සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

6. උපාය වර්ගය

4. උපාදාන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මෙය වදාළසේක.

“මහණෙනි, මේ උපාදානස්කන්ධයන් පසෙකි, ඒ පස කවරහුද? එනම් රූපූපාදානස්ඛන්ධය, වේදනානූපාදානස්ඛන්ධය, සංඥානූපාදානස්කඛන්ධය, සංස්ඛාරානුපාදානස්ඛන්ධය විඤ්ඤාණුස්ඛන්ධය (යනුයි).

“මහණෙනි, මම යම්තාක්කල් සතර පරිවර්තනයක් ඇති මේ පඤ්චූපාදානස්ඛන්ධයන් තත්වූ පරිදි වෙසෙනින් දැන නොගත්තෙම්ද මහණෙනි, මම ඒතාක්කල් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සත්වලෝකයෙහිද, මහණබඹුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද, උතුම්වූ සම්‍යක් සම්බොධිය ප්‍රත්‍යක්ෂ කෙළෙම්යයි ප්‍රතිඥා නොකෙළෙමි.

“මහණෙනි, මම යම් අවස්ථාවක පටන් සතර පරිවර්තනයකින් යුත් මේ පඤ්චුපාදානස්ඛන්ධයන් තත්වූ පරිදි ප්‍රත්‍යක්ෂකෙළෙම්ද, මහණෙනි, මම එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සත්වලෝකයෙහිද, මහණ බඹුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද උතුම්වූ සම්‍යක් සම්බෝධිය කෙළෙම්යයි ප්‍රතිඥා කෙළෙමි.

“ඒ සතර පරිවර්තනය කෙසේද? රූපය දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. රූපසමුදය දුක්ඛසමුදයාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. රූපනිරෝධය දුක්ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. රූපනිරෝධගාමිණී ප්‍රතිපදාව, දුක්ඛනිරොධ ගාමිණි ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි.

“වේදනාව දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. වේදනා සමුදය දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. වේදනා නිරෝධය දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. වේදනා නිරෝධගාමිණී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි.

“සංඥාව දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. සංඥා සමුදය දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. සංඥා නිරෝධය දුක්ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. සංඥා නිරෝධ ගාමිණී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමීණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි.

“සංස්කාරයෝ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. සංස්කාර සමුදය දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. සංස්කාර නිරෝධය දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි.

“විඥානය දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. විඥාන සමුදය දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. විඥාන නිරෝධය දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. විඥාන නිරෝධ ගාමිණී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි.

“මහණෙනි, රූපය කවරේද? මහණෙනි, පඨවි ආදී සතර මහා භූත රූපයද, සතර මහා භූතයන් නිසා පවත්නා (චක්ෂුරාදී සූවිසි) උපාදාරූපයද, යන මෙය රූපයයි කියනු ලැබේ. කබලිංකාර ආහාරය හේතුකොට ගෙන රූපයන්ගේ පහළවීම වෙයි. ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වේ. මෙම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම රූප නිරෝධ ගාමිණී ප්‍රතිපදාව වන්නීය. හේ කවරීද? සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් සංකල්පනාවය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය (යනුයි)

“මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන, මෙසේ රූප සමුදය දැන, මෙසේ රූප නිරෝධය දැන, මෙසේ රූප නිරෝධ ගාමිණී ප්‍රතිපදාව දැන, රූපයාගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහුද, ඔවුහු මනාකොට පිළිපන්නාහු වෙත්. යම් කෙනෙක් මනාකොට පිළිපන්නාහුද, ඔවුහු මේ ධර්මවිනයෙහි මනාකොට පිහිටියාහු වෙත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ මෙසේ රූපය දැන, හෝ මෙසේ රූප සමුදය දැන, මෙසේ රූප නිරෝධය දැන, මෙසේ රූප නිරෝධ ගාමිණී ප්‍රතිපදාව දැන, රූපයෙහි කලකිරීමෙන් නොඇලීමෙන්, නිරෝධයෙන් දැඩිකොට නොගැනීමෙන් මිදුනාහුද, ඔවුහු මනාකොට මිදුනාහ. යම්කෙනෙක් මනාකොට මිදුනාහුද, ඔවුහු නිමවන ලද සියලු කටයුතු ඇත්තාහුය. යම්කෙනෙක් මනාකොට නිමවූ සියලු කටයුතු ඇත්තාහුද, ඔවුන්ට පැනවීම පිණිස සංසාර වෘත්තයක් නැත්තේය.

“මහණෙනි, වේදනාව කවරීද? මහණෙනි, මේ වේදනා සයක්වෙත්. චක්ෂුස්පර්ශයෙන් හටගත් වේදනාය, ශ්‍රොතස්පර්ශයෙන් හටගත් වේදනාය, ඝානස්පර්ශයෙන් හටගත් වේදනාවය, ජිහ්වාස්පර්ශයෙන් හටගත් වේදනාවය, කාය ස්පර්ශයෙන් හටගත් වේදනාය, මනස්පර්ශයෙන් හටගත් වේදනාය. මහණෙනි, මෙය වේදනායයි කියනු ලැබේ. ස්පර්ශ හේතුවෙන් වේදනාවන්ගේ උත්පත්තියවේ. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධයවේ. මෙම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම වේදනා නිරෝධ ගාමිණී ප්‍රතිපදාවයි. හේ කෙසේද? සම්‍යක්දෘෂ්ටිය සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යනුයි.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ වේදනාව දැන, මෙසේ වේදනා සමුදය දැන, මෙසේ වේදනා නිරෝධය දැන, මෙසේ වේදනා නිරෝධ ගාමිණී ප්‍රතිපදාව දැන, වේදනාවගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, පිළිපන්නාහු වෙත්ද, ඔවුහු මනාකොට පිළිපන්නාහුය. යම් කෙනෙක් මනාකොට පිළිපන්නාහුද ඔවුහු මේ ධර්මවිනයෙහි ස්ථිර ලෙස පිහිටියාහු වෙත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ වේදනාව දැන, මෙසේ වේදනා සමුදය දැන මෙසේ වේදනා නිරෝධය දැන, මෙසේ වේදනා නිරෝධ ගාමිණී ප්‍රතිපදාව දැන, වේදනාවෙහි කලකිරීමෙන්, නො ඇලීමෙන්, නිරෝධයෙන්, දැඩිකොට නොගැනීමෙන් මිදුනාහුද, ඔවුහු මනාකොට මිදුනාහුවෙත්. යම් කෙනෙක් මනාකොට මිදුනාහුද, ඔවුහු මනාකොට නිමවන ලද සියලු කටයුතු කෘත්‍ය ඇත්තාහු වෙති. යම් කෙනෙක් කරන ලද සියලු කටයුතු ඇත්තාහුද ඔවුන්ට පැනවීමට සංසාර වෘත්තයක් නැත.

“මහණෙනි, සංඥාතොමෝ කවරීද? මහණෙනි, මේ සංඥා සයකි. රූප සංඥාවය, ශබ්ද සංඥාවය, ගන්ධ සංඥාවය. රස සංඥාවය, ඵොට්ඨබ්බ සංඥාවය ධම්ම සංඥාවය (යනුයි.) මහණෙනි, මේ සංඥාවෝයයි කියනු ලැබේ. ඵස්සය හේතුකොට

ගෙන සංඥාවන්ගේ උත්පත්තියවේ. ස්පර්ශ නිරෝධයෙන් සංඥා නිරෝධයවේ. මෙම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම සංඥා නිරෝධ ගාමිණී ප්‍රතිපදාවය. හේ කවරීද? සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය (යනුයි.)

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ සංඥාව දැන මෙසේ සංඥා සමුදය දැන මෙසේ සංඥා නිරෝධය දැන මෙසේ සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන සංඥාවගේ කලකිරීම පිණිස නොඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත්ද, ඔව්හු මනාකොට පිළිපන්නාහුය. යම්කෙනෙක් මනාකොට පිළිපන්නාහුද ඔව්හු ධර්මවිනයෙහි ස්ථිර ලෙස පිහිටියාහු වෙත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ සංඥාව දැන, මෙසේ සංඥා සමුදය දැන මෙසේ සංඥා නිරෝධය දැන, මෙසේ සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන, ප්‍රතිපදාවෙහි කලකිරීමෙන් නොඇලීමෙන් නිරෝධයෙන් දැඩිකොට නොගැනීමෙන් මිදුනාහුද, ඔව්හු මනාකොට මිදුනාහු වෙත්. යම්කෙනෙක් මනාකොට මිදුනාහුද, ඔව්හු මනාකොට නිමවන ලද සියලු කටයුතු ඇත්තාහු වෙත්. යම් කෙනෙක් කරනලද සියලු කටයුතු ඇත්තාහුද, ඔවුන්ට පැනවීමට සංසාරවෘත්තයක් නැත.

“මහණෙනි, සංස්කාරයෝ කවරහුද? මහණෙනි මේ චෙතනා සයකි. රුපසංචෙතනාය, ශබ්දසංචෙතනාය, ගන්ධසංචෙතනාය, රසසංචෙතනාය, ඵොට්ඨබ්බ සංචේතනාය, ධම්මසංචෙතනාය මහණෙනි, මේ සංස්කාරයෝයයි කියනු ලැබෙත්. ස්පර්ශය හෙතුකොටගෙන සංස්කාරයන්ගේ හටගැනීම වෙයි. ස්පර්ශ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මහණෙනි මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි.

හේ කවරහුද? සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් කල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය (යනුයි.)

“මහණෙනි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මෙසේ සංස්කාරයන් දැන මෙසේ සංස්කාර සමුදය දැන, මෙසේ සංස්කාර නිරෝධය දැන, මෙසේ සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන, සංස්කාරයන්හි කලකිරීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත්ද, ඔව්හු මනාකොට පිළිපන්නෝය. යම්කෙනෙක් මනාකොට පිළිපන්නාහුද, ඔව්හු මේ ධර්මවිනයෙහි ස්ථිරව පිහිටියාහුවෙත්. යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ සංස්කාරයන් දැන මෙසේ සංස්කාර සමුදය දැන මෙසේ සංස්කාර නිරෝධය දැන මෙසේ සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන සංස්කාරයන්හි කලකිරීමෙන් නොඇලීමෙන් නිරෝධයෙන් දැඩිකොට නොගැනීමෙන් මිදුනාහුද, ඔව්හු මනාකොට මිදුනාහුය. යම් කෙනෙක් මනාකොට මිදුනාහුද, ඔව්හු කරනලද සියලු කටයුතු ඇත්තාහුය. යම්කෙනෙක් කරනලද සියලු කටයුතු ඇත්තාහුද, ඔවුනට සංසාරවෘත්තයක් පැනවීම නැත්තේය.

“මහණෙනි, විඥානය කවරේද? මහණෙනි මේ විඥාන කය සයක් වෙත්. චක්ෂුර්විඥානය ශ්‍රොතවිඥානය ඝ්‍රාණවිඥානය ජිව්හාවිඥානය කායවිඥානය මනොවිඥානයයි. මහණෙනි මේ විඥානයයි කියනු ලැබේ. නාම රූප හෙතුකොට ගෙන විඥානයාගේ පහළවීම වෙයි. නාමරූප නිරෝධයෙන් විඥාන නිරෝධය වේ. මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාවය.

හේ කවරීද? සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධියයි.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ විඥානය දැන මෙසේ විඥාන සමුදය දැන, මෙසේ විඥාන නිරෝධය දැන මෙසේ විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන විඥානයෙහි කලකිරීම පිණිසද විරාගය පිණිසද නිරෝධය පිණිසද පිළිපන්නාහු වෙත්ද, ඔව්හු මනාකොට පිළිපන්නාහුය. යම්කෙනෙක් මනාකොට පිළිපන්නාහුද ඔව්හු මේ ධර්ම විනයෙහි ස්ථිරව පිහිටියාහුවෙත්. මහණෙනි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ විඥානය දැන විඥාන සමුදය දැන විඥාන නිරෝධය දැන විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන විඥානයෙහි කලකිරීමෙන් නො ඇලීමෙන් නිරෝධයෙන් දැඩිලෙස නොගැනීමෙන් මිදුනාහුද, ඔව්හු මනාකොට මිදුනාහුය. යම්කෙනෙක් මනාකොට මිදුනාහුද ඔව්හු කරන ලද සියලු කටයුතු ඇත්තාහුය. යම් කෙනෙක් කරනලද සියලු කටයුතු ඇත්තාහුද ඔවුනට පැනවීමට (සංසාර) වෘත්තයක් නැත්තේයයි” වදාළේය.

(හතරවෙනි උපාදාන සූත්‍රය නිමි.)