සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

9. ථෙර වර්ගය

8. ඡන්න සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් ඉසිපතනයෙහි වෙසෙති. එකල්හි ආයුෂ්මත් ඡන්න ස්ථවිරතෙම සවස් වේලෙහි විවේකයෙන් නැගීසිටියේ යතුරගෙන විහාරයෙන් විහාරයට යමින් ස්ථවිර භික්ෂූන්ට යම් ප්‍රකාරයකින්, මම ධර්මය දක්නෙම්ද එපරිද්දෙන් මට ආයුෂ්මත් ස්ථවිරවරු අවවාද කෙරෙත්වා, ආයුෂ්මත් ස්ථවිරවරු මට අනුශාසනය කෙරෙත්වා, ආයුෂ්මත් ස්ථවිරවරු මට ධර්ම කථා කෙරෙත්වා’යි කීයේය.

මෙසේ කී කල්හි ආයුෂ්මත් ඡන්නයන්ට ස්ථවිර භික්ෂූහු මෙසේ කීහ:-

“ඇවැත් ඡන්නයෙනි, රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ, විඥානය අනිත්‍යය, රූපය අනාත්මය, වේදනාව අනාත්මය, සංඥාව අනාත්මය, සංස්කාරයෝ අනාත්මයහ. විඥානය අනාත්මය, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, සියලු ධර්මයෝ අනාත්මයහ” (යනුයි.)

ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට මෙබඳු සිතෙක් විය:- ‘මටද මේ කාරණය මෙසේම වේ. රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ. විඤ්ඤාණය අනිත්‍යය, රූපය අනාත්මය, වේදනාව අනාත්මය, සංඥාව අනාත්මය, සංස්කාරයෝ අනාත්මයහ, විඥානය අනාත්මය, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, සියලු ධර්මයෝ අනාත්මයහ’ (යනුයි.)

‘එහෙත් සියලු සංස්කාරයන්ගේ සංසිඳීමවූ සියලු උපධීන්ගේ දුරලීමවූ තෘෂ්ණාවගේ ක්ෂය කිරීමවූ නොඇලීමවූ නිරෝධයවූ නිවණෙහි මාගේ සිත බැස නොගනී, නොපහදී. මනාව නොපිහිටයි, නොමිදෙයි. තැතිගැන්ම හා දෘෂ්ටි වශයෙන් ගැනීමද උපදී. එසේ නම් කුමක් මම වෙම්දැයි සිත ආපසු හැරෙයි.

“ධර්මය දක්නාහට එසේ නොවේමය. මම යම් ප්‍රකාරයකින් ධර්මය දක්නෙම්ද? එපරිද්දෙන් කවරෙක් මට ධර්මය දෙසන්නේදැයි’ සිතීය.

ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයනට මෙබඳු අදහසෙක් පහළවීය:- ‘මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහිවූ ඝෝසිතාරාමයෙහි වෙසෙති. ශාස්තෲන්වහන්සේ විසින්ද මනාව වර්ණනා කරන ලද්දේය. නුවණැති සබ්‍රහ්මචාරීන් විසිනුදු ගරු කරන ලද්දේය. මම යම් පරිද්දකින් ධර්මය දක්නෙම්ද, එපරිද්දෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම මට ධර්මය දෙසන්නට සමර්ථ වේමය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් කෙරෙහි මාගේ එපමණ විශ්වාසයෙක් ඇත්තේමය. එහෙයින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණෙම් නම් ඉතා යෙහෙක’ (කියායි.)

ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරතෙම සෙනසුන් තැන්පත් කොට තබා පාත්‍ර සිවුරු ගෙන කොසඹෑ නුවර යම් තැනෙකද, ඝොසිතාරාමය යම් තැනෙක්හිද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම් තැනෙකද, එතැනට ගියේය. ගොස් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ඡන්න ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීය.

“ඇවැත් ආනන්ද ස්ථවිරයෙනි, මම එක් කලෙක්හි බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වසමි. ඇවැත්නි, එකල්හි වනාහි මම සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටියෙමි. යතුර ගෙන වෙහෙරෙන් වෙහෙරට ගොස් ස්ථවිර භික්ෂූන්ට මෙසේ කීයෙමි:- ‘ආයුෂ්මත් ස්ථවිරවරු මට අවවාද කරත්වා, ආයුෂ්මත් ස්ථවිරවරු මට අනුශාසනා කෙරෙත්වා, යම් අයුරකින් මම ධර්මය දක්නෙම්ද, ඒ අයුරෙන් මට ආයුෂ්මත් ස්ථවිරවරු ධර්ම කතා කෙරෙත්වා’ ඇවැත්නි, මෙසේ කීකල්හි මට ස්ථවිරවරු මෙසේ කීහ.

‘ඇවැත් ඡන්නයෙනි, රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ. විඤ්ඤාණය අනිත්‍යය, රූපය අනාත්මය, වේදනාව අනාත්මය, සංඥාව අනාත්මය, සංස්කාරයෝ අනාත්මයහ, විඤ්ඤාණය අනාත්මය, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, සියලු ධර්මයෝ අනාත්මයහ, යි’ (දෙසූහ.)

“ඇවැත්නි, ඒ මට මෙබඳු අදහසෙක් වීය:- ‘මට වූකලි මේ කාරණය මෙසේ වෙයි:- රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ. විඤ්ඤාණය අනිත්‍යය, රූපය අනාත්මය, වේදනාව අනාත්මය, සංඥාව අනාත්මය, සංස්කාරයෝ අනාත්මය, විඤ්ඤාණය අනාත්මය, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු ධර්මයෝ අනාත්මයහ කියායි. එහෙත් සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට නිමිතිවූ සියලු උපධීන් දුරලීමට නිමිතිවූ තෘෂ්ණාවගේ ක්ෂය කිරීමට නිමිතිවූ රාගයාගෙන් පහවීමට නිමිතිවූ තෘෂ්ණාවෙන් නික්මීමට නිමිතිවූ නිර්වාණයෙහි මාගේ සිත වැද නොගනී, නොපහදී, මනාව නොසිටී, නොමිදේ, තැතිගැන්මද දෘෂ්ටි වශයෙන් ගැනීමද උපදී. එසේ නම් කුමක් මම වෙම්දැයි සිත ආපසු හැරෙයි.

‘යම්සේ ධර්මය දක්නාහට එසේ නොවෙයි. යම්සේ මම ධර්මය දක්නෙම්ද, කවරෙක් වනාහි මට එසේ ධර්මය දෙසන්නේද’ (කියායි.)

“ඇවැත්නි, ඒ මට මෙබඳු අදහසෙක් විය:- ‘මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම වනාහි කොසඹෑ නුවර සමීපයෙහිවූ ඝොසිතාරාමයෙහි වාසය කෙරේ. ශාස්තෲන්වහන්සේ විසින්ද මොනවට වර්ණනා කරන ලද්දේය. නුවණැති සබ්‍රහ්මචාරීන් විසිනුදු ගරු කරන ලද්දේය. මම යම්සේ ධර්මය දකිම්ද, එසේ මට ධර්මය දෙසන්නට සමර්ථද වේ. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් කෙරෙහි මාගේ එපමණ විශ්වාසයෙක්ද ඇත. මම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් යම් තැනෙක්හිද, එතැනට පැමිණෙම් නම් ඉතා මැනව’ කියායි.

“යම්සේ මම ධර්මය දකිම්ද, එසේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම මට අවවාද කෙරේවා, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මට අනුශාසනය කෙරේවා, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම මට ධර්ම කථාව කෙරේවායි” කීය. මෙපමණකින්ම අපි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයනට සතුටු සිතැත්තමෝ වම්හ, ප්‍රීතිසිත් ඇත්තමෝ වම්හ. ආයුෂ්මත් ඡන්න ස්ථවිරතෙම ඒ සන්තෝෂය ප්‍රකට කෙළේය. මානය නමැති හුල බිඳ දැම්මේය.

“ඇවත, ඡන්න ස්ථවිරයෙනි, කණ යොමුකළ මැනවි. ධර්මය අවබෝධ කිරීමට සුදුස්සෙහිය.” ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට එකෙණෙහිම ධර්මය අවබෝධ කිරීමට සුදුස්සෙක් වේයයි මහත් සතුටක් උපන.

“ඇවැත් ඡන්න ස්ථවිරයෙනි, කච්චාන ගෝත්‍රයෙහිවූ භික්ෂුවට (කච්චාන ස්ථවිරයන්ට) අවවාද කරන්නාවූ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් මේ ධර්මය අසන ලදී, භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ පිළිගන්නා ලදී. (කෙසේදයත්?) “කච්චානය, බෙහෙවින් මේ ලෝවැසිතෙම ආත්මය ඇති බවද, ආත්මය සිඳෙන බවද (යන) දෙක ඇසුරු කෙළේය. කච්චානය, ලෝක හේතුව තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් බලන්නාහට ලෝකයෙහි ආත්මය සිඳේය යන යම් දෘෂ්ටියක් වේනම් එය නොවෙයි. කච්චානය, ලෝක නිරෝධය වනාහි තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දක්නාහට ආත්මයක් ඇත යන යම් දෘෂ්ටියක් වේද, එය නොවෙයි.

“කච්චානය, මේ ලෝවැසිතෙම බොහෝ සෙයින් තෘෂ්ණා උපාය, දෘෂ්ටි උපාය යන උපාය දෙදෙනාගේ හා කාමූපාදානාදී සතර උපාදානයන්ගේ ගැනීමවූ බන්ධනයෙන් බැදුනේය. හෙතෙමේ බොහෝ සෙයින් මගේ ආත්මයයි ඒ උපාය උපාදානයන් සිතේ පිහිටීම ගැනීම අනුසය කොට ඇති බවට නොපැමිණෙයි. උපදින්නේද දුකමය, නිරුද්ධ වන්නේද දුකමය යන කාරණයෙහි සැක නොකරයි. අවිශ්වාසය නොකරයි. ඔහුට මෙහිදී අන් අයුරකින් නොලැබිය හැකි ඥානයම වෙයි. කච්චානය, මෙපමණකින් සම්‍යක් දෘෂ්ටිය වේ.

“කච්චානය, ආත්මයක් ඇත යන මෙය එක් කෙළවරෙක, ආත්මය සිඳේය යන මෙය දෙවන කෙළවර වෙයි. කච්චානය, ඒ මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ ඒ දෙකට මැදින් දහම් දෙසනසේක.

“අවිද්‍යාව හෙතුකොටගෙන සංස්කාරයෝ වෙති. සංස්කාරයන් හේතුකොටගෙන විඤ්ඤාණයවේ. විඤ්ඤාණය හේතු කොටගෙන නාමරූපය වෙයි. නාමරූපය හේතුකොටගෙන ෂඩායතනය වෙයි. ෂඩායතනය හේතුකොටගෙන ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වෙයි. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාව හේතුකොට ගෙන උපාදානය වේ. උපාදානය හේතුකොටගෙන කර්මභවය වෙයි. කර්මභවය හේතුකොටගෙන ජාතිය වෙයි. ජාතිය හේතුකොටගෙන ජරා මරණයද, ශොකය, වැලපීමය, කායික දුකය, චෛතසික දුකය යන මොහුද වෙත්. මෙසේ සැපයෙන් අමිශ්‍රවූ දුඃඛ රාසියගේ උත්පත්තිය වේ.

“අවිද්‍යාවගේම නිරවශෙෂයෙන් නිරුද්ධකිරීම හේතුකොට

ගෙන සංස්කාරයන්ගේ නිරොධය වේ. සංස්කාරයන්ගේ නිරොධයෙන් විඤ්ඤාණයාගේ නිරොධය වේ. විඤ්ඤාණයාගේ නිරොධයෙන් නාමරූපයන්ගේ නිරොධය වේ. නාමරූපයන්ගේ නිරොධයෙන් ෂඩායතනයන්ගේ නිරොධය වේ. ෂඩායතනයන්ගේ නිරොධයෙන් ස්පර්ශයාගේ නිරොධය වේ. ස්පර්ශයාගේ නිරොධයෙන් වේදනාවගේ නිරොධය වේ. වේදනාවන්ගේ නිරොධයෙන් තෘෂ්ණාවගේ නිරොධය වේ. තෘෂ්ණාවගේ නිරොධයෙන් උපාදානයන්ගේ නිරොධය වේ. උපාදානයන්ගේ නිරොධයෙන් භවයාගේ නිරොධය වේ. භවයාගේ නිරොධයෙන් ජාතියගේ නිරොධය වේ. ජාති නිරොධයෙන් ජරා මරණයද, ශොකය, වැලපීමය, දුකය, දොම්නසය යන මොහුද නිරුද්ධ වෙති. මෙසේ සියලු වෘත්ත දුඃඛ රාසියගේ නිරොධය වන්නේය.” (යනු දේශනාවයි.)

“ඇවත් ආනන්ද ස්ථවිරයෙනි, අනුකම්පා කරන්නාවූ, වැඩ කැමතිවූ, අවවාද කරන්නාවූ, අනුශාසනය කරන්නාවූ, මෙබඳු සබ්‍රහ්මචාරීහු යම් ආයුෂ්මත් කෙනෙකුන්ට වෙත්ද, ඒ ආයුෂ්මත්වරුන්ට මෙසේ වන්නේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගේ මේ ධර්මදේශනාව අසා මා විසින් ධර්මය අවබොධ කරන ලද්දේය.”

(අටවැනි ඡන්න සූත්‍රය නිමි.)