සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

3. දිට්ඨි සංයුත්තය

1. සොයෙව පෙය්‍යාල වර්ගය

1. වාත සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “මහණෙනි, වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්. චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍ර ඛීලයක් මෙන් නිශ්චලව සිටිත් යන මෙබඳු දෘෂ්ටිය කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් වැද්දගෙන උපදීද?

“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභවකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. ස්වාමීනි මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ සේක් නම් මැනවි භාග්‍යවතුන් වහන්සේගෙන් අසා ඒ අර්ථය භික්ෂූහු දැනගන්නාහුය.

[3] “මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව් කියන්නෙ මැයි” කීය.

“ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය, “මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්. චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිසලව සිටිත් යන මෙබඳු දෘෂ්ටිය උපදිත්. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පිවිස වාතයෝ නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්, නොබසිත්, ඉන්ද්‍රඛීලය මෙන් නිසලව සිටිත් යන මෙබඳු දෘෂ්ටිය උපදයි. සංඥාව ඇතිකල්හි සංඥාව නිසා සංඥාවට පිවිස වාතය නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිසලව සිටිත් යන මෙබඳු දෘෂ්ටිය උපදියි. සංස්කාරයන් ඇති කල්හි සංස්කාරයන් නිසා සංස්කාරයන්ට පිවිස වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්. චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිසලව සිටිත් යන මෙබඳු දෘෂ්ටිය උපදියි. විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පිවිස වාතය නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිසලව සිටිත් යන දෘෂ්ටිය උපදියි.

“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? රූපය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකයි.”

[4] “යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද? ඒ රූපය නොගෙන වාතයෝ නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිශ්චලව සිටිත් යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”

“වේදනාව නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යයද? එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යයද, දුකද වෙනස්වන ස්වභාවද? ඒ වේදනාව නොගෙන වාතයෝ නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්. චන්ද්‍ර සූර්යයෝ උදා නොවෙත්, නොබසිත්, ඉන්ද්‍රඛීලය මෙන් නිශ්චලව සිටිත් යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”

“සංඥාව නිත්‍ය හෝ වේද? අනිත්‍යය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යද එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද? ඒ සංඥාව නොගෙන වාතයෝ නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදා නොවෙත්, නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිශ්චලව සිටිත් යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”

“සංස්කාර නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන සුලුද, ඒ සංස්කාරයෝ නොගෙන වාතයෝ නොහමත්, ගංගාවෝ ගලානොබසිත්, ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදා නොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිශ්චලව සිටිත් යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”

“විඥානය නිත්‍යය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?” -“ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යයද? එය දුක් හෝ වෙයිද? සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් අනිත්‍යයද, දුක්ද, වෙනස්වන ස්වභාවද? එය විඥානය අල්වා නොගෙන වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්. චන්ද්‍ර සූර්යයෝ උදා නොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිශ්චලව සිටිත් යන මෙබඳු දෘෂ්ටියක් උපදන්නේද?” - “ස්වාමීනි, එය නූපදින්නේමය.”

[5] ඇසින් දක්නා ලද කණින් අසන ලද නාසය දිව කය තුනෙන් දැන ගන්නාලද, සිතින් දක්නා ලද, පැමිණෙන ලද, සොයන ලද, සිතින් විමසන ලද යම් ඒ දෙයක් වේද, එයද නිත්‍යය හෝ වෙයිද, අනිත්‍යය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යයද එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යයද, දුක්ද, වෙනස්වන සුලුද, එය අල්වා නොගෙන වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්. චන්ද්‍රසූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටිත් යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, නූපදින්නේමය.

[6] මහණෙනි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකයාහට මේ කරුණු සයෙහි සැක දුරුවූයේ වෙයිද, දුක්ඛයෙහිද, ඔහුගේ සැක දුරුවූයේ වෙයිද, දුක්ඛසමුදයෙහිද ඔහුගේ සැක දුරුවූයේ වෙයි. දුක්ඛනිරෝධයෙහිද ඔහුගේ සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදාවෙහිද ඔහුගේ සැක දුරුවූයේ වෙයි.

මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙමේ සෝවාන් මාර්ගඵලයට පැමිණියෙකැයිද සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද නියතවූ ගති ඇත්තෙකැයිද, අර්හත් ඵලය පිහිට කොට ඇත්තෙකැයිද කියනු ලැබේ.

(පළමුවෙනි වාත සූත්‍රය නිමි.)