සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

7. අරහන්ත වර්ගය

3. අභිනන්දන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක්හි හුන්නේය. එක්පසෙක්හි හුන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

“භාග්‍යවතුන් වහන්සේ මට කොටින් ධර්මදෙශනා කරණසේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව, වාසය කරන්නෙමි” කියායි.

“මහණ, තණ්හා, දිට්ඨි, මානයන් කරණකොට අභිනන්දනයෙන් සතුටු වන්නේ මරහුගේ පුඩුවෙන් බැඳෙන ලද්දේ වෙයි. එයින් සතුටු නොවන්නේ මාර බන්ධනයෙන් මිදුනේ වෙයි.”

“භාග්‍යවතුන් වහන්ස, මා විසින් දැනගන්නාලදී. සුගතයන් වහන්ස, මා විසින් දැනගන්නාලදැයි” කීයේය.

“මහණ, නුඹ වනාහි මා විසින් කොටින් දේශනා කරන ලද ධර්මයේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දැනගත්තෙහිද?”

“ස්වාමීනි, රූපය තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන සතුටුවන්නේ මාරබන්ධනයෙන් බැඳුනේ වෙයි. සතුටු නොවන්නේ මරහුගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි.

“වේදනාව තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන සතුටු වන්නේ මාරබන්ධනයෙන් බැඳුනේ වෙයි. සතුටු නොවන්නේ මරහුගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි.

“සංඥාව තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන සතුටු වන්නේ මාර බන්ධනයෙන් බැඳුනේ වෙයි. සතුටු නොවන්නේ මරහුගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි.

“සංස්කාරයන් තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන සතුටු වන්නේ මාරබන්ධනයෙන් බැඳුනේ වෙයි. සතුටු නොවන්නේ මරහුගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි.

“විඤ්ඤාණය තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන සතුටු වන්නේ මරහුගේ බන්ධනයෙන් බැඳුනේ නම් වෙයි. සතුටු නොවන්නේ මාරබන්ධනයෙන් මිදුනේ නම් වෙයි.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කොටින් දෙසන ලද දේශනාවේ අර්ථය විස්තර වශයෙන් මෙසේ දනිමියි” කීයේය.

“මහණ, ඉතා මැනවි. ඉතා මැනවි. මහණ, නුඹ වනාහි මවිසින් කොටින් දෙසනලද ධර්මයේ අර්ථය විස්තර වශයෙන් දැනගත්සේ ඉතා මැනවි.

“මහණ, රූපය තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන සතුටුවන්නේ මාරයාගේ පුඩුවෙන් බැඳුනේ නම් වෙයි. සතුටු නොවන්නේ මාරයාගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි.

“වේදනාව තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන, සතුටු වන්නේ මාරයාගේ පුඩුවෙන් බැඳුනේ නම් වෙයි. සතුටු නොවන්නේ මාරයාගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි.

“සංඥාව තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන, සතුටු වන්නේ මාරයාගේ පුඩුවෙන් බැඳුනේ නම් වෙයි. සතුටු නොවන්නේ මාරයාගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි.

“සංස්කාරයන් තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන සතුටු වන්නේ මාරයාගේ පුඩුවෙන් බැඳුනේ නම් වෙයි. සතුටු නොවන්නේ මාරයාගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි.

“විඤ්ඤාණය තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන සතුටු වන්නේ මාරයාගේ පුඩුවෙන් බැඳුනේ නම් වෙයි. සතුටු නොවන්නේ මාරයාගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි.

“මහණ, මා විසින් කොටින් දේශනා කරණලද මේ ධර්මයේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දතයුතුයයි වදාළේය.

එකල්හි ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය අසා සතුටුවූයේය. සතුටුව, අනුමෝදන්ව, හුනස්නෙන් නැඟිට, භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරවයෙන් ගියේය.

ඉක්බිති ඒ භික්ෂුතෙමේ හුදකළාවූයේ සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යම් අර්ථයක් සඳහා මනාකොට ගිහි ගෙයින් නික්ම සස්නෙහි පැවිදිවෙත්ද, මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයේදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් අවබෝධකොට, ඊට පැමිණ, වාසය කෙළේය. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මභාවයෙහි කළයුතු අනිකක් නැත්තේයයි දැනගත්තේය.

ඒ භික්ෂුතෙමේ වනාහි රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක්ද වූයේය.

(තුන්වෙනි අභිනන්දන සූත්‍රය නිමි.)