සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

8. ඛජ්ජනීය වර්ගය

4. අරහන්ත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, රූපය අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි.

“වේදනාව අනිත්‍යය, යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුයි.

“සංඥාව අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුයි.

“සංස්කාරයෝ අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවෙයි.’ කියා මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුයි.

“විඤ්ඤාණය අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි ඒ මාගේ ආත්මය නොවෙයි.’ කියා මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුයි.’

“මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරුනේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි ඤාණය ඇති වෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. කටයුතුකොට නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දනියි.

“මහණෙනි, ලෝකයෙහි යම් පමණ සත්වයන් වාසය කරන ස්ථාන වෙත්ද, යම් පමණ භවාශ්‍රව වෙත්ද, යම් මේ රහත්හු වෙත්ද, ඒ රහත්හුම ලෝකයෙහි අග්‍ර වෙත්. ශ්‍රේෂ්ඨ වෙත්”යි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

මෙය වදාරා සුගතයන් වහන්සේ නැවතත් මෙසේද වදාළේය.

(1) “රහත්හු ඒකාන්තයෙන් සැප ඇත්තෝය. ඔවුන්ට තෘෂ්ණාව නැත. (නව වැදෑරුම්) මානය සිඳින ලදී. මොහය නමැති දැල පලා දමන ලදී.

(2) “ඔව්හු තෘෂ්ණාව නැති බවට පැමිණියහ. ඔවුන්ගේ සිත පිරිසිදුය. ලෝකයෙහි නොඇලුණාවූ ආශ්‍රව රහිතවූ ඔව්හු ශ්‍රෙෂ්ඨවූහ.

(3) “පඤ්චස්කන්ධයන් පිරිසිඳ දැන (සද්ධා, හිරි, ඔතප්ප, බාහුසච්ච විරිය, සති, සඤ්ඤා යන මේ) සත් ධර්මය ගෝචරකොට ඇත්තාවූ සත්වැදෑරුම් බෞද්ධාංග රත්නයෙන් සමන්විතවූ, ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මුණාවූ, ප්‍රශංසාවට සුදුසුවූ සත්පුරුෂවූ, බුදුරජාණන් වහන්සේගේ ඖරෂපුත්‍රවූ ඒ මහාවීරයෝ දුරු කළ භය ඇතිව හැසිරෙත්.

(4) “දස අංගයකින් සමන්විතවූ, මහා නාගවූ, සමාධියෙන් යුත් සිත් ඇති ඔව්හු ලෝකයෙහි ශ්‍රේෂ්ඨයෝ වෙති. ඔවුන්ට තෘෂ්ණාව නැත්තේය.

(5) “අර්හත්ඵල ඥානය ලැබුවාවූ, ඔවුන්ගේ මේ අන්තිම ආත්මයයි. බ්‍රහ්මචරියාවගේ සාරයවූ යම් රහත් ඵලයක් වේද ඒ පිණිස සෙවිය යුතු අන්ප්‍රත්‍යයක් නැතැයි ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත්තාහු වෙත්.

(6) “ඔව්හු ත්‍රිවිධ මානයන්හි කම්පා නොවෙත්. පුනරුත්පත්තියෙන් මිදුණාහ. දන්තභූමියයයි නම්ලද රහත්ඵලයට පැමිණියාවූ ඔව්හු ලොකයෙහි දිනුවාහු නම් වෙති.

(7) “අතීතවූද, වර්තමානවූද, අනාගතවූද, ස්කන්ධයන් කෙරෙහි ඔවුනට නන්දි සංඛ්‍යාත ඇල්මක් නැත. ඔව්හු ලෝකයෙහි බුදුවරයෝ අති උත්තමයහයි සිංහනාද කරත්.”

(හතරවෙනි අරහන්ත සූත්‍රය නිමි.)