සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

8. ඛජ්ජනීය වර්ගය

10. පුණ්ණමානි සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පූර්වාරාමයෙහි මිගාරමාතු නම් ප්‍රාසාදයෙහි මහත් භික්ෂු සංඝයා සමග වාසය කළසේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ පිරුණු සඳ ඇති එදවස පුණු පොහොය ඇති රාත්‍රියෙහි භික්ෂු සංඝයා පිරිවරා එලිමහනෙහි වැඩසිටියහ.

ඉක්බිති එක්තරා භික්ෂුවක් ආසනයෙන් නැගිට සිව්ර ඒකාංශකොට පොරවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි ඇඳිලිබැඳ වැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඉදින් මට ප්‍රශ්නයක් ඇසීම පිණිස අවකාස දෙයිද? භාග්‍යවතුන් වහන්සේගෙන් මම ප්‍රශ්නයක් අසමි” කියායි.

“මහණ, එසේනම් නුඹ ස්වකීය ආසනයෙහි හිඳ යමක් ඇසීමට කැමැත්තෙහිද, එය අසව.”

ඒ භික්ෂුව “එසේය. ස්වාමීනි!”යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දී තම ආසනයෙහි ඉඳ, භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.

“ස්වාමීනි, මොව්හු පඤ්චොපාදානස්කන්ධයෝ නොවෙත්ද? කවරහුදයත්? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය” යනුයි.

“මහණ, මොවුහු වනාහි පඤ්චොපාදානස්කන්ධයෝයි කෙසේදයත්? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය” යනුයි.

ඒ භික්ෂුව “යහපත. ස්වාමීනි’යි භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, භාග්‍යවතුන් වහන්සේගෙන් මතු ප්‍රශ්නයක් ඇසීය.

“ස්වාමීනි මේ පඤ්චොපාදානස්කන්ධයෝ වනාහි කුමක් මුල්කොට පවත්නාහුද?”

“මහණ, මේ පඤ්චොපාදානස්කන්ධයෝ ආශාව මුල්කොට පවත්නාහ.”

ඒ භික්ෂුව “ස්වාමීනි, යහපතැ”යි භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, භාග්‍යවතුන් වහන්සේගෙන් මතු ප්‍රශ්නයක් ඇසීය.

“ස්වාමීනි, ඒ පඤ්චොපාදානස්කන්ධයෝම උපාදානය වෙයිද, නොහොත් පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙන් අන්‍ය වූවක් උපාදානය වෙයිද?”

“මහණ, ඒ පඤ්චොපාදානස්කන්ධයෝ උපාදානය නොවේ. පඤ්චොපාදානස්කන්ධයෙන් අන් තැනෙක්හිද උපාදාන නොවේ. එසේ වුවද, ඒ පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි යම් ඇලීමක් වෙයිද, ඒ ඇලීම එහි උපාදානය වේ.

ඒ භික්ෂුව “යහපත, ස්වාමීනි”යි භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදනාව, භාග්‍යවතුන් වහන්සේගෙන් මතුද ප්‍රශ්නයක් ඇසීය.

“ස්වාමීනි, පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි පවත්නා ආශාවේ වෙනසක් ඇත්තේද?” යනුයි.

“මහණ, ඇතැයි” භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

“මහණ මේ ලොකයෙහි ඇතැමෙකුට මෙසේ අදහස් වෙයි. ‘අනාගත කාලයෙහි මෙබඳු රූපය ඇත්තෙක් වන්නෙම්වා අනාගත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්වා. අනාගත කාලයෙහි මෙබඳු සඤ්ඤා ඇත්තෙක් වන්නෙම්වා. අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්වා. අනාගත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙම්වා. මහණ, පඤ්ච උපාදානස්කන්ධයන් පවත්නා ආශාවේ මෙසේ වෙනස් බව වන්නේය” යනුයි.

“යහපත ස්වාමීනි”යි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් මතු ප්‍රශ්නයක් ඇසීය.

“ස්වාමීනි, කිනම් අර්ථයකින් ස්කන්ධයන්ට ස්කන්ධ යන ව්‍යවහාරය වන්නේද?

“මහණ, යම්කිසි අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි රූපයක් වේද, මේ රූපස්කන්ධයයි කියනු ලැබේ.

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, සමීපවූද, යම්කිසි වේදනාවක් වෙයිද මෙය වේදනා ස්කන්ධයයි කියනු ලැබේ.

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද හීනවූද උතුම්වූද, දුරවූද, සමීපවූද, යම්කිසි සංඥාවක් වෙයිද මෙය සංඥා ස්කන්ධයයි කියනු ලැබේ.

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, සමීපවූද යම්කිසි සංස්කාරයෝ වෙත්ද, මෙය සංස්කාර ස්කන්ධයයි කියනු ලැබේ.

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද දුරවූද, සමීපවූද යම්කිසි විඤ්ඤාණයක් වේද මේ විඤ්ඤාණස්කන්ධයයි කියනු ලැබේ. මහණ, මෙතෙකින් ස්කන්ධයන්ගේ ස්කන්ධ යන ව්‍යවහාරය වේ.

ඒ භික්ෂුව “යහපත, ස්වාමීනි”යි භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් මතු ප්‍රශ්නයක් ඇසීය.

“ස්වාමීනි, රූපස්කන්ධයාගේ පැනවීම පිණිස, හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? වේදනා ස්කන්ධයාගේ පැනවීම පිණිස හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? සංඥාස්කන්ධයාගේ පැනවීම පිණිස හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? සංස්කාර ස්කන්ධයාගේ පැනවීම පිණිස හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? විඤ්ඤාණ ස්කන්ධයාගේ පැනවීම පිණිස හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?

“මහණ, රූපස්කන්ධයාගේ පැනවීම පිණිස, සතර මහා භූතයෝ හේතුවය. සතර මහාභූතයෝ ප්‍රත්‍යය. වේදනා ස්කන්ධයාගේ පැනවීම පිණිස ස්පර්ශය හේතුවය. ස්පර්ශය ප්‍රත්‍යයයි. සංඥාස්කන්ධයාගේ පැනවීම පිණිස ස්පර්ශය හේතුවය. ස්පර්ශය ප්‍රත්‍යයයි. සංස්කාර ස්කන්ධයාගේ පැනවීම පිණිස ස්පර්ශය හේතුවයි. ස්පර්ශය ප්‍රත්‍යයයි. විඤ්ඤාණස්කන්ධයාගේ පැනවීම පිණිස නාමරූප හේතුවයි. නාමරූප ප්‍රත්‍යයයි.

ඒ භික්ෂුව “යහපත, ස්වාමීනි”යි භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදනාව භාග්‍යවතුන් වහන්සේගෙන් මතු ප්‍රශ්නයක් ඇසීය.

“ස්වාමීනි, සක්කායදිට්ඨිය කෙසේ නම් වන්නේද?

“මහණ, මේ ලොකයෙහි ආර්යයන් නුදුටු ආර්යධර්මයෙහි අදක්ෂ, ආර්ය ධර්මයෙහි නොහික්මුණු, සත්පුරුෂයන් නුදුටු, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු පෘථග්ජන අශ්‍රැතවත් භික්ෂුව රූපය තමා වශයෙන් දකියි. රූපය ඇතියකු හෝ තමා වශයෙන් දකියි. රූපය තමා කෙරෙහි ඇතැයි හෝ දකියි රූපයෙහි තමා ඇතැයි හෝ දකියි.

“වේදනාව තමා වශයෙන් දකියි. වේදනාව ඇතියකු හෝ තමා වශයෙන් දකියි. වේදනාව තමා කෙරෙහි ඇතැයි හෝ දකියි. වේදනාවෙහි තමා ඇතැයි හෝ දකියි.

“සංඥාව තමා වශයෙන් දකියි. සංඥාව ඇතියකු හෝ තමා වශයෙන් දකියි. සංඥාව තමා කෙරෙහි ඇතැයි හෝ දකියි. සංඥාවෙහි තමා ඇතැයි හෝ දකියි.

“සංස්කාරයන් තමා වශයෙන් දකියි. සංස්කාර ඇතියකු හෝ තමා වශයෙන් දකියි. සංස්කාර තමා කෙරෙහි ඇතැයි හෝ දකියි. සංස්කාරයන්හි තමා ඇතැයි හෝ දකියි.

“විඤ්ඤාණය තමා වශයෙන් දකියි. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි දකියි තමා කෙරෙහි විඤ්ඤාණය ඇතැයි හෝ දකියි. විඤ්ඤාණය කෙරෙහි තමා ඇතැයි හෝ දකියි. මහණ, මෙසේ වනාහි සක්කායදිට්ඨිය වේ යයි වදාළේය.

ඒ භික්ෂුව “යහපත ස්වාමීනි”යි භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් මතු ප්‍රශ්නයක් ඇසීය.

“ස්වාමීනි, කෙසේ වනාහි සක්කායදිට්ඨිය නොවන්නේද?” “මහණ මේ ශාසනයෙහි ආර්යයන් දුටු, ආර්යධර්මයෙහි දක්ෂ, ආර්ය ධර්මයෙහි හික්මුණු, සත්පුරුෂයන් දුටු, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ සත්පුරුෂ ධර්මයෙහි හික්මුණු, ශ්‍රැතවත් ආර්යය ශ්‍රාවක තෙමේ රූපය තමා වශයෙන් නොදකියි. තමා රූපය ඇත්තෙකැයි හෝ නොදකියි. රූපය තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. රූපය කෙරෙහි තමා ඇතැයි හෝ නොදකියි.

“වේදනාව තමා වශයෙන් නොදකියි. තමා වේදනාව ඇත්තෙකැයි හෝ නොදකියි, වේදනාව තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. තමා වේදනාව කෙරෙහි ඇතැයි හෝ නොදකියි.

“සංඥාව තමා වශයෙන් නොදකියි තමා සංඥාව ඇත්තෙකැයි හෝ නොදකියි. සංඥාව තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. තමා සංඥාව කෙරෙහි ඇතැයි හෝ නොදකියි.

“සංස්කාරයන් තමා වශයෙන් නොදකියි. තමා සංස්කාර ඇත්තෙකැයි හෝ නොදකියි. සංස්කාර තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. තමා සංස්කාර කෙරෙහි ඇතැයි හෝ නොදකියි.

“විඤ්ඤාණය තමා වශයෙන් නොදකියි. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි හෝ නොදකියි. විඤ්ඤාණය තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. තමා විඤ්ඤාණය කෙරෙහි ඇතැයි හෝ නොදකියි. මහණ, මෙසේ සක්කායදිට්ඨිය නොවේයයි” වදාළේය.

ඒ භික්ෂුව “යහපත ස්වාමීනි”යි භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් මතු ප්‍රශ්නයක් ඇසීය.

“ස්වාමීනි, රූපයාගේ ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කුමක්ද?” වේදනාවගේ ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කුමක්ද? සංඥාවගේ ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කුමක්ද? සංස්කාරයාගේ ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කුමක්ද? විඤ්ඤාණයාගේ ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කුමක්ද?

“මහණ, රූපයක් නිසා යම් සැපයක් සොම්නසක් උපදියිද, ඒ රූපයාගේ ආශ්වාදයයි. යම් රූපයක් අනිත්‍යද දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද, මේ රූපයාගේ ආදීනවයයි. රූපයෙහි යම් ආශාව දුරු කිරීමක්, ආශාව පහකිරීමක් වෙයිද, මෙය රූපයාගේ නිස්සරණයයි.

“වේදනාව නිසා යම් සැපයක් සොම්නසක් උපදියිද, මේ වේදනාවගේ ආශ්වාදයයි යම් වේදනාවක් අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද, මේ වේදනාවගේ ආදීනවයයි. වේදනාවගේ යම් ආශාව දුරුකිරීමක්, ආශාව පහකිරීමක් වෙයිද, මේ වේදනාවගේ නිස්සරණයයි.

“සංඥාව නිසා යම් සැපයක්, සොම්නසක් උපදියිද, මේ සංඥාවගේ ආශ්වාදයයි. යම් සංඥාවක් අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද, මේ සංඥාවගේ ආදීනවයයි. සංඥාවගේ යම් ආශාව දුරු කිරීමක්, ආශාව පහකිරීමක් වෙයිද, මේ සංඥාවගේ නිස්සරණයයි.

“සංස්කාරය නිසා යම් සැපයක් සොම්නසක් උපදියිද, මේ සංස්කාරයන්ගේ ආශ්වාදයයි. යම් ඒ සංස්කාරයෝ අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාවයෙන් යුක්ත වෙත්ද, මේ සංස්කාරයන්ගේ ආදීනවයයි. සංස්කාරයන්ගේ යම් ආශාව දුරු කිරීමක්, ආශාව පහකිරීමක් වෙයිද, මේ සංස්කාරයන්ගේ නිස්සරණයයි.

විඤ්ඤාණය නිසා යම් සැපයක් යම් සොම්නසක් උපදියිද, මේ විඤ්ඤාණයාගේ ආශ්වාදයයි යම් විඤ්ඤාණයක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද, මේ විඤ්ඤාණයාගේ ආදීනවයයි. විඤ්ඤාණයෙහි යම් ආශාව දුරු කිරීමක්, ආශාව පහකිරීමක් වෙයිද මේ විඤ්ඤාණයාගේ නිස්සරණයයි” වදාළේය.

ඒ භික්ෂුව ‘යහපත ස්වාමීනි’යි භාග්‍යවතුන්වහන්සේගේ වචනයට ඉතා සතුටුව, අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් මතු ප්‍රශ්නයක් ඇසීය.

“ස්වාමීනි, කෙසේ දන්නහුට, කෙසේ දක්නහුට, මේ ‘විඤ්ඤාණය සහිත සිරුරෙහිද, බාහිරද, සියලු ආරම්මණයන්හිද මමය, මාගේයයි” ගැනීම මානානුසය යන මොව්හු නොවෙත්ද?

“මහණතෙම අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූපය ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි එය මගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියිද,

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි වේදනාවක් වේද, ඒ සියලු වේදනාව ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියිද,

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි සංඥාවක් වේද, ඒ සියලු සංඥාව ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියිද,

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි සංස්කාරයක් වේද, ඒ සියලු සංස්කාර ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියිද,

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි විඤ්ඤාණයක් වෙයිද, ඒ සියලු විඤ්ඤාණය මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි එය මාගේ ආත්මය නොවේයයි’ තත්වූ පරිද්දෙන් මනා නුවණින්, දකියිද, මහණ මෙසේ දන්නහුට, මෙසේ දක්නහුට, මේ සවිඤ්ඤාණක සිරුරෙහිද බාහිරවූ සියලු ආරම්මණයන්හිද, ‘මමය, මගේයයි’ ගැනීම සහ මානානුසය යන මොහු නොවෙත්යයි” වදාළේය.

එසමයෙහි වනාහි එක්තරා භික්ෂුවකට සිතෙහි මෙවැනි අදහසක් ඇතිවිය. ‘ස්වාමීනි, මෙසේ වනාහි රූපය අනාත්ම නම්, වේදනාව අනාත්ම නම්, සංඥාව අනාත්ම නම්, සංස්කාරයෝ අනාත්ම නම්, විඤ්ඤාණය අනාත්ම නම් අනාත්මය විසින් කරනලද කර්මයෝ කෙසේ තමා කරා පැමිණෙත්ද? එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත පිළිබඳ විතර්කය තම සිතින් දැන භික්ෂූන්ට ඇමතූසේක.

“මහණෙනි, මේ ශාසනයෙහි එක්තරා අඥානවූ අවිද්‍යාවෙන් යුත් හිස් පුරුෂයෙක් තෘෂ්ණාවෙන් මඩිනලද සිතින්

“පින්වත, මෙසේ වනාහි රූපය අනාත්ම නම්. වේදනාව අනාත්ම නම්, සංඥාව අනාත්ම නම්, සංස්කාරයෝ අනාත්ම නම්, විඤ්ඤාණය අනාත්ම නම් අනාත්මය විසින් කරනලද කර්මයෝ කෙසේ නම් තමා කරා පැමිණෙත්දැයි ශාස්තෘ ශාසනය ඉක්මවිය යුතුයයි හඟින්නේය. ඊට කරුණු ඇත්තේය.

“මහණෙනි, මා විසින් තෙපි ඒ ඒ තන්හි, ඒ ඒ ධර්මයන්හි, අසනලදුව හික්මවන ලද්දාහුය. මහණෙනි, එය කුමකැයි සිතව්ද?

“රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?” -“ස්වාමීනි, දුකෙකි.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද? ‘එය මගේය. එය මම වෙමි. එය මගේ ආත්මයයි’ ගැනීමට සුදුසුද? - “ස්වාමීනි, එය එසේ නොවන්නේමය.”

“වේදනාව නිත්‍යද? අනිත්‍යද? - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?’ -“ස්වාමීනි, දුකෙකි.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද? ‘එය මගේය. එය මම වෙමි. එය මගේ ආත්මයයි’ ගැනීමට සුදුසුද?” - “ස්වාමීනි, එය එසේ නොවන්නේමය.”

“සංඥාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?” -“ස්වාමීනි, දුකෙකි.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද? එය මගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි’ ගැනීමට සුදුසුද?” - “ස්වාමීනි, එය එසේ නොවන්නේමය.”

“සංස්කාරය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?” -“ස්වාමීනි, දුකෙකි.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද? ‘එය මගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි’ ගැනීමට සුදුසුද?” - “ස්වාමීනි, එය එසේ නොවන්නේමය.”

“විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?” -“ස්වාමීනි, දුකෙකි.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද? ‘එය මගේය. එය මම වෙමි. එය මගේ ආත්මයයි’ ගැනීමට සුදුසුද?” - ‘ස්වාමීනි එය එසේ නොවන්නේමය.

“මහණෙනි, එසේ හෙයින් අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි රූපයක් ඒ සියලු රූප, “මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දතයුතුයි.

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද යම්කිසි වේදනාවක් වේද, ඒ සියලු වේදනා ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මගේ ආත්මය නොවේයයි මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දතයුතුයි.

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද යම්කිසි සංඥාවක් වේද, ඒ සියලු සංඥා ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි එය මගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දතයුතුයි.

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද යම්කිසි සංස්කාරයක් වේද, ඒ සියලු සංස්කාර ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දතයුතුයි.

“අතීතවූද අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද යම්කිසි විඤ්ඤාණයක් වේද, ඒ සියලු විඤ්ඤාණ ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි එය මාගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දතයුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලීමෙන් (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ (පහල) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරන ලදී. මේ භවය පිණිස අනික් කළයුතු කිසිවක් නැතැයි දැනගනී” යනුයි.

(දහවෙනි පුණ්ණමානී සූත්‍රය නිමි.)

අටවෙනි ඛජ්ජනීය වර්ගය නිමි.

අස්සාද සූත්‍රයද, සමුදය සූත්‍රයද, අරහන්ත සූත්‍ර දෙකද, සීහො සූත්‍රයද, ඛජ්ජනී සූත්‍රයද, පිණ්ඩොල සූත්‍ර දෙකද, පාරිලෙය්‍යක සූත්‍රයද, පුණ්ණමානී සූත්‍රදැයි මේ වර්ගයෙහි සූත්‍ර දසයකි.