සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

8. ඛජ්ජනීය වර්ගය

8. පිණ්ඩොල සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර සමීපයෙහිවූ න්‍යග්‍රොධාරාමයෙහි වැඩ වාසය කරති.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ කිසියම් කරුණක් සඳහා භික්ෂු සංඝයා බැහැර කරවා පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන කිඹුල්වත් නුවරට පිඬු පිණිස පිවිසියේය. කපිලවස්තු නගරයෙහි පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැලකුණේ මහාවනය යම්තැනෙක්හිද දහවල් වාසය සඳහා එහි වැඩියේය.

මහවනයට වැඩ (එක්තරා) බෙලිගසක් මුල දහවල් කල්ගත කිරීම පිණිස වැඩ හුන්නේය. හුදකලාව විවේකිව වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේට සිත පිළිබඳ මෙබඳු අදහසක් පහළවූයේය. ‘මා විසින් භික්ෂු සංඝයා බැහැර කරන ලදී. මේ ශාසනයට අලුත පැමිණියාවූ පැවිදිව නොබෝ කල් ඇති නවක භික්ෂුහු මේ භික්ෂු සංඝයා අතර ඇත්තාහ. මා නොදක්නාවූ ඔවුන්ගේ සිත් පෙරළීමක් වන්නේය. මැලවීමක් වන්නේය. මව නොදක්නාවූ තරුණ වසු පැටවෙකුගේ සිත යම්සේ පෙරළීමක් වන්නේද, මැලවීමක් වන්නේද, එපරිද්දෙන්ම මේ ශාසනයට අලුත පැමිණියාවූ පැවිදිව නොබෝ කල් ගියාවූ නවක භික්ෂූහු මේ භික්ෂූන් අතර ඇත්තාහ.

“මා නොදක්නාවූ ඒ භික්ෂූන්ගේ සිත් පෙරළීමක් වන්නේය. මැලවීමක් වන්නේය. ජලය නොලබන්නාවූ තරුණ බීජයන් (ලපටි පැලෑටි) ගේ යම්සේ පෙරළීමක් වන්නේද, මැලවීමක් වන්නේද, එපරිද්දෙන්ම මේ ශාසනයට අලුත පැමිණියාවූ නවක භික්ෂූහු මේ භික්ෂු සංඝයා අතර ඇත්තාහ. මා නොදක්නාවූ ඔවුන්ගේ සිත් පෙරළීමක් වන්නේය. මැලවීමක් වන්නේය. මා විසින් පෙර යම්සේ භික්ෂු සංඝයාට අවවාද කරන ලද්දේද, මම වනාහි දැනුදු එපරිද්දෙන්ම භික්ෂු සංඝයාට අවවාද කරන්නෙම් නම් ඉතා මැනවි’ කියායි.

එකල්හි සහම්පතී බ්‍රහ්මතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැන ශක්තිමත් පුරුෂයෙක් හකුලන ලද අත දිගු කරන්නේ හෝ දිගු කරන ලද අත හකුලන්නේ හෝ යම්සේ නම්, එලෙසම බඹලෙව්හි අතුරුදන්වූයේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළවූයේය.

අනතුරුව සහම්පතී බ්‍රහ්මතෙමේ උතුරු සළුව එකාංශකොට පොරවා භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හි නම් එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ඇඳිලිබැඳ නමස්කාරකොට, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය. “භාග්‍යවතුන් වහන්ස, එය එසේමය. සුගතයන් වහන්ස, එය එසේමය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂු සංඝ තෙමේ පහකරන ලද්දේය. මේ ශාසනයට අලුත පැමිණියාවූ පැවිදිව නොබෝකල් ඇත්තාවූ නවක භික්ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නොදක්නාවූ ඔවුන්ගේ සිත් පෙරළීමක් වන්නේය. මැලවීමක් වන්නේය. මව නොදක්නාවූ කිරිබොන වසුපැටවකුගේ සිත යම්සේ පෙරළෙන්නේද, යම්සේ මැලවෙන්නේද, එපරිද්දෙන්ම මේ ශාසනයට අලුත පැමිණියාවූ පැවිදිව නොබෝකල් ඇත්තාවූ නවක භික්ෂූහු මේ භික්ෂූන් අතර ඇත්තාහ.

“භාග්‍යවතුන් වහන්සේ නොදක්නාවූ ඒ භික්ෂූන්ගේ සිත් පෙරළීමක් වන්නේය. මැලවීමක් වන්නේය. ජලය නොලබන්නාවූ ලපටි බීජයෝ යම්සේ වෙනස් වන්නේද, යම්සේ මැලවෙන්නේද, එපරිද්දෙන්ම මේ සස්නට අලුත පැමිණියාවූ පැවිදිව නොබෝකල් ඇත්තාවූ නවක භික්ෂූහු මෙහි ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ දැකීමට නොලබන්නාවූ ඔවුන්ගේ සිත් පෙරළෙන්නේය. මැලවෙන්නේය.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා (කෙරෙහි) සතුටුවන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට අවවාද කරන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර භික්ෂු සංඝයාට යම්සේ අවවාද කරන ලද්දේද, දැනුදු වනාහි එපරිද්දෙන්ම භික්ෂු සංඝයාට අවවාද කරන සේක්වා”කියායි. භාග්‍යවතුන් වහන්සේ (බඹහුගේ අයදුම) තුෂ්ණීම් භාවයෙන් ඉවසා වදාළේය. එවිට සහම්පතී බ්‍රහ්මතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන, භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරව දක්වා එහිම අතුරුදහන් වූයේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැගී සිටියේ න්‍යග්‍රොධාරාමය යම්තැනෙක්හිද එහි වැඩියේය. වැඩ පනවන ලද අසුනෙහි වැඩ හුන්නේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි එහි වැඩහිඳ ඒ භික්ෂූහු බියපත් ස්වභාවයෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි තනි තනිව හෝ දෙදෙනා බැගින් හෝ පැමිණෙන්නාහුද, එබඳුවූ ඍද්ධියක් කෙළේය. ඒ භික්ෂූහු පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

“මහණෙනි ජීවිකාවන් අතරෙන් යම් මේ පිඬු සිඟා ජීවත්වීමක් වේද, මෙය ඉතා හීනය. මහණෙනි, පාත්‍රයක් අතින්

ගෙන පිඬු සිඟා ඇවිදීමක් වේද, මෙය ලෙව්හි නින්දා කටයුත්තෙක. මහණෙනි, අර්ථය කැමති වන්නාවූ කුලපුත්‍රයෝ අර්ථ පිණිස එයද කරති, (භික්ෂූහු) රජ අණ නොතකා සිර ගෙයින් පැන ගොස් පැවිදිවූවෝ නොවෙති. සොරුන්ගෙන් වන මරණයෙන් මිදී පැවිදිවූවෝ නොවෙති. ණය නිසා පැවිදි වූවෝ නොවෙති. රජ සොර ආදී බිය නිසා පැවිදිවූවෝ නොවෙති. අඹුදරුවන් පෝෂණය කිරීමෙහි නොසමත්ව පැවිදිවූවෝ නොවෙති. එතකුදුවුවත් ජාතිය (ඉපදීම) ජරා මරණයෙන් සෝකයන්ගෙන් ළෙහි අත් ගසා හැඬීම් වැළපීම්වලින් දුක්වලින් දොම්නස්වලින් දැඩි ආයාසවලින් යුක්තය. මේ සියලු දුක් සමූහයාගේ කෙළවර කිරීමක් දක්නහු නම් ඉතා මැනවයි කියායි.

“මහණෙනි, මේ කුලපුත්‍රතෙමේ මෙසේ පැවිදිවූයේ වෙයි. හෙතෙමේ ලෝභය බහුලකොට ඇත්තේවේද, කාමයන්හි තියුණු රාගය ඇත්තේවේද, කිපුණු සිත් ඇත්තේවේද, ද්වේෂයෙන් දූෂිත සිත් ඇත්තේ වේද, මුළාවූ සිහි ඇත්තේ වේද, යහපත් නුවණ නැත්තේ වේද, විසිරගිය සිත් ඇත්තේ වේද, අසංවරවූ සිත් ඇත්තේ වේද?

“මහණෙනි, දෙකොණ ගිනි ගත් මැද අසූචි තැවරුණ සොහොන් පෙනෙල්ල යම්සේ ගමෙහි දර පිණිස ප්‍රයෝජන නොවෙයිද, වනයෙහි දර පිණිස ප්‍රයෝජන නොවෙයිද, මහණෙනි, ගිහි සැපයෙන්ද, පිරිහුණාවූ ශ්‍රමණ අර්ථය ද සම්පූර්ණ නොකරන්නාවූ මේ පුද්ගලයාට ඊට බඳු උපමා ඇත්තේයයි මම කියමි.

“මහණෙනි, කාම කල්පනාය, ව්‍යාපාද කල්පනාය, විහිංසා කල්පනායයි මේ අකුසල් විතර්කයෝ තුනකි.

“මහණෙනි, මේ අකුසල විතර්කයෝ වනාහි කොතැන්හි ඉතිරි නොවී නිරුද්ධ වෙත්ද, සතර සතිපට්ඨානයෙහි මනාකොට පිහිටි සිතින් යුක්තව වාසය කරන්නහුට හෝ විදර්ශනා සමාධිය වඩන්නාහුට හෝ වෙත්.

“මහණෙනි, යම් මේ විදර්ශනා සමාධියක් වේද එය වැඩීමට සුදුසුමය. මහණෙනි, වඩනා ලද්දාවූ බහුලකොට කරන ලද්දාවූ විදර්ශනා සමාධිය මහත්ඵල ඇත්තේ වෙයි. මහානිසංස ඇත්තේ වෙයි.

“මහණෙනි, භවදිට්ඨිය, විභව දිට්ඨියයි මේ දෘෂ්ටි දෙකකි.

මහණෙනි, එහි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකතෙමේ මෙසේ සලකයි. යමක් මම දැඩි වශයෙන් ගනු ලබන්නේ නිදොස් වන්නෙම්ද, ලොව එබඳු කිසිවක් ඇත්තේ දෝ හෝයි කියායි. හෙතෙමේ මෙසේ දනියි. ‘යමක් මම දැඩි වශයෙන් ගනු ලබන්නේ නිදොස් වන්නෙම්ද, ලොව එබඳු කිසිවක් නැත්තේය.’ කියායි. හෙතෙම මෙසේ දනියි. ‘මම දැඩි වශයෙන් ගන්නෙම් නම් රූපයම දැඩිකොට ගන්නෙමි. දැඩිවශයෙන් ගන්නෙම් නම් වේදනාව දැඩිකොට ගන්නෙමි. දැඩිවශයෙන් ගන්නෙම් නම් සංඥාව දැඩිකොට ගන්නෙමි. දැඩිවශයෙන් ගන්නෙම් නම් සංස්කාර දැඩිකොට ගන්නෙමි. දැඩිවශයෙන් ගන්නෙම් නම් විඥානයන්ම දැඩිකොට ගන්නෙමි.’ ඒ මාගේ දැඩිකොට ගැනීම හේතුකොට

ගෙන (කර්ම) භවය ඇතිවේ. භවය හේතුකොට ගෙන ජාතිය වෙයි. ජාතිය හේතුකොට ගෙන භවප්‍රත්‍යයෙන් උත්පත්තිය වෙයි. ජරාමරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස්, දැඩි ආයාසයෝ හටගන්නාහුය. මෙසේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ හටගැනීම වන්නේය.

“මහණෙනි, කුමකැයි සිතන්නහුද? රූපය නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යය.” යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” “ස්වාමීනි, දුකය.” “යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස්වන ස්වභාව නම් ‘එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි’ කියා දැකීමට සුදුසුවේද?” “ස්වාමීනි, සුදුසු නොවේ.”

“වේදනාව නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යය” “යමක් වනාහි අනිත්‍යයනම් එය දුක් හෝ වෙයිද සැප හෝ වෙයිද” “ස්වාමීනි, දුකය” “යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස්වන ස්වභාව නම් ‘එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි’ කියා දැකීමට සුදුසුවේද?” “ස්වාමීනි, සුදුසු නොවේ.”

“සංඥාව නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යය,” “යමක් වනාහි අනිත්‍යය නම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද” “ස්වාමීනි, දුකය.” “යමක් අනිත්‍ය නම්, දුක නම් වෙනස්වන ස්වභාවනම් ‘එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි” කියා දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි, සුදුසු නොවේ.”

“සංස්කාරයන් නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යය,” “යමක් වනාහි අනිත්‍යය නම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” “ස්වාමීනි, දුකය.” “යමක් අනිත්‍ය නම් දුකනම් වෙනස්වන ස්වභාවනම් ‘එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි’ කියා දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි, සුදුසු නොවේ.”

“විඥානය නිත්‍ය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යයි,” “යමක් අනිත්‍යය නම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” “ස්වාමීනි, දුකය.” “යමක් අනිත්‍ය නම්, දුක නම් වෙනස්වන ස්වභාව නම් ‘එය මාගේය. එය මම වෙමි. එය මගේ ආත්මයයි’ දැකීමට සුදුසුවේද?” “ස්වාමීනි, සුදුසු නොවේ.”

“මහණෙනි, එබැවින් අතීතවූද, අනාගතවූද වර්තමාන වූද අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, සමීපවූද, යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූප ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ ‘මෙසේ මෙය තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, සමීපවූද යම්කිසි වේදනාවක් වේද, ඒ සියලු වේදනා එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේය’යි මෙසේ තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, සමීපවූද, යම්කිසි සංඥාවක් වේද, ඒ සියලු සංඥා ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේය’යි මෙසේ මෙය තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දතයුතුයි.

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, සමීපවූද, යම්කිසි සංස්කාරයෝ වේද, ඒ සියලු සංස්කාර ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේය’යි මෙසේ මෙය තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, සමීපවූද, යම්කිසි විඥානයක් වේද, ඒ සියලු විඥානය ‘එය මාගේ නොවේ එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේය’යි කියා මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ රූපය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. සංඥාව කෙරෙහිද කලකිරෙයි. සංස්කාරයන් කෙරෙහිද කලකිරෙයි. විඥානය කෙරෙහිද කලකිරෙයි. කලකිරුණේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන ඥානය පහළවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. කටයුත්ත කොට නිමවන ලද්දේය මේ ආත්ම භාවය සඳහා කළයුතු අනිකක් නැතැයි” කියා වදාළේය.

(අටවෙනි පිණ්ඩොල සූත්‍රය නිමි.)