සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

6. උපාය වර්ගය

5. සත්තට්ඨාන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, මේ ශාසනයෙහි සත්තැනෙක්හි දක්ෂවූ තුන් ආකාරයකින් බලන්නාවූ මහණතෙමේ නිමවනලද සියලු කටයුතු ඇත්තාවූ වැස නිමවනලද බ්‍රහ්මචරියාව ඇත්තාවූ උතුම් පුරුෂයායි කියනු ලැබේ.

“මහණෙනි, කෙසේ නම් භික්ෂූතෙමේ සත්තැනෙක්හි දක්ෂවේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුතෙමේ රූපය දනී, රූපයේ හේතුව දනී, රූපනිරෝධය දනී, රූපනිරෝධ ගාමිනී ප්‍රතිපදාව දනී, රූපයාගේ ආස්වාදය දනී, රූපයාගේ ආදීනව දනී, රූපයාගේ නිස්සරණය දනී, වේදනාව දනී. වේදනාවේ හේතුව දනී, වේදනා නිරෝධය දනී, වේදනා නිරෝධ ගාමිණී පටිපදාව දනී, වේදනාවගේ ආස්වාදය දනී, වේදනාවගේ ආදීනව දනී, වේදනාවගේ නිස්සරණය දනී, සංඥාව දනී, සංඥා හේතුව දනී, සංඥා නිරෝධය දනී, සංඥා නිරෝධ ගාමිනී පටිපදාව දනී, සංඥාවගේ ආස්වාදය දනී, සංඥාවගේ ආදීනව දනී, සංඥාවගේ නිස්සරණය දනී, සංස්කාරයන් දනී, සංස්කාර හේතුව දනී සංස්කාර නිරෝධය දනී, සංස්කාර නිරෝධ ගාමිනී පටිපදාව දනී, සංස්කාරයන්ගේ ආස්වාදය දනී, සංස්කාරයන්ගේ නිස්සරණය දනී, විඥානය දනී, විඥාන හේතුව දනී, විඥාන නිරෝධය දනී, විඥාන නිරෝධ ගාමිනී පටිපදාව දනී, විඥානයාගේ ආස්වාදය දනී, විඥානයාගේ ආදීනව දනී, විඥානයාගේ නිස්සරණය දනී.

“මහණෙනි, රූපය කවරේද? සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා සූවිසි උපාදා රූපයද, යන මෙය මහණෙනි, රූපයයි කියනු ලැබේ. ආහාරය හේතු කොට ගෙන රූපයන්ගේ හටගැනීම වෙයි. ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වේ. මෙම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි.

“හේ කවරීද යත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය සම්‍යක් සමාධියයි. රූපය නිසා යම් සුඛයක් සොම්නසක් උපදිද’ මෙය රූපයාගේ ආස්වාදයයි. යම් රූපයක් අනිත්‍යයද, දුකද, වෙනස්වන සුලුද, මෙය රූපයාගේ ආදීනවයි. රූපය කෙරෙහි යම් ඡන්දරාගය දුරුකිරීමක් වේද, යම් ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය රූපයාගේ නිස්සරණයයි.

“මහණෙනි, යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ රූපය දැන මෙසේ රූපසමුදය දැන මෙසේ රූප නිරෝධය දැන මෙසේ රූපනිරෝධ ගාමිනී පටිපදාව දැන මෙසේ රූපයාගේ ආස්වාදය දැන මෙසේ රූපයාගේ ආදීනව දැන මෙසේ රූපයාගේ නිස්සරණය දැන රූපයෙහි කලකිරීම පිණිස නොඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නාහුද? ඔව්හු මනාකොට පිළිපන්නාහු වෙත්. යම් කෙනෙක් මනාව පිළිපන්නාහුද, ඔව්හු මේ ධර්ම විනයෙහි පිහිට ලබත්.

“මහණෙනි, යම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ රූපය දැන මෙසේ සමුදාය දැන මෙසේ රූප නිරෝධය දැන, මෙසේ රූප නිරෝධගාමිනී පටිපදාව දැන, මෙසේ රූපයාගේ ආශ්වාදය දැන, මෙසේ රූපයාගේ ආදීනව දැන, මෙසේ රූපයාගේ නිස්සරණය දැන, රූපයෙහි කලකිරීමෙන්, නොඇලීමෙන්, නිරෝධයෙන්, දැඩිකොට නොගැනීමෙන් මිදුනාහුද, ඔවුහු මනාකොට මිදුනාහු වෙත්. යමෙක් මනාකොට මිදුනාහුද, ඔවුහු සම්පූර්ණ කළ කටයුතු ඇත්තාහුය. යම් කෙනෙක් කළ කටයුතු ඇත්තාහුද ඔවුන්ට පැනවීමට වෘත්තයක් නැත්තේය.

“මහණෙනි, වේදනාතොමෝ කවරීද? මහණෙනි, මේ වේදනා සයකි. චක්ෂුස්පර්ශයෙන් හටගත් වේදනාවය, ශ්‍රොතස්පර්ශයෙන් හටගත් වේදනාවය, ඝ්‍රානස්පර්ශයෙන් හටගත් වේදනාවය, ජිව්හාස්පර්ශයෙන් හටගත් වේදනාවය, කායස්පර්ශයෙන් හටගත් වේදනාවය, මනස්පර්ශයෙන් හටගත් වේදනාවය.

“මහණෙනි, මේ වේදනායයි කියනු ලැබේ. ස්පර්ශ හේතුයෙන් වේදනාවන්ගේ හටගැනීමවේ. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධයවේ. මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වන්නීය. හේ කෙසේද යත්. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් සමාධියයි. මේ වේදනාව නිසා යම් සැපයක් සොම්නසක් උපදියිද, මේ වේදනාවගේ ආස්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තීද, මේ වේදනාවගේ ආදීනවයි. වේදනාවෙහි යම් ඡන්දරාගය දුරු කිරීමක් ඡන්දරාගය පහකිරීමක්වේද, මේ වේදනාවගේ නිස්සරණයයි.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ වේදනාව දැන, මෙසේ වේදනා සමුදය දැන, මෙසේ වේදනා නිරෝධය දැන, මෙසේ වේදනා නිරෝධ ගාමිනී පටිපදාව දැන, මෙසේ වේදනාවගේ ආස්වාදය දැන, මෙසේ වේදනාවගේ ආදීනව දැන, මෙසේ වේදනාවගේ නිස්සරණය දැන, වේදනාව කෙරෙහි කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්ධය පිණිස පිළිපන්නාහුද, ඔවුහු මනාකොට පිළිපන්නාහුද වෙති. යම් කෙනෙක් මනාකොට පිළිපන්නාහුද, ඔවුහු ධර්ම විනයෙහි පිහිටීම ලබත්.

“මහණෙනි, යම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මෙසේ වේදනාව දැන, මෙසේ වේදනාවගේ හේතුව දැන, වේදනාවගේ නිරෝධය කිරීම දැන, වේදනාවගේ නිරුද්ධ කිරීමට පමුණුවන පිළිවෙත දැන, මෙසේ වේදනාවගේ ආස්වාදය දැන, මෙසේ වේදනාවගේ ආදීනවය දැන, මෙසේ වේදනාවගේ නිස්සරණය දැන, වේදනාව කෙරෙහි කළකිරීමෙන්, නොඇලීමෙන්, නිරෝධයෙන් දැඩිකොට නොගැනීමෙන් මිදුනාහුද, ඔවුහු මනාකොට මිදුනාහු වෙති. යම් කෙනෙක් මනාකොට මිදුණාහුද, ඔවුහු කරන ලද සියලු කටයුතු ඇත්තාහුය. යම් කෙනෙක් කරන ලද සියලු කටයුතු ඇත්තාහුද ඔවුනට පැනවීමට (සංසාර) කටයුත්තක් නැත්තේය.

“මහණෙනි, සංඥාතොමෝ කවරේද? මහණෙනි, මේ සංඥා සයකි. රූප සංඥාය, ශබ්ද සංඥාය, ගන්ධ සංඥාය, රස සංඥාය, ස්පර්ශ සංඥාය, ධර්ම සංඥාය. මහණෙනි, මේ සංඥායයි කියනු ලැබේ.

“මහණෙනි, ස්පර්ශ හේතුවෙන් සංඥාවගේ හටගැනීමවේ. නිරෝධයෙන් සංඥා නිරෝධයවේ. මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වන්නීය. හේ කෙසේදයත්, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධියයි. මේ සංඥාව නිසා යම් සැපයක් උපදියිද, මේ සංඥාවගේ ආස්වාදයයි. යම් සංඥාවක් අනිත්‍යද, දුකද වෙනස්වන ස්වභාව ඇත්තීද, මෙ සංඥාවගේ ආදීනවයයි. මෙහි යම් ඡන්දරාගය දුරුකිරීමක් ඡන්දරාගය පහකිරීමක් වේද, මේ සංඥාවගේ නිස්සරණයයි.

“මහණෙනි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මෙසේ සංඥාව දැන, මෙසේ සංඥා සමුදය දැන, මෙසේ සංඥා නිරෝධය දැන, මෙසේ සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, සංඥාවගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, පිළිපන්නාහුවෙත්ද, ඔවුහු මනාකොට පිළිපන්නාහුය. යම් කෙනෙක් මනාකොට පිළිපන්නාහුද, ඔවුහු ධර්මවිනයෙහි ස්ථිර ලෙස පිහිටියාහු වෙත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ සංඥාව දැන, මෙසේ සංඥාවේ හේතුව දැන, මෙසේ සංඥා නිරෝධය දැන, මෙසේ සංඥාව නිරුද්ධ කිරීමට පමුණුවන පිළිවෙළ දැන, මෙසේ සංඥාවේ ආශ්වාදය දැන, මෙසේ සංඥාවේ ආදීනව දැන, මෙසේ සංඥාවේ නිස්සරණය දැන, සංඥාව කෙරෙහි කලකිරීමෙන්, නොඇලීමෙන්, නිරෝධයෙන් දැඩිකොට නොගැනීමෙන් මිදුනාහුද, ඔවුහු මනාකොට මිදුනාහු වෙත්. යම් කෙනෙක් මනාකොට මිදුනාහුද ඔවුහු මනාකොට නිමවන ලද සියලු කටයුතු ඇත්තාහු වෙත්. යම් කෙනෙක් කරන ලද සියලු කටයුතු ඇත්තාහුද, ඔවුන්ට පැනවීමට කටයුත්තක් නැත්තේය.

“මහණෙනි, සංස්කාරයෝ කවරහුද? මහණෙනි, මේ චේතනා සයකි. රූප සංචෙතනාය, ශබ්ද සංචෙතනාය, ගන්ධ සංචෙතනාය. රස සංචෙතනාය, ඵොට්ඨබ්බ සංචෙතනාය. ධම්මසංචෙතනාය.

“මහණෙනි, මේ සංස්කාරයෝයයි කියනු ලැබෙත්. ස්පර්ශ හේතුයෙන් සංස්කාරයන්ගේ හටගැනීම වේ. ස්පර්ශ නිරෝධයෙන් සංස්කාර නිරෝධයවේ. මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාවය. හේ කෙසේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක්වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය (යන මොව්හුයි.) සංස්කාරයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදී ද, මේ සංස්කාරයන්ගේ ආශ්වාදයයි යම් සංස්කාරයක් අනිත්‍යද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ සංස්කාරයන්ගේ ආදීනවයි. සංස්කාරයන් කෙරෙහි යම් ඡන්දරාගයක් දුරුකිරීම, ඡන්දරාගය පහකිරීම වෙයිද, මේ සංස්කාරයන්ගේ නිස්සරණයයි.

“මහණෙනි, යම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ සංස්කාරයන් දැන, මෙසේ සංස්කාර හේතුව දැන, සංස්කාර නිරෝධය දැන, සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, මෙසේ සංස්කාරයන්ගේ ආශ්වාදය දැන, සංස්කාරයන්ගේ ආදීනව දැන, මෙසේ සංස්කාරයන්ගේ නිස්සරණය දැන, සංස්කාරයන් කෙරෙහි කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහුද, ඔවුහු මනාකොට පිළිපන්නාහුය. යම් කෙනෙක් මනාකොට පිළිපන්නාහුය, ඔව්හු ධර්ම විනයෙහි පිහිටීම ලබත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ සංස්කාරයන් දැන, මෙසේ සංස්කාර හේතුව දැන, මෙසේ සංස්කාර නිරොධයද දැන, මෙසේ සංස්කාර නිරෝධ ගාමිනී පටිපදාව දැන, මෙසේ සංස්කාරයන්ගේ ආස්වාදය දැන, මෙසේ සංස්කාරයන්ගේ ආදීනව දැන, මෙසේ සංස්කාරයන්ගේ නිස්සරණය දැන, සංස්කාරයන්හි කලකිරීමෙන් නොඇලීමෙන් නිරුද්ධවීමෙන් දැඩිකොට නොගැනීමෙන් මිදුනාහුද, ඔව්හු මනාකොට මිදුනාහු වෙති. යම් කෙනෙක් මනාකොට මිදුනාහුද, ඔව්හු කරනලද සියලු කටයුතු ඇත්තාහුද, ඔවුනට පැනවීමට (සංසාර) කටයුත්තක් නැත්තේය.

“මහණෙනි, විඤ්ඤාණය කවරේද? චක්ඛු විඤ්ඤාණය සොතවිඤ්ඤාණය, ඝානවිඤ්ඤාණය, මහණෙනි, මේ විඤ්ඤාණ සයෙකි. ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනො විඤ්ඤාණයද යන මෙය මහණෙනි, විඤ්ඤාණයයි කියනු ලැබේ. නාම රූප හේතුයෙන් විඤ්ඤාණයාගේ හටගැනීමවේ. නාමරූප නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධයවේ. මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම විඤ්ඤාණ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. හේ කෙසේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය සම්‍යක් සමාධියද වෙති. විඤ්ඤාණය නිසා යම් සැප සොම්නසක් උපදීද, එය විඤ්ඤාණයාගේ ආශ්වාදයවේ. යම් විඤ්ඤාණයක් අනිත්‍යයද, දුකද, වෙනස්වන සුළුද, මෙය විඤ්ඤාණයාගේ ආදීනවයි. විඤ්ඤාණය කෙරෙහි ඡන්දරාගය දුරුකිරීමක් ඡන්දරාගය පහකිරීමක් වෙයිද, මෙය විඤ්ඤාණයාගේ නිස්සරණයවේ.

“මහණෙනි, යම්ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ විඤ්ඤාණය දැන, මෙසේ විඥාන සමුදය දැන, මෙසේ විඥාන නිරෝධය දැන, මෙසේ විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, මෙසේ විඥානයාගේ ආස්වාදය දැන, මෙසේ විඥානයාගේ ආදීනව දැන, මෙසේ විඥානයාගේ නිස්සරණය දැන, විඥානය කෙරෙහි කලකිරීම පිණිස නොඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නාහුද ඔව්හු යහපත්කොට පිළිපන්නෝය. යම් කෙනෙක් යහපත්කොට පිළිපන්නාහුද, ඔව්හු මේ ශාසනයෙහි පිහිට ලබත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ විඥානය දැන මෙසේ විඥාන හේතුව දැන, මෙසේ විඥාන නිරෝධය දැන, මෙසේ විඥාන නිරෝගාමිනී පටිපදාව දැන, මෙසේ විඥානයාගේ ආස්වාදය දැන, මෙසේ විඥානයාගේ ආදීනව දැන, මෙසේ විඥානයාගේ නිස්සරණය දැන, විඥානයෙහි කලකිරීමෙන් නොඇලීමෙන් නිරෝධයෙන් දැඩිසේ නොගැනීමෙන් මිදුනාහුද ඔව්හු මනාකොට මිදුනාහුවෙත්. යම් කෙනෙක් මනාකොට මිදුනාහුද ඔව්හු කරනලද සියලු කටයුතු ඇත්තාහුය. යම් කෙනෙක් කරනලද සියලු කටයුතු ඇත්තාහුද, ඔවුනට පැනවීමට (සංසාර) කටයුත්තක් නැත්තේය. මහණෙනි, මෙසේ භික්ෂුහු සත්තැනෙක්හි දක්ෂවූවෝ වෙති.

“මහණෙනි, මේ සස්නෙහි භික්ෂුතෙමේ ධාතු වශයෙන් බලන්නේ වෙයි. ආයතන වශයෙන් බලන්නේ වෙයි. පටිච්චසමුප්පාද වශයෙන් බලන්නේ වෙයි.

“මහණෙනි, මෙසේ වනාහි තුන් ආකාරයෙන් බලන්නේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සත් තැනෙක්හි දක්ෂවූ තුන් ආකාරයකින් බලන්නාවූ භික්ෂුතෙමේ නිමවනලද සියලු කටයුතු ඇත්තාවූ වැස නිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යා ඇති උතුම් පුරුෂයායයි” කියනු ලැබේ.

(පස්වෙනි සත්තට්ඨාන සූත්‍රය නිමි.)