සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

1. නකුල පිතු වර්ගය

7. උපාදාපරිතස්සන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, තොපට මමය මාගේයයි ගැනීමෙන් වන භයද මමය මාගේයයි නොගැනීමෙන් වන භය දුරුවීමද දෙශනා කරන්නෙමි. එය මනාකොට අසව්, මෙනෙහි කරව්, කියන්නෙමි.” ඒ භික්ෂූහු “එසේය, ස්වාමීනි” භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “මහණෙනි, කෙසේ නම් මමය මාගේයයි ගැනීමෙන් වන භය ඇතිවේද?

“මහණෙනි, මේ ලොකයෙහි ආර්‍ය්‍යයන් නොදක්නාවූ, ආර්‍ය්‍යධර්මයෙහි අදක්ෂවූ ආර්‍ය්‍යධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම රූපස්කන්ධය මමයයි දකී. රූපසහිතවූවක් හෝ මම යයි දකී. මා කෙරෙහි හෝ රූපස්කන්ධය ඇතැයි දකී. රූපස්කන්ධය කෙරෙහි හෝ මා ඇතැයි දකී. ඔහුගේ ඒ රූපස්කන්ධය වෙනස්වෙයි. අන් අයුරකට පෙරළෙයි. ඔහුගේ රූපය වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හෙතුකොට ගෙන රූපය පෙරළීමට අනුව පෙරලුණු විඤ්ඤාණයක් වෙයි. ඔහුගේ රූපස්කන්ධය වෙනස්වීම නිසා වෙනස්වූ විඤ්ඤාණයයෙන් උපන් තෘෂ්ණා භය වන අකුශල ධර්මයෝ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල් සිත මැඩපැවැත්වීම හෙතුකොට ගෙන භය සහිත වූයේද වෙයි. ආලය සහිත වූයේද වෙයි. තෘෂ්ණාවෙන් ගැනීම නිසා භයට පැමිණෙයි. අල්ලාගෙන සිටිති. වේදනාව මමයයි දකියි. වේදනා සහිතවූවක් හෝ මමයයි දකියි. මා කෙරෙහි හෝ වේදනාව ඇතැයි දකියි. වේදනාවෙහි හෝ මම ඇතැයි දකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. වේදනාව වෙනස්වීම අන්අයුරකට පැමිණීම හෙතුකොටගෙන ඔහුගේ සිතද වේදනා පරිවර්තනයට අනුව පරිවර්තනයවෙයි. වේදනාවට අනුව පරිවර්තනයවූ සිතින් හට ගත් තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන සිටිත්. කුශල චිත්තයාගේ මැඩපැවැත්වීම හෙතු කොටගෙන භය සහිත වූයේද වෙයි. දුක්සහිත වූයේද වෙයි. ආලය සහිත වූයේද වෙයි. තාෂ්ණාවෙන් ගැනීම නිසා භය වන්නේය.”

“සංඥාව මමයයි දකියි. සංඥා සහිතවූවක් හෝ මමයයි දකියි මා කෙරෙහි හෝ සංඥාව ඇතැයි දකියි. සංඥාවෙහි හෝ මම ඇතැයි දකියි. ඔහුගේ ඒ සංඥාව වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. සංඥාව වෙනස්වීම අන්අයුරකට පැමිණීම අනුව විඤ්ඤාණයද වෙනස්වේ. සංඥාවට අනුව පරිවර්තනයවූ, විඤ්ඤාණයෙන් හටගත් තණ්හා සහ භය යන අකුසලධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල චිත්තයාගේ මැඩ පැවැත්වීම හේතුකොටගෙන භය සහිතවූයේද වෙයි. දුක්සහිතවූයේද වෙයි. ආලය සතිතවූයේද වෙයි. තණ්හාවෙන් ගැනීම හේතුකොටගෙන භයට පැමිණෙන්නේද වෙයි.

“සංස්කාරයන් මමයයි දකියි සංස්කාර ඇත්තක්හු හෝ මමයයි දකියි. සංස්කාර මාකෙරෙහි ඇතැයි හෝ දකියි. සංස්කාරයන්හි මම ඇතැයි හෝ දකියි. ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස්වෙත්. අන් අයුරකට පැමිණෙත් සංස්කාරයන්ගේ වෙනස්වීම අන් අයුරකට පැමිණීම හෙතු කොටගෙන සංස්කාරයන්ගේ වෙනස්වීම අනුව විඤ්ඤාණයද වෙනස්වේ. සංස්කාරයන්ගේ වෙනස්වීමට අනුව වෙනස්වූ විඤ්ඤාණයෙන් උපන් තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල් සිත මැඩපැවැත්වීම හෙතුකොටගෙන භය සහිත වූයේද වෙයි. දුක් සහිත වූයේද වෙයි. ආලය සහිත වූයේද වෙයි. තෘෂ්ණාවෙන් ගැනීම හෙතුකොටගෙන භයට පැමිණෙන්නේද වෙයි.

“විඥානය මමයයි දකියි. විඥානය ඇත්තහු හෝ මමයයි දකියි. මා කෙරෙහි හෝ විඥානය ඇතැයි දකියි. විඥානයෙහි හෝ මම ඇතැයි දකියි. ඔහුගේ ඒ විඥානය වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. විඥානයාගේ වෙනස්වීම පෙරළීම නිසා ඔහුගේ සිතද විඥානය අනුව පෙරළෙන්නේ වෙයි. විඤ්ඤාණයාගේ පෙරලීමට අනුව පෙරලුණු සිතින් උපන් තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල් සිත මැඩපැවැත්වීම හෙතුකොටගෙන භය සහිත වූයේද වෙයි. දුක් සහිත වූයේද වෙයි ආලය සහිතවූයේද වෙයි. තෘෂ්ණාවෙන් ගැනීම නිසා භයට පැමිණෙන්නේද වෙයි.

“මහණෙනි, මෙසේ වනාහි තෘෂ්ණාවෙන් ගැනීම නිසා වන භය ඇතිවෙයි. මහණෙනි, කෙසේ නම් තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භය ඇති නොවන්නේද? මහණෙනි, මේ ලොකයෙහි ආර්‍ය්‍යයන් දක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි දක්ෂවූ ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනාවූ සත්පුරුෂයන් දක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ බහුශ්‍රැතවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපස්කන්ධය මමයයි නොදකියි. රූපස්කන්ධය ඇත්තහු හෝ මමයයි නොදකියි. මා කෙරෙහි හෝ රූපස්කන්ධය ඇතැයි නොදකියි. රූපස්කන්ධය කෙරෙහි හෝ මම ඇතැයි නොදකියි. ඔහුගේ ඒ රූපය විනාශවෙයි. අන්අයුරකට පැමිණෙයි. ඔහුගේ රූපය වෙනස්වීම හෙතුකොට ඔහුගේ විඤ්ඤාණයද රූපය වෙනස් වීමට අනුව වෙනස් නොවන්නේ වෙයි. ඔහුගේ රූපය වෙනස් වීමට අනුව වෙනස්වීමෙන් උපදනා තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ කුසල් සිත මැඩගෙන නොසිටිත්. කුසල් සිත මැඩ නොපැවැත්වීම නිසා භය සහිත වන්නේ නොවෙයි. දුක් සහිත වන්නේ නොවෙයි. ආලය සහිත වන්නේ නොවෙයි. තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භයට නොපැමිණෙන්නේය.

“වේදනාව මමයයි නොදකියි. වේදනා ඇත්තහු හෝ මමයයි නොදකියි. මා කෙරෙහි හෝ වේදනාව ඇතැයි නොදකියි. වේදනාව කෙරෙහි හෝ මම ඇතැයි නොදකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස්වෙයි. පෙරලෙයි. ඔහුගේ වේදනාව වෙනස්වීම පෙරලීම හෙතුකොටගෙන විඤ්ඤාණයද වේදනාවට අනුව වෙනස් නොවෙයි. වේදනාව වෙනස්වීමට අනුව වෙනස්වීමෙන් උපදනා තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ කුසල් සිත නොමැඩ පවත්වයි. කුසල් සිත නොමැඩ පැවැත්වීම නිසා භය සහිත වන්නේද නොවෙයි. දුක්සහිත වන්නේද නොවෙයි. ආලය සහිත වන්නේද නොවෙයි. තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භය නැත්තේද වෙයි.

“සංඥාව ඇත්තහු හෝ මමයයි නොදකියි. සංඥාව ඇත්තහු හෝ මමයයි නොදකියි. මා කෙරෙහි හෝ සංඥාව ඇතැයි නොදකියි. සංඥාව කෙරෙහි හෝ මම ඇතැයි නොදකියි. ඔහුගේ ඒ සංඥාව වෙනස්වෙයි පෙරලෙයි. ඔහුගේ සංඥාව වෙනස්වීම, පෙරලීම හේතුකොටගෙන විඤ්ඤාණයද සංඥාව අනුව වෙනස් නොවෙයි. ඔහුගේ සංඥාව වෙනස්වීමට අනුව වෙනස්වීමෙන් උපදනා තණ්හා භය වන අකුසල ධර්මයෝ කුසල් සිත නොමැඩ පවත්වයි. කුසල් සිත නොමැඩ පැවැත්වීම නිසා භය සහිත වන්නේද නොවෙයි. දුක් සහිත වන්නේද නොවෙයි. ආලය සහිත වන්නේද නොවෙයි. තණ්හාවෙන් නොගැනීම නිසා භය නැත්තේද වෙයි.

“සංස්කාරයන් මමයයි නොදකියි. සංස්කාර ඇත්තහු හෝ මමයයි නොදකියි. මා කෙරෙහි හෝ සංස්කාර ඇතැයි නොදකියි. සංස්කාරයන් කෙරෙහි හෝ මම ඇතැයි නොදකියි. ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. ඔහුගේ ඒ සංස්කාර වෙනස්වීම් අන් ආකාරයකට පෙරලීම හෙතුකොටගෙන විඤ්ඤාණයද සංස්කාරයන්ගේ පෙරලීමට අනුව පෙරලෙන්නේ නොවේ. සංස්කාරයන් පෙරලීමට අනුව වෙනස් වීමෙන් හටගත් තෘෂ්ණා භය වන අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන නොසිටිත්. කුසල් සිත නොමැඩ පැවැත්වීම හෙතුකොටගෙන භය සහිත වූයේද නොවෙයි. දුක් සහිතවූයේද නොවෙයි. ආලය සහිත වූයේද නොවෙයි. තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භයට නොපැමිණෙන්නේද වෙයි.

“විඥානය මමයයි නොගනියි. මා කෙරෙහි හෝ විඥානය නොවේයයි නොදකියි. විඥානයෙහි හෝ මම ඇතැයි නොදනියි. ඔහුගේ ඒ විඥානය වෙනස්වෙයි. අන්අයුරකට පැමිණෙයි. ඔහුගේ විඥානය වෙනස්වීම අන්අයුරකට පැමිණීම හෙතුකොටගෙන විඤ්ඤාණය වෙනස්වීමට අනුව සිත වෙනස් නොවෙයි. විඤ්ඤාණය වෙනස්වීමට අනුව වෙනස්වීමෙන් උපදනා තෘෂ්ණාව භය අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන නොසිටිත්. කුසල් සිත නොමැඩ පැවැත්වීම හෙතුකොටගෙන භය සහිතවූයේද නොවෙයි. දුක් සහිතවූයේද නොවෙයි. ආලය සහිතවූයේද නොවෙයි. තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භයට පැමිණෙන්නේද නොවෙයි. මහණෙනි, මෙසේ වනාහි තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භය ඇතිවන්නේ නොවෙයි.”

(සත්වෙනි උපාදාපරිතස්සන සූත්‍රය නිමි.)