සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
10. පුප්ඵ වර්ගය
1. නදී සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ වනාහි පර්වතයෙක ගලාබස්නාවූ ගෙනයන්නාවූ, දුර යන්නාවූ, වහා බස්නා සැඩපහර ඇති ගංගාවක් වේද, ඒ ගඟේ දෙතෙර හටගත්තාවූ වැලුක්තණද වෙත්. ඒ වැලුක් ඒ ගඟට (නැමී) වැඩියක් මත්තෙහි එල්බෙත්. හටගත්තාවූ කුසතණද වෙත්. ඒ කුසතණද ඒ ගඟට එල්බී පවතිත්. හටගත්තාවූ බබුස්තණද වෙත්. ඒ බබුස්තණද ඒ ගඟට එල්බෙති. (එහි) හටගත් බෙරුතණද වෙත්. ඒ බෙරුතණද ඒ ගඟට (නැමී) එල්බෙන්නාහුය. හටගත් ගස්ද වෙත්. ඒ ගස්ද ඒ ගඟට (නැමී) එල්බෙන්නාහුය.
“ඒ ගඟේ සැඩපහරින් පුරුෂයෙක් ගෙනයනු ලබන්නේ වැලුක්තණද අල්ලා ගන්නේය. ඒ වැලුක්තණද සහමුලින් මැටි සමග හිසෙහි වැටෙන්නාහුය. හෙතෙම ඒ හෙතුකොට ගෙන මහා විනාශයට පැමිණෙන්නේය. කුසතණද අල්වා ගන්නේය. ඒ කුසතණයෝද සහමුලින් මැටි සමග ඉගිල වැටෙන්නාහුය. හෙතෙම ඒ හෙතුකොටගෙන මහාවිනාශයට පැමිණෙන්නේය. බබුස්තණද අල්වාගන්නේය. ඒ බබුස්තණ පඳුරුද ඉදිරී වැටෙන්නාහුය. හෙතෙම ඒ හෙතුකොටගෙන මහාවිනාශයට පැමිණෙන්නේය. බෙරුතණද අල්ලා ගන්නේය. ඒ බෙරුතණ පඳුරු ද ඉදිරී වැටෙන්නාහුය. හෙතෙම ඒ හෙතුකොට ගෙන මහාවිනාශයට පැමිණෙන්නේය. ගස්ද අල්වාගන්නේය. ඒ ගස්ද සහමුලින් මැටි සමග ඉගිලී වැටෙන්නාහුය. හෙතෙම ඒ හෙතුකොටගෙන මහාවිනාශයට පැමිණෙන්නේය.
“මහණෙනි; එපරිද්දෙන්ම ආර්යයන් නොදක්නාවූ ආර්යධර්මයෙහි දක්ෂ නොවූ ආර්යධර්මයෙහි නොහික්මුණාවූ සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂයන්ගේ ධර්මයෙහි නොහික්මුණාවූ ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජනතෙම රූපය ආත්මය වශයෙන් හෝ දක්නේය. තමා රූපය ඇත්තෙකුකොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ රූපය දක්නේය. රූපයෙහි හෝ තමා දක්නේය. ඔහුගේ ඒ රූපය වැනසෙයි. හෙතෙම ඒ හෙතුකොට ගෙන මහාවිනාශයට පැමිණෙන්නේය.
“වේදනාව ආත්ම වශයෙන් හෝ දක්නේය. තමා වේදනාව ඇත්තෙකුකොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ වේදනාව දක්නේය. වේදනාවෙහි හෝ තමා දක්නේය. ඔහුගේ ඒ වේදනාව වැනසෙයි. හෙතෙම ඒ හේතුකොට ගෙන මහා විනාශයට පැමිණෙන්නේය.
“සංඥාව ආත්මය වශයෙන් හෝ දක්නේය. තමා සංඥාව ඇත්තෙකුකොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ සංඥාව දක්නේය. සංඥාවෙහි හෝ තමා දක්නේය. ඔහුගේ ඒ සංඥා තොමෝ වැනසෙයි. හෙතෙම ඒ හෙතුකොට ගෙන මහා විනාශයට පැමිණෙන්නේය.
සංස්කාරයන් ආත්මය වශයෙන් හෝ දක්නේය. තමා සංස්කාරයන් ඇත්තෙකු කොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ සංස්කාරයන් දක්නේය. සංස්කාරයන්හි හෝ තමා දක්නේය. ඔහුගේ ඒ සංස්කාරයෝ වැනසෙත්. හෙතෙම ඒ හේතුකොටගෙන මහා විනාශයට පැමිණෙන්නේය.
“විඤ්ඤාණය ආත්මය වශයෙන් හෝ දක්නේය. තමා විඤ්ඤාණය ඇත්තෙකුකොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ විඤ්ඤාණය දක්නේය. විඤ්ඤාණයෙහි හෝ තමා දක්නේය. ඔහුගේ ඒ විඥානය වැනසෙන්නේය. හෙතෙම ඒ හෙතුකොටගෙන මහා විනාශයට පැමිණෙන්නේය.
“මහණෙනි, ඒ කුමැයි සිතන්නෙහිද?
“රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යවේද එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකෙකි.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද? ‘මේ රූපය මාගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මයයි’ ඒ රූපය දක්නට සුදුසුද?- “ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”
“වේදනාව නිත්‍යද? අනිත්‍යද?” - ‘ස්වාමීනි අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය වේද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකෙකි.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද? ‘මේ වේදනාව මගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මයයි’ ඒ වේදනාව දක්නට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”
“සංඥාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය වේද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකෙකි.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද? ‘මේ සංඥාව මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ ඒ සංඥාව දක්නට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමය.”
“සංස්කාරය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය වේද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකෙකි.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද? ‘මේ සංස්කාරය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ ඒ සංස්කාරය දක්නට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”
“විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය වේද, එය දුක් හෝ සැප හෝ වේද?”-“ස්වාමීනි, දුකෙකි.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද? ‘මේ විඤ්ඤාණය මගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මයයි’ දක්නට සුදුසුද?” -“ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”
“එහෙයින් මහණෙනි, තමා පිළිබඳවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, වර්තමානවූද, යම්කිසි රූපයෙක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් රූපයෙක් වේද, ‘මේ රූපය මාගේ නොවේ. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ මේ රූපය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි.
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි වේදනාවක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් වේදනාවක් වේද, ‘මේ වේදනාව මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ වේදනාව තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“තමා පිළිබඳවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූ ද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි සංඥාවක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් සංඥාවක් වේද, ‘මේ සංඥාව මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේයයි මෙසේ මේ සංඥාව තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාව දතයුතුය.
“තමා පිළිබඳවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි සංස්කාරයෝ වෙද්ද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් සංස්කාරයෝ වෙත්ද ‘මේ සංස්කාරය මාගේ නොවේ. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ සංස්කාරය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.
“තමා පිළිබඳවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි විඥානයක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් විඥානයක් වේද, ‘මේ විඥානය මාගේ නොවේ මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ විඥානය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.”
“මහණෙනි, මෙසේ දක්නාවූ, ඇසූ පිරූ තැන් ඇත්තාවූ, ආර්යශ්‍රාවක තෙමේ රූපයෙහිද කලකිරේ. වේදනාවෙහිද කලකිරේ. සංඥාවෙහිද කලකිරේ. සංස්කාරයන්හිද කලකිරේ. විඥානයෙහිද කලකිරේ. කලකිරුණේ නොඇලේ. නොඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදේ. මිදුණු කල්හි මිදුණේයයි දැනීම වේ. ජාති තොමෝ ක්ෂයවූවාය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු කොට නිමවන ලද්දේය. මේ රහත් බව පිණිස කළයුතු අනිකක් නැතැයි විශෙෂයෙන් දැනගනී.”
(පළමුවෙනි නදී සූත්‍රය නිමි.)