සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

9. ථෙර වර්ගය

3. යමක සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම්වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවෙසෙති. එකල්හි වනාහි යමක නම් මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේවෙයි.

“යම්සේ ක්ෂය කරනලද ක්ලේෂයන් ඇති (රහත්) මහණ තෙම ශරීරය බිඳීමෙන් සිඳෙන්නේද, වැනසෙන්නේද, මරණින් මත්තෙහි නොවන්නේද, එසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද ධර්මය දනිමි. (කියායි.)

“යම්සේ ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම ශරීරය බිඳීමෙන් සිඳෙන්නේය, විනාශවන්නේය, මරණින් මතු නොවන්නේ” යයි බුදුන් විසින් දෙසනලද ධර්මය එසේ දනිමි’යි යන මෙබඳු ලාමක දෘෂ්ටියක් යමක නම් භික්ෂුවට උපන්නේය”යි බොහෝ භික්ෂූහු ඇසුවාහුමය.

ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් යමක භික්ෂුතෙම යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස් ආයුෂ්මත් යමක භික්ෂුව සමග සතුටුවූහ. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක්පැත්තක හුන්හ. එක්පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් යමක භික්ෂුවට මේ කරුණ කීහ:

“ඇවැත් යමකයෙනි, යම් ප්‍රකාරයකින් රහත් මහණ තෙම සිරුර බිඳීමෙන් සිඳෙන්නේද, වැනසෙන්නේද, මරණින් මතු නොවන්නේද, ඒ ප්‍රකාරයෙන් බුදුන් විසින් දෙසනලද ධර්මය (මම) දනිමි”යි තොපට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේ සැබෑදැ”යි (ඇසූහ.)

“ඇවැත්නි, යම් ප්‍රකාරයකින් රහත් මහණතෙම ශරීර භෙදයෙන් සිඳෙන්නේද, වැනසෙන්නේද, මරණින් මතු නොවන්නේද, එසේ බුදුන් විසින් දෙසූ ධර්මය (මම) දනිමියි” කීය.

“ඇවැත් යමකයෙනි, එසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නොකරව, භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා කිරීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ “රහත් මහණතෙම ශරීරය බිඳීමෙන් සිඳෙන්නේය, වැනසෙන්නේය, මරණින් මත්තෙහි නො වන්නේය”යි මෙසේ නොවදාරණසේකැයි කීහ.

මෙසේද ඒ භික්ෂූන් විසින් කියනු ලබන්නාවූ ආයුෂ්මත් යමක භික්ෂුතෙම “ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම කය බිඳීමෙන් සිඳෙන්නේද, වැනසෙන්නේද, මරණින් මත්තෙහි නොවන්නේද, ඒ ප්‍රකාරයෙන් බුදුන් විසින් දෙසනලද ධර්මය (මම) දනිමි” යි යන ලාමක දෘෂ්ටිය එසේම ස්ථිරවශයෙන්, දෘෂ්ටි වශයෙන් ගෙන පිහිටා ව්‍යවහාර කෙරෙයි. යම්හෙයකින් ඒ භික්ෂූහු ආයුෂ්මත් යමක භික්ෂුව ඒ ලාමක දෘෂ්ටියෙන් වළක්වන්නට නොහැකිවූවාහුද (එහෙයින්) ඊට අනතුරුව ඒ භික්ෂූහු හුනස්නෙන් නැගී ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය, පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයනට මේ කරුණ දැක්වූහ:-

“ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, රහත් මහණතෙම සිරුර බිඳීමෙන් සිඳෙන්නේද, වැනසෙන්නේද, මරණින් මතු නොවන්නේද, ඒ ප්‍රකාරයෙන් බුදුන් විසින් දෙසූ ධර්මය (මම) දනිමි”යි යමක නම් මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේය. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙම “යමක භික්ෂුතෙම යම් තැනෙකද, එතැනට අනුකම්පා උපදවා වඩින්නේ නම් මැනව”යි කීවාහුය.

ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් (එය) ඉවසූහ. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම සවස් වේලෙහි පලසමවතින් නැගීසිටියේ ආයුෂ්මත් යමක භික්ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් යමක භික්ෂුව සමග සතුටු විය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා පසකින් හිඳගත්හ. පසක හිඳගත්තාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙම ආයුෂ්මත් යමක (භික්ෂුවට) මෙකරුණ දැන්වීය:-

“ඇවැත් යමකයෙනි, ‘ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම කය බිඳීමෙන් සිඳෙන්නේය, වැනසෙන්නේය, මරණින් මත්තෙහි නොවේයයි බුදුන් විසින් එසේ වදාළ ධර්මය (මම) දනිමි”යි යුෂ්මතුන්ට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේල, එය සැබෑදැයි” ඇසූහ.

“ඇවැත්නි, මම ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම කය බිඳීමෙන් සිඳෙන්නේය, වැනසෙන්නේය, මරණින් මතු නොවේයි බුදුන් විසින් මෙසේ දෙසනලද ධර්මය (මම) දනිමි”යි කීය.

“ඇවැත් යමකයෙනි, ඒ කුමැයි සිතන්නෙහිද? ‘රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” - “ඇවැත්නි, අනිත්‍යය” “යමක් අනිත්‍යවේද, එය දුකද සැපද?”-“ඇවැත්නි, දුකැයි” (කී.)

“යමක් අනිත්‍ය වේද, දුක්වේද, පෙරලෙන ස්වභාව ඇත්තේ වේද, ‘රූපය මාගේය, ඒ මම වෙමි. ඒ මාගේ ආත්මය’යි ඒ රූපය දෘෂ්ටි වශයෙන් දැකීමට සුදුසුද?” - “ඇවැත්නි, එය සුදුසු නොවේමය.”

“වේදනාව නිත්‍යද, අනිත්‍යද?” - “ඇවැත්නි, අනිත්‍යයි.” “යමක් අනිත්‍යද ඒ දුකද සැපද?” - “ඇවැත්නි, දුකය.” “යමක් අනිත්‍යද, දුකද, පෙරලෙන ස්වභාව ඇත්තේද, ‘එය

මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මය’යි දක්නට සුදුසුද?” - “ඇවැත්නි, එය සුදුසු නොවේ.” “සංඥාව නිත්‍යද, අනිත්‍යද?” - “ඇවැත්නි, අනිත්‍යයි” “යමක් අනිත්‍ය නම් ඒ දුකද, සැපද?” - “ඇවැත්නි, දුකය.”

“යමක් අනිත්‍ය නම් එය දුකද, පෙරලෙන ස්වභාව ඇත්තේද, ‘එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මය’යි දක්නට සුදුසු වේද?” - “ඇවැත්නි, එය සුදුසු නොවේ.”

“සංස්කාරස්කන්ධය නිත්‍යද, අනිත්‍යද?” - “ඇවැත්නි, අනිත්‍යයි.” “යමක් අනිත්‍ය නම් ඒ දුකද, සැපද?” - “ඇවැත්නි, දුකය.”

“යමක් අනිත්‍යද, දුකද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එය ‘මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මය’යි දක්නට සුදුසු වේද?” - “ඇවැත්නි, එය සුදුසු නොවේ.”

“විඥාණය නිත්‍යද, අනිත්‍යද?” - “ඇවැත්නි, අනිත්‍යයි.” “යමක් අනිත්‍ය නම් ඒ දුකද, සැපද?” - “ඇවැත්නි දුකය.” “යමක් අනිත්‍යද, දුකද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එය

මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මය”යි දක්නට සුදුසුද?” - “ඇවැත්නි, එය සුදුසු නොවේ.”

“ඇවැත් යමකයෙනි, එහෙයින් අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූපය මාගේ නොවේ. මම නොවෙමි, මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දතයුතුය.’

අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි වේදනාවක් වේද, ඒ සියලු වේදනාව මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ” යයි ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දතයුතුය.

“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංස්කාරයෝ වෙත්ද? “ඒ සියලු සංස්කාරයෝ මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ”යයි තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දතයුතුය.

“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි විඥානයෙක් වේද, “ඒ සියලු විඥානය මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ”යයි තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දතයුතුය.

ඇවැත් යමකයෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරේ, වේදනාවෙහිද කලකිරේ, සංඥාවෙහිද කලකිරේ, සංස්කාරයන්හිද කලකිරේ, විඥානයෙහිද කලකිරේ. කලකිරුනේ නොඇලේ, නොඇලීමෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදේ, මිදුණු කල්හි ‘මිදුණේ’ යයි (ප්‍රත්‍යවෙක්ෂා) ඥානය ඇතිවේ. ඉපදීම ක්ෂයවිය. මාර්ග බ්‍රහ්මචර්යාවෙහි වැස නිමවන ලද්දේය, කටයුතු කරන ලද්දේය, මේ රහත් ඵලය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනී.

“ඇවැත් යමකයෙනි, ඒ කුමැයි හඟින්නෙහිද? රූපය “සත්වයා” යයි දක්නෙහිද’ - “ඇවැත්නි, එය නොවේමය.”

“වේදනාව සත්ත්වයායයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”

“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංඥාවක් වේද, “ඒ සියලු සංඥාව මාගේ නොවේ, මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේ” යයි තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දතයුතුය.

“සංඥාව සත්ත්වයායයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”

“සංස්කාර ස්කන්ධය සත්ත්වයායයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”

“විඤ්ඤාණය සත්ත්වයායයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”

“ඇවැත් යමකයෙනි, ඒ කුමැයි සිතන්නෙහිද?” රූපය කෙරෙහි සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය. “රූපයෙන් තොරව සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”

“වේදනාවෙහි සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.” “වේදනාව හැර සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”

“සංඥාවෙහි සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.” “සංඥාවෙන් තොරව සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”

“සංස්කාරයන්හි සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” -“ඇවැත්නි, එය නොවේමය.” “සංස්කාරයන්ගෙන් තොරව සත්ත්වතෙමවේයයි දක්නෙහිද?” - ඇවැත්නි, එය නොවේමය.”

“විඤ්ඤාණයෙහි සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” -“ඇවැත්නි, එය නොවේමය.” “විඤ්ඤාණය හැර සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”

“ඇවැත් යමකයෙනි, රූපය, වේදනාවය, සංඥාවය, සංස්කාරය, විඤ්ඤාණය යන පස සත්ත්වයායයි දක්නෙහිද?” - “ඇවැත්නි. එය නොවේමය.”

“ඇවැත් යමකයෙනි, ඒ කුමැයි හඟින්නෙහිද? ඒ මේ රූප නැත්තේ, වේදනාව නැත්තේ, සංඥාව නැත්තේ, සංස්කාර නැත්තේ විඤ්ඤාණය නැත්තේ සත්ත්වයායයි දක්නෙහිද?” -“ඇවැත්නි, එය නොවේමය.”

“ඇවැත් සමකයෙනි, මෙහිදී තොපට මේ ආත්මයෙහිද සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන්, සත්ත්වයෙකු නොලැබෙන කල්හි ‘ක්ෂීණාශ්‍රවතෙම ශරීරයාගේ භෙදයෙන් සිඳෙන්නේය, වැනසෙන්නේය, මරණින් මතු නොවන්නේයයි ඒ ප්‍රකාරයෙන් බුදුන් විසින් දෙසූ ධර්මය දනිමි’ යන තොපගේ ප්‍රකාශය සුදුසුද?

“ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, පෙර නුවණ නැත්තාවූ මට ඒ ලාමක දෘෂ්ටිය වූයේය. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ මේ ධර්මදේශනයම අසා ඒ ලාමක දෘෂ්ටියද, ප්‍රහීන විය. මා විසින් ධර්මයද අවබොධ කරන ලද්දේයයි” (කීය.)

“ඇවැත් යමකයෙනි, ඉදින් තොපගෙන්, ඇවැත් යමකයෙනි, ක්ෂීණාශ්‍රව භික්ෂුතෙමේ කය බිඳීමෙන් මරණින් පසු කුමක් වේදැයි අසන්නහු නම්’ ඇවැත් යමකයෙනි, මෙසේ අසන ලද්දාවූ තෝ කුමකැයි කියන්නෙහිද?”

“ඇවැත්නි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ කියන්නෙමි.

“ඇවැත්නි, රූපය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුකද එය නිරුද්ධවිය. එය නැතිවූයේය.

“වේදනාව අනිත්‍යය, යමක් අනිත්‍ය නම් ඒ දුකය. යමක් දුකද එය නිරුද්ධවිය. එය නැතිවූයේය.

“සංඥාව අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ දුකය. යමක් දුකද එය නිරුද්ධවිය. එය නැතිවූයේය.

“සංස්කාරයෝ අනිත්‍යහ. යමක් අනිත්‍ය නම් ඒ දුකය. යමක් දුකද එය නිරුද්ධවිය. එය නැතිවූයේය.

“විඤ්ඤාණය අනිත්‍යය, යමක් අනිත්‍ය නම් ඒ දුකය. යමක් දුකද එය නිරුද්ධවිය. එය නැතිවිය. ඇවැත්නි, එසේ අසන ලද්දාවූ මම මෙසේ කියන්නෙමියි” කීය.

“ඇවත, යමකයෙනි යහපති, යහපති, එසේවී නම් ඇවැත් යමකයෙනි, මේ කාරණයම වැඩියක් අවබොධ කර ගැනීම සඳහා තොපට උපමාවක් දක්වන්නෙමි.

“ඇවැත් යමකයෙනි, ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, රැකවල් සහිතවූ යම් ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ ඇත්තේය.

“ඔහුට අනර්ථ කැමැතිවූ, අවැඩ කැමැතිවූ, නිර්භය නොකැමැතිවූ, ජීවිතයෙන් තොර කරනු කැමැතිවූ, කිසියම් පුරුෂයෙක් ඇතිවන්නේය. ඔහුට මෙබඳු අදහසෙක් වන්නේය:-‘මේ ගෘහපති තෙමේ හෝ ගෘහපති පුත්‍රතෙමේ හෝ ධනයෙන් සමෘද්ධය, මහත් ධන ඇත්තේය, මහත් සම්පත් ඇත්තේය. හෙතෙමේද (ඇතුළත පිටත) මුරකරුවන්ගෙන් යුක්තය. මැඩ දිවි තොර කරන්නට පහසු නොවේමය. (ඇතුළට) වැද, දිවි තොර කරන්නෙම් නම් ඉතා යෙහෙක.’ (යනුයි.)

“හෙතෙම ඒ ගෘහපතියා කරා හෝ ගෘහපති පුත්‍රයා කරා හෝ පැමිණ, ‘වහන්ස, ඔබට උපස්ථාන කරන්නෙමැයි’ කියන්නේය. ඒ ගෘහපති තෙමේ හෝ ගෘහපති පුත්‍රතෙමේ හෝ ඔහු ලවා උපස්ථාන කරවා ගන්නේය. ඒ උපස්ථායක තෙම පළමුව නැගිටිමින්, පසුව නිදමින්, කුමක් කරම්ද, කුමක් කරම්දැයි අසමින්, මනාව හැසිරෙමින්, ප්‍රිය වචන කථා කරමින්, උපස්ථාන කරන්නේය. උවටැන් කරන්නේය.

“ඒ ගෘහපති තෙමේ හෝ ගෘහපති පුත්‍රතෙමේ හෝ ඔහු මිත්‍රයකු වශයෙන්ද අදහන්නේය. යාලුවකු වශයෙන්ද අදහන්නේය. ඔහු කෙරෙහි විශ්වාසයට පැමිණෙන්නේය.”

“ඇවත, යම් කලෙක්හි ‘මේ ගෘහපති තෙමේ හෝ ගෘහපති පුත්‍ර තෙමේ හෝ මට මනාකොට විශ්වාසවූයේයයි ඔහුට සිතෙක් වන්නේද, එවිට ඔහු රහසිගත තැනක් දැන තියුණු ආයුධයකින් ජීවිතය තොර කරන්නේය.”

“ඇවැත් යමකයෙනි, ඒ කුමැයි හඟින්නෙහිද? යම් කලෙකත් ඒ පුරුෂතෙම අසවල් ගෘහපතියා කරා හෝ ගෘහපති පුත්‍රයා කරා හෝ පැමිණ, ‘වහන්ස, උපස්ථාන කරන්නෙමි’යි කියන්නේද, එකල්හිත් හෙතෙම වධකයාමය, වධකයෙකු වුවද, ‘මාගේ වධකයෙකැ’යි නොදත්තේය.

යම් කලෙකත් හෙතෙම පළමුව නැගිටිමින්, පසුව නිදමින්, කුමක් කෙරෙම්දැයි අසමින්, මනාප සේ හැසිරෙමින්, ප්‍රියවචන කියමින්, උපස්ථාන කෙරේද, එකල්හිත් හෙතෙම වධකයෙක්මය. වධකයෙකු වුවද ‘මාගේ වධකයෙකැ’යි නොදත්තේය. යම් කලෙකත් ඔහු රහස් ස්ථානයක් දැන, තියුණු ආයුධයකින් දිවි තොර කරන්නේද, එකල්හිත් හෙතෙම වධකයෙක්මය. වධකයෙකු වුවද ‘මගේ වධකයෙකැ’යි නොදත්තේය. ඇවැත්නි, එසේය.

“ඇවැත්නි, එපරිද්දෙන්ම ආර්යයන් නොදක්නාවූ, ආර්ය ධර්මයෙහි අදක්ෂවූ, ආර්ය ධර්මයෙහි නොහික්මුණාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ, අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය තමායයි දක්නේය. තමා රූප ඇත්තෙකු කොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ රූපය දක්නේය. රූපය කෙරෙහි හෝ තමා දක්නේය.

“වේදනාව තමා වශයෙන් දක්නේය. තමා වේදනා ඇත්තෙකු කොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ වේදනාව දක්නේය. වේදනාව කෙරෙහි හෝ තමා දක්නේය.

‘සංඥාව තමා වශයෙන් හෝ දක්නේය. තමා සංඥාව ඇත්තෙකු කොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ සංඥාව දක්නේය. සංඥාව කෙරෙහි හෝ තමා දක්නේය.

“සංස්කාරයන් තමා වශයෙන් හෝ දක්නේය. තමා සංස්කාරයන් ඇත්තෙකුකොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ සංස්කාරයන් දක්නේය. සංස්කාරයන් කෙරෙහි හෝ තමා දක්නේය.

“විඤ්ඤාණය තමායයි හෝ දක්නේය. තමා විඤ්ඤාණය ඇත්තෙකු කොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ විඤ්ඤාණය දක්නේය. විඤ්ඤාණය කෙරෙහි හෝ තමා දක්නේය.

“හෙතෙම අනිත්‍යවූ රූපය ‘අනිත්‍යවූ රූපය’යයි තත්වූ පරිද්දෙන් නොදනී. අනිත්‍යවූ වේදනාව ‘අනිත්‍යවූ වේදනාව’යයි තත්වූ පරිද්දෙන් නොදනී. අනිත්‍යවූ සංඥාව ‘අනිත්‍යවූ සංඥාව’ යයි තත්වූ පරිද්දෙන් නොදනී. අනිත්‍යවූ සංස්කාරයන් අනිත්‍යවූ සංස්කාරයෝ’ යයි තත්වූ පරිද්දෙන් නොදනී. අනිත්‍යවූ විඤ්ඤාණය ‘අනිත්‍යවූ විඤ්ඤාණය’යි තත්වූ පරිද්දෙන් නොදනී. දුක්වූ රූපය ‘දුක්වූ රූපය’යයි තත්වූ පරිද්දෙන් නොදනී. දුක්වූ වේදනාව ‘දුක්වූ වේදනාව’ යයි තත්වූ පරිද්දෙන් නොදනී. දුක්වූ සංඥාව ‘දුක්වූ සංඥාව’ යයි තත්වූ පරිද්දෙන් නොදනී. දුක්වූ සංස්කාරයන් ‘දුක්වූ ‘සංස්කාරයෝ’යයි තත්වූ පරිද්දෙන් නොදනී. දුක්වූ විඤ්ඤාණය ‘දුක්වූ විඤ්ඤාණය’යි තත්වූ පරිද්දෙන් නොදනී.

“අනාත්මවූ රූපය ‘අනාත්මවූ රූපය’යයි තත්වූ පරිද්දෙන් නොදනී. අනාත්මවූ වේදනාව ‘අනාත්මවූ වේදනාව’යයි තත්වූ පරිද්දෙන් නොදනී. අනාත්මවූ සංඥාව ‘අනාත්මවූ සංඥාව’ යයි තත්වූ පරිද්දෙන් නොදනී. අනාත්මවූ සංස්කාරයෝ ‘අනාත්මවූ සංස්කාරයෝ’යි තත්වූ පරිද්දෙන් නොදනී. අනාත්මවූ විඤ්ඤාණය ‘අනාත්මවූ විඤ්ඤාණය’යයි තත්වූ පරිද්දෙන් නොදනී.

“ප්‍රත්‍යයන් විසින් කරනලද රූපය ‘ප්‍රත්‍යයන් විසින් කරනලද රූපය’යි තත්වූ පරිද්දෙන් නොදනී. ප්‍රත්‍යයන් විසින් කරනලද වේදනාව ‘ප්‍රත්‍යයන් විසින් කරන ලද වේදනාව’ යයි තත්වූ පරිද්දෙන් නොදනී. ප්‍රත්‍යයන් විසින් කරනලද සංඥාව ‘ප්‍රත්‍යයන් විසින් කරනලද සංඥාව’යයි තත්වූ පරිද්දෙන් නොදනී.

ප්‍රත්‍යයන් විසින් කරනලද සංස්කාරයන් ‘ප්‍රත්‍යයන් විසින් කරනලද සංස්කාරයෝ’යයි තත්වූ පරිද්දෙන් නොදනී. ප්‍රත්‍යයන් විසින් කරනලද විඤ්ඤාණය ප්‍රත්‍යයන් විසින් කරනලද විඤ්ඤාණය’යි තත්වූ පරිද්දෙන් නොදනී.

“වධකවූ රූපය ‘වධකවූ රූපය’යි තත්වූ පරිද්දෙන් නොදනී. වධකවූ වේදනාව ‘වධකවූ වේදනාව’යයි තත්වූ පරිද්දෙන් නොදනී. වධකවූ සංඥාව ‘වධකවූ සංඥාව’යයි තත්වූ පරිද්දෙන් නොදනී. වධකවූ සංස්කාරයන් ‘වධකවූ සංස්කාරයෝ”යයි තත්වූ පරිද්දෙන් නොදනී. වධකවූ විඤ්ඤාණය ‘වධකවූ විඤ්ඤාණය’යි තත්වූ පරිද්දෙන් නොදනී.

“හෙතෙම රූපයට ‘මාගේ ආත්ම’යයි පැමිණෙයි, අල්වාගනියි, පිහිටයි. වේදනාවට ‘මාගේ ආත්ම’යයි පැමිණෙයි, අල්වාගනියි, පිහිටයි. සංඥාවට ‘මාගේ ආත්ම’යයි පැමිණෙයි, අල්වාගනියි, පිහිටයි. සංස්කාරයන්ට ‘මාගේ ආත්ම’යයි පැමිණේ, අල්වාගනී, පිහිටයි. විඤ්ඤාණයට ‘මාගේ ආත්ම’යයි පැමිණේ, අල්වාගනී, පිහිටයි. දෘෂ්ටියෙන් බැසගන්නා ලද්දාවූ, අල්වාගන්නා ලද්දාවූ, මේ පඤ්චොපාදානස්කන්ධයෝ ඔහුට දීර්ඝකාලයක් මුලුල්ලෙහි අවැඩ පිණිස, දුක් පිණිස පවතිත්.

“ආර්යයන් දක්නාවූ, ආර්ය ධර්මයෙහි දක්ෂවූ, ආර්ය ධර්මයෙහි හික්මුණාවූ, සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුණාවූ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේම රූපය තමායයි නොදක්නේය. තමා රූපය ඇත්තෙක් කොට හෝ නොදක්නේය. තමා කෙරෙහි රූපය ඇතැයි හෝ නොදක්නේය. රූපය කෙරෙහි තමා ඇතැයි හෝ (නොදක්නේය.)

“වේදනාව තමා වශයෙන් හෝ නොදක්නේය. තමා වේදනාව ඇත්තෙක්කොට හෝ නොදක්නේය. තමා කෙරෙහි වේදනාව ඇතැයි හෝ නොදක්නේය. වේදනාවෙහි තමා ඇතැයි හෝ නොදක්නේය.

“සංඥාව තමා වශයෙන් හෝ නොදක්නේය. තමා සංඥාව ඇත්තෙකුකොට හෝ නොදක්නේය. තමා කෙරෙහි සංඥාව ඇතැයි හෝ නොදක්නේය. සංඥාවෙහිලා තමා ඇතැයි හෝ නොදක්නේය.

“සංස්කාරයන් තමා වශයෙන් හෝ නොදක්නේය. තමා සංස්කාරයන් ඇත්තෙකුකොට හෝ නොදක්නේය. තමා කෙරෙහි සංස්කාරයෝ ඇතැයි හෝ නොදක්නේය. සංස්කාරයන්හි තමා ඇතැයි හෝ නොදක්නේය.

“විඤ්ඤාණය තමා වශයෙන් හෝ නොදක්නේය. තමා විඤ්ඤාණවත්කොට හෝ නොදක්නේය. තමා කෙරෙහි විඤ්ඤාණය ඇතැයි හෝ නොදක්නේය. විඤ්ඤාණයෙහි තමා ඇතැයි හෝ නොදක්නේය.

“හෙතෙම අනිත්‍යවූ රූපය ‘අනිත්‍යවූ රූපය’ යයි තත්වූපරිද්දෙන් දනී. අනිත්‍යවූ වේදනාව අනිත්‍යවූ වේදනාව’ යයි තත්වූපරිද්දෙන් දනී. අනිත්‍යවූ සංඥාව ‘අනිත්‍යවූ සංඥාව’ යයි තත්වූ පරිද්දෙන් දනී. අනිත්‍යවූ සංස්කාරයන් ‘අනිත්‍යවූ සංස්කාරයෝ’යයි තත්වූ පරිද්දෙන් දනී. අනිත්‍යවූ විඤ්ඤාණය ‘අනිත්‍යවූ විඤ්ඤාණය’යයි තත්වූ පරිද්දෙන් දනී.

“දුක්වූ රූපය ‘දුක්වූ රූපය’යි තත්වූ පරිද්දෙන් දනී. දුක්වූ වේදනාව ‘දුක්වූ වේදනාව’යයි තත්වූ පරිද්දෙන් දනී. දුක්වූ සංඥාව ‘දුක්වූ සංඥාවය’යි තත්වූ පරිද්දෙන් දනී. දුක්වූ සංස්කාරයන් ‘දුක්වූ සංස්කාරයෝ’යි තත්වූ පරිද්දෙන් දනී. දුක්වූ විඤ්ඤාණය ‘දුක්වූ විඤ්ඤාණය’යි තත්වූ පරිද්දෙන් දනී.

“අනාත්මයවූ රූපය ‘අනාත්මවූ රූපය’යයි තත්වූ පරිද්දෙන් දනී. අනාත්මයවූ වේදනාව ‘අනාත්මවූ වේදනාව’ යයි තත්වූ පරිද්දෙන් දනී. අනාත්මයවූ සංඥාව ‘අනාත්මවූ සංඥාව’යයි තත්වූ පරිද්දෙන් දනී. අනාත්මයවූ සංස්කාරයන් අනාත්මවූ සංස්කාරයෝ’යි තත්වූ පරිද්දෙන් දනී. අනාත්මයවූ විඥානය අනාත්මවූ විඥානය’වෙතියි තත්වූ පරිද්දෙන් දනී.

“ප්‍රත්‍යයන් විසින් කරනලද රූපය ‘ප්‍රත්‍යයන් විසින් කරනලද රූපය’යයි තත්වූ පරිද්දෙන් දනී. ප්‍රත්‍යයන් විසින් කරනලද වේදනාව ‘ප්‍රත්‍යයන් විසින් කරනලද වේදනාව’යයි තත්වූ පරිද්දෙන් දනී. ප්‍රත්‍යයන් විසින් කරනලද සංඥාව ‘ප්‍රත්‍යයන් විසින් කරනලද සංඥාව’යයි තත්වූ පරිද්දෙන් දනී. ප්‍රත්‍යයන් විසින් කරනලද සංස්කාරයන් ‘ප්‍රත්‍යයන් විසින් කරනලද සංස්කාරයෝ’යයි තත්වූ පරිද්දෙන් දනී. ප්‍රත්‍යයන් විසින් කරනලද විඥානය ‘ප්‍රත්‍යයන් විසින් කරන ලද විඥානය’යි තත්වූ පරිද්දෙන් දනී.

“වධකවූ රූපය ‘වධකවූ රූපය’යයි තත්වූ පරිද්දෙන් දනී. වධකවූ වේදනාව ‘වධකවූ වේදනාව’යි තත්වූ පරිද්දෙන් දනී. වධකවූ සංඥාව ‘වධකවූ සංඥාව’යයි තත්වූ පරිද්දෙන් දනී. වධකවූ සංස්කාරයන් ‘වධකවූ සංස්කාරයෝ’ යයි තත්වූ පරිද්දෙන් දනී. වධකවූ විඥානය ‘වධකවූ විඥානය’ යයි තත්වූ පරිද්දෙන් දනී.

“ඒ ආර්ය ශ්‍රාවකතෙම ‘මේ මාගේ ආත්මය’යි රූපයට නොපැමිණෙයි, නොගනී, නොපිහිටයි. ‘මාගේ ආත්මය’යි වේදනාවට නොපැමිණෙයි, නොගනී, නොපිහිටයි. ‘මේ මාගේ ආත්මය’යි සංඥාවට නොපැමිණෙයි. නොගණී, නොපිහිටයි සංස්කාරයන්ට ‘මාගේ ආත්මය’යි නොපැමිණෙයි, නොගනී, නොපිහිටයි. විඤ්ඤාණයට ‘මගේ ආත්මය’යි නොපැමිණෙයි, නොගනී, නොපිහිටයි. නොපැමිණෙන ලද්දාවූ, නොගන්නා ලද්දාවූ, මේ පඤ්චොපාදානස්කන්ධයෝ බොහෝ කලක් මුළුල්ලෙහි වැඩ පිණිස, සැප පිණිස පවතිත්යයි” ප්‍රකාශ කළහ.

“ඇවැත් සාරිපුත්‍ර ස්ථවිරයෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරන්නාවූ, වැඩ කැමැතිවූ, අවවාද කරන්නාවූ, අනුශාසනය කරන්නාවූ ආයුෂ්මතුන් බඳු සබ්‍රහ්මචාරීහු වෙද්ද, ඔවුන්ට එසේ වේමය.

ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ මේ ධර්ම දේශනාවද අසා මාගේ සිත (උපාදන වශයෙන්) නොගෙන ආශ්‍රවයන් කෙරෙන් මිදුණේයි.

ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති ආයුෂ්මත් යමක භික්ෂුතෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ කීම සතුටින් පිළිගත්තේය.

(තුන්වෙනි යමක සූත්‍රය නිමි.)