සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

8. නාග සංයුත්තය

3. උපොසථ සූත්‍රය (1)

[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ ඒ මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.

[2] “ස්වාමීනි යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් අණ්ඩජ නාගයෝ පෙහෙවස් සමාදන් වෙත්ද, හරන ලද කය ඇත්තෝ වෙත්ද ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?

[3] “මහණ, මේ ලෝකයෙහි ඇතැම් අණ්ඩජ නාගයන්ට මෙබඳු සිතක් වෙයි.

‘අපි වනාහි පෙර කයින් දෙයාකාර ක්‍රියා ඇත්තෝ වීමු වචනයෙන් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තෝ වීමු. සිතින් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තෝ වීමු. කයින් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තාවූ වචනයෙන් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තාවූ, සිතින් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තාවූ, ඒ අපි ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ නාගයන්ගේ සහ බවට පැමිණියෝ වෙමු. ඉදින් දැන් අපි කයින් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් වචනයෙන් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් සිතින් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් මෙසේ අපි ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියන ලද ස්වර්ග ලොකයෙහි උපදින්නෙමු. එහෙයින් දැන් අපි කයින් සුචරිතයෙහි හැසිරෙමු වචනයෙන් සුචරිතයෙහි හැසිරෙමු සිතින් සුචරිතයෙහි හැසිරෙමු’ යනුයි. යම් හෙයකින් මේ ලොකයෙහි ඇතැම් අණ්ඩජ නාගයෝ පෙහෙවස් වෙසෙත්ද, හරනලද කය ඇත්තෝ වෙත්ද මහණ මේ එයට හේතුවයි. මේ ප්‍රත්‍යයි.”