සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

8. ඛජ්ජනීය වර්ගය

5. සීහො සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපය අනිත්‍යයි, යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මේ තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි.

“වේදනාව අනිත්‍යයි, යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි.

“සංඥාව අනිත්‍යයි, යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි.

“සංස්කාරයෝ අනිත්‍යයි, යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි.

“විඥානය අනිත්‍යය, යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුකනම් එය අනාත්මය. යමක් අනාත්ම නම් ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුයි.

“මහණෙනි, මෙසේ දන්නාවූ ආර්යශ්‍රාවකතෙමේ රූපය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. සංඥාව කෙරෙහිද කලකිරෙයි. සංස්කාරයන් කෙරෙහිද කලකිරෙයි. විඥානය කෙරෙහිද කලකිරෙයි. කලකිරුනේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන නුවණ පහළවෙයි. ඉපදීම ක්ෂයවිය. බ්‍රහ්මචර්යාවෙහි වැස නිමවන ලද්දේය. කටයුතුකොට නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනී.

“මහණෙනි, සත්වාවාසයෝ යම් පමණ වෙත්ද, භවාශ්‍ර යම් පමණ වෙත්ද, යම් ඒ රහත්වූ වෙත්ද, ඔව්හු ලෝකයෙහි අග්‍රවෙති. ශ්‍රෙෂ්ඨ වෙතියි” වදාළේය.

(පස්වෙනි සීහො සූත්‍රය නිමි.)