සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

9. ථෙර වර්ගය

2. තිස්ස සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේගේ නැන්දනියගේ පුත්‍රවූ ආයුෂ්මත් තිස්ස ස්ථවිර තෙම, බොහෝ භික්ෂූන්ට මෙසේ සැලකෙරෙයි- “ඇවැත්නි, කිම? මාගේ කය හටගත් බර බව ඇත්තක් සේ (අකර්මණ්‍ය වේ) මට දිශාවෝද ප්‍රකට නොවෙති. මට (පර්ය්‍යාප්ති) ධර්මයෝද නොවැටහෙත්. ථින මිද්ධය (චිත්ත චෛතසිකයන්ගේ අකර්මණ්‍ය බව) ද, මාගේ සිත මැඩගෙන සිටී (සස්නෙහි) ඇලුම් නැත්තේම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙමි. ධර්මයන්හි මට සැකයද උපදනේය.”

ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ බුදුන් වැඳ එකත්පසෙක හුන්හ. එක් පැත්තෙක හුන්නාවූම ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ:- “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේගේ නැන්දණියගේ පුත්වූ ආයුෂ්මත් තිස්ස ස්ථවිර තෙම බොහෝ භික්ෂූන්ට මෙසේ කියයි:- ‘කිම? ඇවැත්නි, මාගේ ශරීරය හටගත් බර බවක් මෙන් (අකර්මණ්‍ය වේ.) දිශාවෝද ප්‍රකටව නොපැණෙත්, දහමද මට නොවැටහෙත්. ථිනමිද්ධයද, මාගේ සිත යටපත් කොට සිටී, (සස්නෙහි) ඇලුම් නැත්තේම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙමි. ධර්මයන්හි මට සැකයක්ද උපදනේය?”

එකල්හි භාග්‍යවතුන් වහන්සේ, එක්තරා මහණෙකු ඇමතූසේක:- “එව, මහණ, මාගේ වචනයෙන් ‘ඇවත් තිස්ස ස්ථවිරයෙනි, ශාස්තෲන් වහන්සේ තොප කැඳවන සේකැ’යි තිස්ස භික්ෂුව කැඳවාගෙන එව,” “එසේය ස්වාමීනි”යි ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තරදී, ආයුෂ්මත් තිස්ස ස්ථවිරතෙම යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් තිස්සයන්ට මෙය සැළකෙළේය:-“ඇවත් තිස්ස ස්ථවිරයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැයි “ඇවත, එසේයයි’ ආයුෂ්මත් තිස්ස තෙර ඒ භික්ෂුවට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූම ආයුෂ්මත් තිස්ස තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:-

“තිස්සය, තෝ ‘ඇවැත්නි, මාගේ කය බර වූවාක් මෙන් කර්ම නොවෙයි. දිසාවන්ද මට ප්‍රකටව නොපැණෙති. දහම්ද මට නොවැටහෙත්. ථිනමිද්ධයද මා සිත මැඩගෙන සිටී. නො ඇලුනේම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙමි, ධර්මයෙහි මට සැකද වේ” යයි බොහෝ භික්ෂූන්ට මෙසේ කීයෙහි සැබෑද?” ‘එසේය ස්වාමීනි” (කීය.)

“තිස්සය, රූපයෙහි පහනොවූ රාගය ඇත්තාවූ, පහනොවූ ඡන්දය ඇත්තාවූ, පහනොවූ ප්‍රෙමය ඇත්තාවූ, පහනොවූ පිපාසය ඇත්තාවූ, පහනොවූ හාත්පස දැවිලි ඇත්තාවූ, පහනොවූ තෘෂ්ණාව ඇත්තාහට ඒ රූපයාගේ පෙරැළීමවූ අනික් ප්‍රකාර ස්වභාවයකින් ශොකය වැලපීමය, දුකය, දොම්නසය, දැඩි ආයාසය යන මොහු උපදිද්ද?”- “එසේය, ස්වාමීනි”යි

“සාධු සාධු තිස්සය, තිස්සය, මේ කරුණ මෙසේම වේ.

“රූපයෙහි පහනොවූ රාගය ඇත්තාහට යම්සේද, එමෙන් වේදනාවෙහි පහනොවූ රාගය ඇති, පහනොවූ ඡන්දය ඇති, පහනොවූ පෙම් ඇති, පහනොවූ පිපාසය ඇති, පහනොවූ හාත්පස දැවිලි ඇති, පහනොවූ තෘෂ්ණාව ඇත්තාහට ඒ වෙදනාවගේ පෙරැළීමවූ අන්‍යාකාර ස්වභාවයකින් ශොකය, වැලපීමය, දුකය, දොම්නසය, දැඩි ආයාසය යන මොහු උපදිද්ද?”-“එසේය, ස්වාමීනි” කීයේය. “තිස්සය, මැනවි! මැනවි!! තිස්සය, මෙය මෙසේම වන්නේය.

“වෙදනාවෙහි පහනොවූ රාගය ඇත්තාහට යම්සේද, එසේ සංඥාවෙහි පහනොවූ රාගය ඇති, පහනොවූ කැමැත්ත ඇති, පහනොවූ පෙම් ඇති, පහනොවූ පිපාසය ඇති, පහනොවූ හාත්පස දැවිල්ල ඇති, පහනොවූ තෘෂ්ණාව ඇත්තාහට, ඒ සංඥාවගේ පෙරැළීමවූ අන්‍යාකාර ස්වාභාවයෙන් ශොකය, වැලපීමය, දුකය, දොම්නසය, දැඩි ආයාසය යන මොහු උපදිද්ද?” - “එසේය ස්වාමීනි’යි (කීය.) “තිස්සය, සාදු! සාදු!! තිස්සය, මේ කාරණය මෙසේම වන්නේය.

“සංඥාවෙහි පහනොවූ රාගය ඇත්තාහට යම්සේද, එසේ සංස්කාරයන්හි පහනොවූ රාගය ඇති, පහනොවූ ඡන්දය ඇති, පහනොවූ ප්‍රෙමය ඇති, පහනොවූ පිපාසය ඇති, පහනොවූ හාත්පස දැවිල්ල ඇති, පහනොවූ තෘෂ්ණාව ඇත්තාහට ඒ සංස්කාරයන්ගේ පෙරැළීමවූ අන් අයුරකින් වීමෙන් ශොකය, වැලපීමය, දුකය, දොම්නසය, දැඩි ආයාසය යන මොහු උපදිද්ද?”-“එසේය ස්වාමීනි’යි (කීය.) “තිස්සය, සාදු! සාදු!! තිස්සය, මේ කාරණය මෙසේම වන්නේය.

“සංස්කාරයන්හි පහව නොගිය රාගය ඇත්තාහට යම්සේද, එසේ විඥානයෙහි පහව නොගිය ඇලුම් ඇති, පහව නොගිය කැමැත්ත ඇති, පහව නොගිය පෙම් ඇති, පහව නොගිය පිපාසය ඇති, පහව නොගිය හාත්පස දැවිල්ල ඇති, පහව නොගිය තෘෂ්ණාව ඇත්තාහට ඒ විඤ්ඤාණයාගේ පෙරැළීමවූ අන් අයුරකින් වීමෙන් ශොකය, වැලපීමය, දුකය, නොසතුටය, දැඩි ආයාසය යන මොහු උපදිද්ද?”-“එසේය, ස්වාමීනි”යි (කීය.) ‘තිස්සය, සාධු! සාධු!! තිස්සය, මේ කාරණය මෙසේම වන්නේය. විඤ්ඤාණයෙහි පහව නොගිය රාගය ඇත්තාහට යම්සේද, එමෙනියි.

“ඒ කුමැයි සිතන්නෙහිද? තිස්සය, රූපයෙහි පහව ගිය ඇලුම් ඇති, පහව ගිය කැමැත්ත ඇති, පහව ගිය පෙම් ඇති, පහව ගිය පිපාසය ඇති, පහව ගිය හාත්පස දැවීම ඇති, පහව ගිය තෘෂ්ණාව ඇත්තාහට ඒ රූපයාගේ පෙරැළීමවූ අන් අයුරකින් වීමෙන් ශොකය, වැලපීමය, දුකය, දොම්නසය, දැඩි ආයාසය යන මොහු උපදිද්ද?”-“ස්වාමීනි, මෙය නොවේමය” සාධු! සාධු!! තිස්සය, මේ කාරණය එසේම වෙයි. රූපයෙහි පහවූරාගය ඇත්තාහට යම්සේද, එමෙනි.

“වෙදනාවෙහි පහවූ රාගය ඇති, පහවූ ඡන්දය ඇති, පහවූ ප්‍රෙමය ඇති, පහවූ පිපාසය ඇති පහවූ හාත්පස දැවිල්ල ඇති, පහවූ තෘෂ්ණාව ඇත්තාහට ඒ වෙදනාවගේ පෙරැළීමවූ අන් අයුරකින් වීමෙන් ශොකය, වැලපීමය, දුකය, දොම්නසය, දැඩි ආයාසය යන මොහු උපදිද්ද?”-“ස්වාමීනි, මේ කාරණය නොවේමය.” “තිස්සය, සාදු! සාදු! තිස්සය, වේදනාවෙහි පහවූ රාගය ඇත්තාහට යම්සේද, මේ කාරණය එසේම වන්නේය.

“සංඥාවෙහි පහවූ රාගය ඇති, පහවූ ඡන්දය ඇති, පහවූ පෙම් ඇති, පහවූ පිපාසය ඇති, පහවූ හාත්පස දැවිල්ල ඇති. පහවූ තෘෂ්ණාව ඇත්තාහට ඒ සංඥාවගේ පෙරැළීමවූ අන් අයුරකින් වීමෙන් ශෝකය, වැලපීමය, දුකය, දොම්නසය, දැඩි ආයාසය යන මොහු උපදිද්ද?” - “ස්වාමීනි, මෙය නොවේමය”යි කීය. “සාධු! සාධු!! තිස්සය, සංඥාවෙහි පහවූ රාගය ඇත්තාහට යම්සේද, මේ කාරණය එසේ වේමය.

“සංස්කාරයන්හි පහවූ රාගය ඇති, පහවූ ඡන්දය ඇති, පහවූ ප්‍රෙමය ඇති, පහවූ පිපාසය ඇති, පහවූ දැවිල්ල ඇති, පහවූ තෘෂ්ණාව ඇත්තාහට ඒ සංස්කාරයන්ගේ පෙරැළීමවූ අන් අයුරකින් වීමෙන් ශෝකය, වැලපීමය, දුකය, දොම්නසය, දැඩි ආයසය යන මොහු උපදිද්ද?” - “ස්වාමීනි මෙය නොවේමය”යි (කීය.) “සාධු! සාධු!! තිස්සය, සංස්කාරයන්හි පහවූ රාගය ඇත්තාහට යම්සේද, එහෙයින් තිස්සය මෙය එසේ වේමය.

“විඤ්ඤාණයෙහි පහවූ රාගය ඇති, පහවූ ඡන්දය ඇති, පහවූ ප්‍රේමය ඇති, පහවූ පිපාසය ඇති, පහවූ දැවිල්ල ඇති, පහවූ තෘෂ්ණාව ඇත්තාහට ශෝකය, වැලපීමය, දුකය, දොම්නසය, දැඩි ආයාසය යන මොහු උපදිද්ද?” - “ස්වාමීනි, මෙය නොවේමය”යි (කීය.) “සාදු! සාදු!! තිස්සය, විඥානයෙහි පහවූ රාගය ඇත්තාහට යම්සේද, එහෙයින් තිස්සය, මෙය එසේ වේමය.

“තිස්සය, ඒ කුමැයි හඟින්නෙහිද? රූපය නිත්‍ය හෝ අනිත්‍යය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යයයි” (කීය.) “යමක් වනාහි අනිත්‍යය වේද, එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි, දුක්ය”යි (කීය.) “යමක් වනාහි අනිත්‍යද, දුක්වේද, පෙරලෙන ස්වභාව ඇත්තේද, ‘මේ රූපය මාගේය, මේ (මම) වෙමි. මේ මාගේ ආත්ම’යයි. මෙය මනාව දක්නට සුදුසුද?” - “ස්වාමීනි, මෙය නුසුදුසුමය.”

“වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යයයි” (කීය) “යමක් අනිත්‍යවේද එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි, දුකැයි (කීය.) “යමක් අනිත්‍යද දුක්ද පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ වේදනාව මාගේය, මේ (මම) වෙමි, මේ මාගේ ආත්මයයි එය මනාව දක්නට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”

“සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද” “ස්වාමීනි අනිත්‍ය වේය.” “යමක් අනිත්‍යවේද, එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි, දුකැයි” (කීය.) “යමක් වනාහි අනිත්‍යවේද, දුක්වේද, පෙරළෙන ස්වභාව ඇත්තේවේද, ‘මේ සංඥාව මාගේය, මේ (මම) වෙමි, මේ මාගේ ආත්ම’යයි එය මනාව දක්නට සුදුසු වේද?” ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”

සංස්කාරස්කන්ධය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය’යි (කීයේය.) “යමක් වනාහි අනිත්‍ය වේද, එය දුක් හෝ සැප හෝ වේද?” -“දුක්ය, ස්වාමීනියි” (කීය.) “යමක් වනාහි අනිත්‍ය වේද?, දුක් වේද, පෙරලෙන ස්වභාව ඇත්තේ වේද, මේ සංස්කාරස්කන්ධය මාගේය මේ (මම) වෙමි. මේ මාගේ ආත්මයයි. ‘එය මනාව දක්නට සුදුසුවේද?” - “මෙය සුදුසු නොවේමය, ස්වාමීනියි” (කීය.)

“විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍ය වේද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍යද දුක්ද’ පෙරලෙන ස්වභාව ඇත්තේද, ‘මේ විඥානය මාගේය, මේ (මම) වෙමි. මේ මාගේ ආත්ම’යයි, ඒ විඥානය මනාව දක්නට සුදුසු වේද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”

“එහෙයින් තිස්සය, තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි රූපයක් වේද දුර හෝ ළඟ හෝ යම් රූපයෙක් වේද, ‘මේ රූපය මාගේ නොවේ. මේ (මම) නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි ඒ මේ හැම රූපය මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.

“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි වේදනාවක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් වේදනාවක් වේද, ‘මේ වේදනාස්කන්ධය මාගේ නොවේ. මේ (මම) නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි ඒ මේ සියලු වේදනාව මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.

“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි සංඥාවක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් සංඥාවක් වේද, ‘මේ සංඥාව මාගේ නොවේ. මේ (මම) නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’ යයි ඒ මේ සියලු සංඥාස්කන්ධය මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.”

“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි සංස්කාරස්කන්ධයක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් සංස්කාරස්කන්ධයක්වේද, ‘මේ සංස්කාරස්කන්ධය මාගේ නොවේ. මේ (මම) නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි ඒ මේ මුලු සංස්කාරස්කන්ධය මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.

“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි විඤ්ඤාණයක්වේද, දුර හෝ සමීපයෙහි හෝ යම් විඤ්ඤාණයක් වේද, ‘මේ විඤ්ඤාණය මාගේ නොවේ. මේ (මම) නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි ඒ මේ සැම විඤ්ඤාණය මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.

“තිස්සය, මෙසේ දක්නාවූ ඇසූ පිරූ තැන් ඇති ආර්යශ්‍රාවක තෙම රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි. විඥානයෙහිද කලකිරෙයි. කලකිරුනේ නොඇලෙයි. නොඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදෙයි. මිදුණු කල්හි මිදුණේ වෙමි”යි (ප්‍රත්‍යවෙක්ෂා) ඥානය වෙයි. ජාති තොමෝ ක්ෂය වූවාය. බ්‍රහ්මචරියාවෙහි වැස නිමවන ලද්දේය. (සතර ආර්යමාර්ගයෙන් කටයුතු) කෘත්‍යය (කොට) නිමවන ලද්දේය. (මේ අර්හත්ඵලය පිණිස) අනික් කටයුත්තෙක් නැතැයි දනී.

“තිස්සය, යම් සේ වනාහි පුරුෂයෝ දෙදෙනෙක් වන්නාහුය. (ඉන්) එකෙක් මාර්ගයෙහි අදක්ෂයෙක. එකෙක් මාර්ගයෙහි දක්ෂයෙක. ඒ මාර්ගයෙහි අදක්ෂ පුරුෂ තෙම ඒ මේ මාර්ගයෙහි දක්ෂවූ පුරුෂයාගෙන් මග විචාරන්නේය. හෙතෙම මෙසේ කියන්නේය:- එම්බා පුරුෂය, මේ මඟය. ඒ මාර්ගයෙන් මොහොතක් යව, ඒ මඟින් මොහොතක් ගොසින් දෙමං සන්ධියක් දක්නෙහිය, එහි වම් පාර මුදා දකුණු පාර ගණු, ඒ මගින් මොහොතක් යව, එයින් මොහොතක් ගොස් තියුණු වන ලැහැබක් දක්නෙහිය. ඒ වන ලැහැබින් මොහොතක් යව. එතැනින් මොහොතක් ගොස් මහත් ගැඹුරු කුඩා විලක් දක්නෙහිය. ඒ ස්ථානයෙන් මොහොතක් යව, එතැනින් මොහොතක් ගොස් හෙබක් ද, ප්‍රපාතයක්ද, දක්නෙහිය. එතැනින් මොහොතක් යව. එයින් මොහොතක් ගොස් සිත් ප්‍රියකරන සම බිම් පෙදෙසක් දක්නෙහිය.

“තිස්සය, මා විසින් අර්ථය හඟවනු පිණිස මේ උපමා තොමෝ කරන ලදු. එහි මේ අර්ථයයි:- තිස්සය, මාර්ගයෙහි අදක්ෂ පුරුෂයා යයි පෘථග්ජනයාහට මේ නමෙකි. තිස්සය, මාර්ගයෙහි දක්ෂ පුරුෂයායි අර්හත්වූ සම්මා සම්බුදුන් වහන්සේට මේ නමෙකි. තිස්සය, දෙමං සන්ධියයි විචිකිච්ඡා නීවරණයට මේ නමෙකි. තිස්සය, වම් පාර යයි අංගඅටකින් යුත් මිථ්‍යා මාර්ගයට මේ නමෙකි. ඒ කවර අටකටද? මිථ්‍යා දෘෂ්ටියටද, මිථ්‍යා සංකල්පයටද, මිථ්‍යා වචනයටද, මිථ්‍යා කර්මාන්තයටද, මිථ්‍යා ආජීවයටද, මිථ්‍යා ව්‍යායාමයටද, මිථ්‍යා ස්මෘතියටද, මිථ්‍යා සමාධියටද (යන අටටය.)

“තිස්සය, දකුණු පාරයයි, ආර්ය අට්ඨාංගික මාර්ගයට මේ නමෙකි. ඒ කවර අටකටද යත්? සම්‍යක් දෘෂ්ටියටද සම්‍යක් සංකල්පනයටද, සම්‍යක් වචනයටද, සම්‍යක් කර්මාන්තයටද, සම්‍යක් ආජීවයටද, සම්‍යක් ව්‍යායාමයටද, සම්‍යක් ස්මෘතියටද, සම්‍යක් සමාධියටද (යන අටටය.) තිස්සය, ගන වන ලැහැබයයි අවිද්‍යාවට මේ නමෙකි. තිස්සය, මහ ගැඹුරු විලයයි කාමයට මේ නමෙකි. ‘තිස්සය, පතස ප්‍රපාතය යනු දුර්වල ක්‍රොධයට හා බලවත් ක්‍රොධයට නමෙකි. තිස්සය, සිත් ප්‍රියකරන සම බිම් පෙදෙස යනු නිවණට නමෙකි.

“තිස්සය, ශාසනයෙහි සිත අලව, තිස්සය, ශාසනයෙහි සිත අලව, අවවාදයෙන් උපකාර කෙරෙමි, මම ධර්මයෙන් උපකාර කෙරෙමි, මම ධර්මයෙන් අනුශාසනය කෙරෙමි.”

භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කළසේක. සතුටු සිතැති ආයුෂ්මත් තිස්ස ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.

(දෙවෙනි තිස්ස සූත්‍රය නිමි.)