සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

7. ශාරීපුත්ත සංයුත්තය

10. සුචිමුඛී සූත්‍රය

[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පැමිණියහ. රජගහනුවර ගෙපිළිවලින් පිඬු පිණිස හැසිර ඒ පිණ්ඩපාතය එක්තරා බිත්ති අද්දරක හිඳ වළඳති.

[2] එකල්හි වනාහි සුචිමුඛී නම් පරිබ්‍රාජිකාවක් ආයුෂ්මත් සැරියුත් තෙරුන් යම් තැනකද එතැනට පැමිණියාය. පැමිණ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීය. ‘ශ්‍රමණය කුමක් නිසා බිම බලාගෙන අනුභව කරන්නෙහිද?”

“නැගනියෙනි, මම බිම බලාගෙන නොවළඳමි.”

“එසේනම් ශ්‍රමණය, උඩ බලාගෙන වළඳන්නෙහිද?”

“නැගනියනි, මම උඩ බලාගෙන නොවළඳමි.”

“එසේ නම් ශ්‍රමණය, සතර දිශාවන් බලමින් වළඳන්නෙහිද?”

“නැගනියනි, මම සතර දිශාවන් බලමින් නොවළඳමි”

“එසේ නම් ශ්‍රමණය, අනු දිශාවන් බලමින් වළඳන්නෙහිද?”

“නැගනියනි, මම අනු දිශාවන් බලමින් නොවළඳමි.”

[3] “කිමෙක්ද ශ්‍රමණය, බිම බලාගෙන වළඳන්නෙහිදැයි අසන ලද්දේ, ‘නැගනියනි, මම බිම බලාගෙන නොවළඳමි’යි කීයෙහිය.

එසේනම් ශ්‍රමණය, උඩ බලාගෙන වළඳහි දැයි අසන ලද්දේ, ‘නැගනියනි, මම උඩ බලාගෙන නොවළඳමි’යි කීයෙහිය. ‘එසේනම් ශ්‍රමණය, සතර දිශාවන් බලමින් වළඳහි දැයි අසන ලද්දේ, ‘නැගනියනි, මම සතර දිශාවන් බලමින් නොවළඳමි’යි කීයෙහිය කිමෙක්ද ශ්‍රමණය, අනු දිශාවන් බලමින් වළඳහිදැයි විචාරන ලද්දෙම්, “මම අනුදිශාවන් බලමින් නොවළඳමියි’ කීයෙහිය. ශ්‍රමණය, කෙසේ අනුභව කරහිදැයි ඇසුවාය.”

[4] “නැගනියනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ වාස්තු විද්‍යාවයයි (පොළොවෙහි හොඳ නරක කියන ශාස්ත්‍රය) කියන ලද තිරිසන් විද්‍යාවවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව කරත්ද, නැගනියනි, මේ මහණ බමුණෝ බිම බලාගෙන වළඳන්නෝ වෙත්. නැගනියෙනි, යම්කිසි මහණ බමුණු කෙනෙක් නක්ෂත්‍ර විද්‍යාවයි කියන ලද තිරිසන් විද්‍යාවවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව කරත්ද, ‘නැගනියනි, මේ මහණ බමුණෝ උඩ බලාගෙන කන්නෝ වෙත්’ ‘නැගනියනි යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් පණිවිඩපනත් ගෙන යෑමයයි කියන ලද තිරිසන් විද්‍යාවවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව කරත්ද, නැගනියනි, මේ මහණ බමුණෝ සතර දිශාවන් බලමින් අනුභව කරත්.

“නැගනියනි, යම්කිසි මහණ බමුණු කෙනෙක් අංග ලක්ෂණ විද්‍යාවයයි කියන ලද තිරිසන් විද්‍යාවවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව කරත්ද, නැගනියනි, මේ මහණ බමුණෝ අනුදිශාවන් බලමින් අනුභව කරත්. ‘නැගනියෙනි, වාස්තු විද්‍යාවයයි කියන ලද තිරිසන් විද්‍යාවවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව නොකරමි. නක්ෂත්‍ර විද්‍යාවයයි කියන ලද වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව නොකරමි. පණිවිඩ පණත් ගෙන යෑමයයි කියන ලද වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව නොකරමි. අංගවිද්‍යාවයයි කියන ලද තිරිසන් විද්‍යාවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව නොකරමි. දැහැමින් භික්ෂාව සොයමි. දැහැමින් භික්ෂාව සොයා අනුභව කරමි” යනුයි.

[5] ඉක්බිති සූචිමුඛී පරිබ්‍රාජිකාව රජගහනුවර වීථියෙන් වීථියට සතරමං සන්ධියෙන් සතරමං සන්ධියට ගොස් මෙසේ දැන්වූවාය. “ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ දැහැමින් ආහාර වළඳත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ නිවැරැදිව ආහාර වළඳත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට ආහාර දෙවු” යනුයි.

හත්වෙනි සාරිපුත්ත සංයුත්තය නිමි.

විවෙකජ සූත්‍රය, අවිතක්ක සූත්‍රය, පීති සූත්‍රය, උපෙක්ඛා සූත්‍රය, ආකාසානඤ්චායතන සූත්‍රය, විඤ්ඤාණඤ්චායතන සූත්‍රය, ආකිඤ්චඤ්ඤායතන සූත්‍රය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන සූත්‍රය, නිරොධ සූත්‍රය හා සුචිමුඛී සූත්‍රය දැයි මෙහි සූත්‍ර දසයකි.