත්‍යවූ සංස්කාරයයි තත්වූ පරිදි දනියි. අනිත්‍යයවූ විඥානය අනිත්‍යවූ විඥානයයි තත්වූපරිදි දනී.
“දුක්වූ රූපය දුක්වූ රූපයයි තත්වූ පරිදි දනී. දුක්වූ වේදනාව දුක්වූ වේදනාවයයි තත්වූ පරිදි දනී. දුක්වූ සංඥාව දුක්වූ සංඥාවයයි තත්වූ පරිදි දනී. දුක්වූ සංස්කාරයන් දුක්වූ සංස්කාරයන්යයි තත්වූ පරිදි දනී. දුක්වූ විඥානය දුක්වූ විඥානයයි තත්වූ පරිදි දනී.
“අනාත්මවූ රූපය අනාත්මවූ රූපයයි තත්වූ පරිදි දනී. අනාත්මවූ වේදනාව අනාත්මවූ වේදනාවයයි තත්වූ පරිදි දනී. අනාත්මවූ සංඥාව අනාත්මවූ සංඥාවයයි තත්වූ පරිදි දනී. අනාත්මවූ සංස්කාරය අනාත්මවූ සංස්කාරයයි තත්වූ පරිදි දනී. අනාත්මවූ විඥානය අනාත්මවූ විඥානයයි තත්වූ පරිදි දනී.
“සංඛතවූ රූපය සංඛතවූ රූපයයි තත්වූ පරිදි දනී. සංඛතවූ වේදනාව සංඛතවූ වේදනාවයයි තත්වූ පරිදි දනී. සංඛතවූ සංඥාව සංඛතවූ සංඥාවයයි තත්වූ පරිදි දනී. සංඛතවූ සංස්කාරයන් සංඛතවූ සංස්කාරයන්යයි තත්වූ පරිදි දනී. සංඛතවූ විඥානය සංඛතවූ විඥානයයි තත්වූ පරිදි දනී. රූපය විනාශ වන්නේයයි තත්වූ පරිදි දනී. වේදනාව විනාශ වන්නේයයි තත්වූ පරිදි දනී. සංඥාව විනාශ වන්නේයයි තත්වූ පරිදි දනී. සංස්කාර විනාශ වන්නේයයි තත්වූ පරිදි දනී. විඥානය විනාශ වන්නේයයි තත්වූ පරිදි දනියි.
“හෙතෙම රූපයාගේ විනාශය දැකීමෙන්, වේදනාවේ විනාශය දැකීමෙන්, සංඥාවේ විනාශය දැකීමෙන්, සංස්කාරයන්
ගේ විනාශය දැකීමෙන්, විඤ්ඤාණයාගේ විනාශය දැකීමෙන් මහණෙනි මෙසේ ඒ භික්ෂුතෙමේ ඉදින් මාගේ අතීත භාවයෙහි කර්ම රැස් කිරීම නොවූයේ නම් දැන් වර්තමාන ස්කන්ධ පඤ්චකය නොවන්නේය. දැන් මාගේ අනාගත ස්කන්ධ උපදවන්නාවූ කර්ම රැස්කිරීම නොවන්නේ නම් අනාගත ස්කන්ධ පඤ්චකය නොවන්නේය. මෙසේ මිදෙන්නාවූ භික්ෂු තෙමේ ඕරම්භාගිය (කාම ලෝකය භජනය කරන්නාවූ) සංයෝජනයන් බිඳින්නේය.
“ස්වාමීනි, මෙසේ මිදෙන්නාවූ භික්ෂු තෙමේ ඕරම්භාගිය සංයෝජනයන් සිඳින්නේය. ස්වාමීනි, කෙසේ දන්නහුගේ වනාහි කෙසේ දක්නහුගේ වනාහි විදර්ශනාවට අනතුරුව කෙලෙසුන්ගේ ක්ෂයවීම වේදැයි?’ විචාළේය.
“මහණ, මේ සාසනයෙහි අශ්‍රැතවත් පෘථජ්ජන තෙමේ තැති නොගතයුතු තැන තැතිගැන්මට පැමිණෙයි. ‘මාගේ අතීත භවයෙහි කර්ම රැස්කිරීම නොවූයේ නම් දැන් (වර්තමාන) ස්කන්ධ පඤ්චකය නොවන්නේය. මාගේ වර්තමාන භවයෙහි අනාගත ස්කන්ධයන් උපදවන්නාවූ කර්ම රැස්කිරීම නොවන්නේ නම් අනාගත ස්කන්ධ පඤ්චකය නොවන්නේය’, යන මෙය අශ්‍රැතවන් පෘථග්ජනයාහට තැතිගැන්මෙක්මය, මහණ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ වනාහි තැති නොගත යුතු තැන තැතිගැන්මට නොපැමිණෙයි. ‘මාගේ අතීත භවයෙහි කර්ම රැස්කිරීම නොවූයේ නම් දැන් (වර්තමාන) ස්කන්ධ පඤ්චකය නොවන්නේය. වර්තමාන භවයෙහි මතු ස්කන්ධ උපදවන්නාවූ කර්ම රැස්කිරීම නොවන්නේ නම් අනාගත ස්කන්ධ පඤ්චකය නොවන්නේය’ යන මෙය ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාහට භයක් නොවේමය.
“මහණ රූපය කරා හෝ පැමිණි කර්ම විඥානය පවත්නේය. රූපය අරමුණුකොට ඇති, රූපය ආධාරකොට ඇති, තෘෂ්ණාවගේ නැවත නැවත සේවනය කිරීම ඇති කර්ම විඥානය වැඩීමට දියුණුවට මහත් බවට පැමිණෙන්නේය.
මහණ, “වේදනාව කරා හෝ පැමිණි කර්ම විඥානය පවත්නේය. වේදනාව අරමුණුකොට ඇති, වේදනාව ආධාර කොට ඇති, තෘෂ්ණාවගේ නැවත නැවත සේවනය කිරීම ඇති කර්මවිඤ්ඤාණය වැඩීමට දියුණුවට මහත් බවට පැමිණෙන්නේය.
“මහණ සංඥාව කරා හෝ පැමිණි කර්ම විඥානය පවත්නේය. සංඥාව අරමුණුකොට ඇති, සංඥාව ආධාරකොට ඇති, තෘෂ්ණාවගේ නැවත නැවත සේවනය කිරීම ඇති කර්ම විඤ්ඤාණය වැඩීමට දියුණුවට මහත් බවට පැමිණෙන්නේය.
“මහණ සංස්කාරයන් කරා හෝ පැමිණි කර්මවිඥාණය පවත්නේය. සංස්කාරයන් අරමුණුකොට ඇති, සංස්කාරය ආධාරකොට ඇති, තෘෂ්ණාවගේ නැවත නැවත සේවනය කිරීම ඇති, කර්මවිඥානය වැඩීමට දියුණුවට මහත් බවට පැමිණෙන්නේය.
“මහණ විඤ්ඤාණය කරා හෝ පැමිණි කර්ම විඤ්ඤාණය පවත්නේය. විඤ්ඤාණය අරමුණුකොට ඇති වේදනාව ආධාර කොට ඇති, තෘෂ්ණාවගේ නැවත නැවත සේවනය කිරීම ඇති, කර්ම විඤ්ඤාණය වැඩීමට දියුණුවට මහත් බවට පැමිණෙන්නේය.
“මහණ, හෙතෙමේ ‘මම රූපය හැර වේදනාව හැර සඤ්ඤාව හැර සංස්කාර හැර විඥානයාගේ ඊමක් හෝ යාමක් හෝ චුතියක් හෝ උප්පත්තියක් හෝ වැඩීමක් හෝ දියුණුවක් හෝ මහත් බවක් හෝ පනවන්නෙමි’යි කියන්නේ නම් මේ කාරණය සිදුනොවේ.
“මහණ ඉදින් රූපස්කන්ධයෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනලද අරමුණ කර්ම විඥානයාගේ පිහිටවන තැනක් නොවෙයි. මහණ ඉදින් වේදනාස්කන්ධයෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනලද අරමුණ කර්මවිඥානයාගේ පිහිටවන තැනක් නොවෙයි.
“මහණ ඉදින් සංඥා ස්කන්ධයෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනලද අරමුණ කර්ම විඥානයාගේ පිහිට වන තැනක් නොවෙයි.
“මහණ ඉඳින් සංස්කාරස්කන්ධයෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනලද අරමුණ කර්මවිඥානයාගේ පිහිටවන තැනක් නොවෙයි.
“මහණ ඉදින් විඥානස්කන්ධයෙහි භික්ෂුවගේ රාගය ප්‍රහිණවූයේ වෙයිද රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනලද අරමුණ කර්මවිඥානයාගේ පිහිටවන තැනක් නොවේ. ඒ පිහිටවන තැනක් නැති නොවැඩුනාවූ කර්මවිඥානය ප්‍රතිසන්ධිය ගෙන නොදී මිදුනේවෙයි. මිදුනු බැවින් සිටියේ වෙයි. සිටිබැවින් සතුටුවූයේ වෙයි. සතුටුවනලද බැවින් තැති (බිය) නොගනියි. නොතැතිගැනුනේ එම ආත්මභාවයෙහිදීම පිරිනිවේ.”
“ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවන ලදී. කටයුතුකොට නිමවනලදී. මේ ආත්මභාවය සඳහා කළයුතු අනිකක් නැත්තේයයි දනියි. මහණ, මෙසේ දන්නහුගේ මෙසේ දක්නාහුගේ විදර්ශනාවට අනතුරුව ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වේයයි” වදාළේය.
(තුන්වෙනි උදාන සූත්‍රය නිමි.)