සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

6. උපාය වර්ගය

6. සම්බුද්ධ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

“මහණෙනි, රූපයාගේ කලකිරීමෙන් නොඇලීමෙන්, නිරෝධයෙන්, තෘෂ්ණාදීන් දැඩිසේ නොගැනීමෙන් මිදුණාවූ, අර්හත් සම්බුද්ධතෙමේ සම්‍යක් සම්බුද්ධයයි කියනු ලැබේ.

“මහණෙනි, රූපයාගේ කලකිරීමෙන්, නොඇලීමෙන්, නිරෝධයෙන්, තෘෂ්ණාදීන් දැඩි වශයෙන් නොගැනීමෙන් ප්‍රඥාව කරණකොට මිදුණාවූ භික්ෂුතෙමේ පඤ්ඤාවිමුත්තයයි කියනු ලැබේ.

“මහණෙනි, වේදනාවගේ කලකිරීමෙන් නොඇලීමෙන්, නිරෝධයෙන්, තෘෂ්ණාදීන් දැඩි වශයෙන් නොගැනීමෙන් මිදුණාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධතෙමේ සම්‍යක් සම්බුද්ධයයි කියනු ලැබේ.

“මහණෙනි, වේදනාවගේ කලකිරීමෙන්, විරාගයෙන්, නිරෝධයෙන්, තෘෂ්ණාදීන් නොගැනීමෙන්. ප්‍රඥාව කරණ කොටගෙන මිදුණාවූ භික්ෂුව පඤ්ඤා විමුත්තයයි කියනු ලැබේ.

“මහණෙනි, සංඥාවගේ කලකිරීමෙන්, නොඇලීමෙන්, නිරෝධයෙන්, තෘෂ්ණාදීන් දැඩිසේ නොගැනීමෙන්, මිදුණාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධතෙමේ සම්‍යක් සම්බුද්ධයයි කියනු ලැබේ.

“මහණෙනි, සංඥාවගේ කලකිරීමෙන්, නොඇලීමෙන්, නිරෝධයෙන්, තෘෂ්ණාදීන් දැඩි වශයෙන් නොගැනීමෙන් ප්‍රඥාව කරණකොටගෙන මිදුණාවූ භික්ෂුතෙමේ පඤ්ඤාවිමුත්තයයි කියනු ලැබේ.

“මහණෙනි, සංස්කාරයන්ගේ කලකිරීමෙන්, නොඇලීමෙන්, නිරෝධයෙන්, තෘෂ්ණාදීන් දැඩිසේ නොගැනීමෙන්, මිදුණාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධතෙමේ සම්‍යක් සම්බුද්ධ යයි කියනු ලැබේ.

“මහණෙනි, සංස්කාරයන්ගේ කලකිරීමෙන්, නොඇලීමෙන් නිරෝධයෙන්, දැඩිව අල්වා නොගැනීමෙන්, ප්‍රඥාව කරණ කොටගෙන මිදුණාවූ භික්ෂුතෙමේ පඤ්ඤාවිමුත්තයයි, කියනු ලැබේ.

“මහණෙනි, විඤ්ඤාණයාගේ කලකිරීමෙන්, නොඇලීමෙන්, නිරොධයෙන්, දැඩිකොට ගැනීමෙන් මිදුණාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධ තෙමේ සම්‍යක් සම්බුද්ධයයි කියනු ලැබේ.

“මහණෙනි, විඤ්ඤාණයාගේ කලකිරීමෙන්, නොඇලීමෙන් නිරෝධයෙන්, දැඩිකොට ගැනීමෙන්, ප්‍රඥාව කරණකොට ගෙන මිදුණු භික්ෂුතෙමේ පඤ්ඤාවිමුත්තයයි කියනු ලැබේ.

“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන්ගේ පඤ්ඤාවිමුත්ත භික්ෂුවගේ කවර නම් විශෙෂයෙක්ද, කවර නම් අදහසක්ද, කවර නම් වෙනසක්ද?

“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධානකොට ඇත්තාහ. ස්වාමීනි, මේ වචනයාගේ අර්ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහෙනසේක් නම් ඉතා මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු ධරාගන්නාහයි” කීහ.

“මහණෙනි, එසේ නම් මනාකොට අසව්. මනාකොට සිත්හි ධරාගනිව්. කියන්නෙමියි” භාග්‍යවතුන් වහන්සේ වදාළේය.

“ස්වාමීනි, එසේයයි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

“මහණෙනි, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙමේ නූපන් මාර්ගය උපදවන්නේ වෙයි. පහළ නොවූ මාර්ගය පහළකරන්නේ වෙයි. නොකී මාර්ගය කියන්නේ වෙයි. මාර්ගය දන්නේ වෙයි. මාර්ගය අවබෝධ කරන්නේ වෙයි. දක්ෂ වූයේ වෙයි. මහණෙනි, දැන් ශ්‍රාවකයෝ මාර්ගයට අනුව යමින් පසුව මාර්ග අනුගමනය කරන්නෝව වෙසෙත්. මහණෙනි, මේ වනාහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ගේ හා පඤ්ඤාවිමුත්ත භික්ෂුවගේ විශෙෂයයි, අදහසයයි, වෙනසයයි” වදාළේය.

(හයවෙනිවූ සම්බුද්ධ සූත්‍රය නිමි.)