සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

7. ශාරීපුත්ත සංයුත්තය

1. විවෙකජ සූත්‍රය

[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවරට නුදුරෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ උදය කාලයෙහි හැඳපොරවා පාත්‍ර සිවුරුගෙන සැවැත්නුවරට පිඬු පිණිස පැමිණියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් හැරී එන්නේ අන්ධවනය යම් තැනකද එතැන්හි දවල් කාලය ගෙවීම පිණිස පැමිණියහ. අන්ධවනයට පැමිණ එක්තරා ගසක් මුල හුන්නේය. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටියේ ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමය යම් තැනකද එතැන්හි පැමිණියහ.

[2] ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුරදීම දැක්කේය. දැක, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙසේ කීය. “ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, ඔබවහන්සේගේ ඉන්ද්‍රියයෝ ප්‍රසන්නයහ. මුහුණු වර්ණය පිරිසිදුය. අතිශයින්ම පිරිසිදුය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අද කවර විහරණයකින් වාසය කළ සේක්ද?” යනුයි.

[3] ඇවැත්නි, මම මෙහි කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, ඒ මට ‘මම ප්‍රථම ධ්‍යානයට සමවදිමියි, කියා හෝ, මම ප්‍රථම ධ්‍යානයට පැමිණියෙමි කියා හෝ, මම ප්‍රථම ධ්‍යානයෙන් නැගී සිටියෙමි කියා හෝ’ මෙබඳු සිතක් නොවේ”යයි කීහ.

[4] “ඒ එසේමය, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ‘මම යන හැඟීම. මගේය යන හැඟීම’ මානය, හා අනුසය ධර්ම මැනවින් නසනලදහ. එබැවින් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ‘මම ප්‍රථමධ්‍යානයට සමවදිමියි කියා, හෝ මම ප්‍රථම ධ්‍යානයට සමවැදුණේය කියා හෝ ‘මම ප්‍රථමධ්‍යානයෙන් නැඟීසිටියෙමියි’ කියා හෝ මෙබඳු සිතක් නොවේ”යයි (ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම කීය.)