සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
7. අරහන්ත වර්ගය
8. රජනීය සණ්ඨිත සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් ධර්මදේශනා කරන සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා හුදකලාව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි”යි කියායි.
“මහණ, යමක් ඇලිය යුතු අයුරෙන් පිහිටියේද එහි නුඹගේ ආලය දුරු කටයුතුයි” කියායි.
“භාග්‍යවතුන් වහන්ස, මා විසින් දන්නා ලදී. සුගතයන් වහන්ස, මා විසින් දන්නා ලදියි” කීය.
“මහණ, නුඹ මා විසින් කොටින් දේශනා කරන ලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දැනගත්තෙහිද?”
“ස්වාමීනි, රූපය වනාහි ඇලිය යුතු අයුරෙන් පිහිටියේය. එහි මාගේ ආලය දුරු කටයුතුයි.
වේදනාව ඇලිය යුතු ආකාරයෙන් පිහිටියේය. එහි මාගේ ආලය දුරු කටයුතුයි.
සංඥාව ඇලිය යුතු ආකාරයෙන් පිහිටියේය. එහි මාගේ ආලය දුරු කටයුතුයි.
සංස්කාරයෝ ඇලිය යුතු ආකාරයෙන් පිහිටියේය. එහි මාගේ ආලය දුරු කටයුතුය.
විඥානය ඇලිය යුතු ආකාරයෙන් පිහිටියේය. එහි මාගේ ආලය දුරු කටයුතුයි.
ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කරන ලද මෙම දේශනාවේ අර්ථය විස්තර වශයෙන් මෙසේ දැන ගත්තෙමි”යි කීය.
“මහණ, මැනවි. මැනවි. මහණ නුඹ වනාහි මා විසින් කොටින් දෙශනා කරන ලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් මනාකොට දැන ගත්තෙහිය.
මහණ, රූපය වනාහි ඇලිය යුතු ආකාරයෙන් පිහිටියේය. එහි නුඹේ ආලය දුරු කටයුතුය.
වේදනාව ඇලිය යුතු ආකාරයෙන් පිහිටියේය. එහි නුඹේ ආලය දුරු කටයුතුයි.
සංඥාව ඇලිය යුතු ආකාරයෙන් පිහිටියේය. එහි නුඹේ ආලය දුරු කටයුතුයි.
සංස්කාරයෝ ඇලිය යුතු ආකාරයෙන් පිහිටියේය. එහි නුඹේ ආලය දුරු කටයුතුයි.
විඥානය ඇලිය යුතු ආකාරයෙන් පිහිටියේය. එහි නුඹේ ආලය දුරු කටයුතුය.
මහණ, මා විසින් කොටින් දේශනා කරන ලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් මෙසේ දත යුතුයි.
ඉක්බිති ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගෙන අනුමෝදන්වී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරවයෙන් ගියේය. අනතුරුව ඒ භික්ෂුතෙම හුදකලාව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරණුයේ, නොබෝ කලකින්ම කුල දරුවෝ යම් අර්ථයක් සඳහා ගිහිගෙයින් නික්ම සස්නෙහි මනාකොට පැවිදිවෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසන්කොට ඇති ඒ උතුම් අර්ථය විශිෂ්ට ඥානයෙන් දැන, ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවූයේය. කළයුත්ත කරන ලදී. මේ ආත්මයෙහි කෙලෙසුන් දුරුකරනු සඳහා කළයුතු අනිකක් නැත. ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් දැන ගත්තේය. ඒ භික්ෂුතෙමේද රහතුන් වහන්සේලාගෙන් එක්තරා රහත් භික්ෂුවක් වූයේය.
(අටවෙනි රජනීය සණ්ඨිත සූත්‍රය නිමි.)