සංයුත්තනිකායො

සගාථ වර්ගය

3. කොසල සංයුත්තය

3. තුන්වෙනි වර්ගය

5. පබ්බතූපම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජුගෙන් භාග්‍යවතුන් වහන්සේ ’’මහරජ, මේ මැදුම් දවල් කොහි සිට එහිදැ’’ යි ඇසූ සේක.

’’ස්වාමීනි, ඔටුනු පැළැන්දාවූ, ඓශචර්‍ය්‍ය මදයෙන් මත්වූ, කාම සම්පතෙහි ගිජුකමින් වැඩුනාවූ, දනව්වල ස්ථිරත්‍වයට පැමිණ, මහත් මිහිමඬල ( පොළොව ) දිනා වසන්නාවූ, ක්‍ෂත්‍රිය රජවරුන් පිළිබඳ යම් ඒ කටයුතු වෙත් නම්, මම දැන් ඒ කාර්‍ය්‍යයන්හි උද්‍යොගවත් බවට පැමිණ සිටිමි.’’

’’මහරජ, ඒ කුමැයි සිතනෙහිද? මහරජ, ඇදහිය යුතු වචන ඇති, විශ්වාස කටයුතු වචන ඇති, පුරුෂයෙක් මෙහිදී පෙරදිග සිට ඔබවෙත එන්නේය. ඔහු ඔබ වෙත පැමිණ, මෙසේ කියන්නේය. ’මහරජ, දන්නෙහිද? මම පෙරදිග සිට එමි. මම එහි අහස සම මහ පර්‍වතයක් හැම සතුන් සුනු විසුනු කරමින් පෙරළී එනු දිටිමි. මහරජ, ඔබ විසින් යමක් කටයුතු නම් ඒ කරනු මැනව.’

’’නැවත, ඇදහිය යුතු වචන ඇති, විශ්වාස කටයුතු වචන ඇති, දෙවෙනි පුරුෂයෙක් මෙහිදී බටහිරදිග සිට ඔබවෙත එන්නේය. ඔහු ඔබ වෙත පැමිණ, මෙසේ කියන්නේය. ’මහරජ, දන්නෙහිද? මම බටහිරදිග සිට එමි. මම එහි අහස සම මහ පර්‍වතයක් හැම සතුන් සුනු විසුනු කරමින් පෙරළී එනු දිටිමි. මහරජ, ඔබ විසින් යමක් කටයුතු නම් ඒ කරනු මැනව.’

’’නැවත, ඇදහිය යුතු වචන ඇති, විශ්වාස කටයුතු වචන ඇති, තුන්වෙනි පුරුෂයෙක් මෙහිදී උතුරුදිග සිට ඔබවෙත එන්නේය. ඔහු ඔබ වෙත පැමිණ, මෙසේ කියන්නේය. ’මහරජ, දන්නෙහිද? මම උතුරුදිග සිට එමි. මම එහි අහස සම මහ පර්‍වතයක් හැම සතුන් සුනු විසුනු කරමින් පෙරළී එනු දිටිමි. මහරජ, ඔබ විසින් යමක් කටයුතු නම් ඒ කරනු මැනව.’

’’නැවත, ඇදහිය යුතු වචන ඇති, විශ්වාස කටයුතු වචන ඇති, හතරවෙනි පුරුෂයෙක් මෙහිදී දකුණුදිග සිට ඔබවෙත එන්නේය. ඔහු ඔබ වෙත පැමිණ, මෙසේ කියන්නේය. ’මහරජ, දන්නෙහිද? මම දකුණුදිග සිට එමි. මම එහි අහස සම මහ පර්‍වතයක් හැම සතුන් සුනු විසුනු කරමින් පෙරළී එනු දිටිමි. මහරජ, ඔබ විසින් යමක් කටයුතු නම් ඒ කරනු මැනව.’

’’මහරජ, දරුණුවූ, මිනිසුන් වනසන්නාවූ, මහත්වූ මෙබඳු භයක් හටගත් කල්හි, දුර්ලභවූ මිනිසත් බැව්හි සිටින ඔබ විසින් කුමක් කටයුතුද?’’ ’’ස්වාමීනි, දරුණුවූ, මිනිසුන් වනසන්නාවූ, මහත්වූ මෙබඳු භයක් හටගත් කල්හි, දුර්ලභ මනුෂ්‍යාතමයෙහි සිටින මවිසින් ධර්‍මයෙහි හැසිරීම, සම බැව්හි හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර කුමක් කටයුතුද?’’

’’මහරජ, මම ඔබට කියමි. මම ඔබට දන්වමි. මහරජ, ජරා මරණ දෙක ඔබ මැඩගෙන සිටිති. මහරජ, ජරා මරණ දෙක ඔබ මැඩගෙන සිටින කල්හි ඊට කුමක් කටයුතුද?

’’ස්වාමීනි, ජරා මරණ දෙක මා මැඩගෙන සිටින කල්හි ධර්‍මයෙහි හැසිරීම, සම බැව්හි හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර කුමක් කටයුතුද?’’ ස්වාමීනි, ඔටුනු පැළැන්දාවූ, ඉසුරුමදින් මත්වූ, කම් සැපෙහි ගිජුකමින් වැඩුනු, දනව්වල ස්ථිරත්‍වයට පැමිණි, මහපොළොව දිනා වසන, ක්‍ෂත්‍රිය රජවරුන්ගේ යම් ඒ ඇත් යුද වෙත්ද? ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල ඒ ඇත් යුදවලින්ද පිහිටක් නැත. අප රැකීමට ඒ ඇත් යුදවලට සමත්කමක් නැත. ස්වාමීනි, ඔටුනුපලන් ක්‍ෂත්‍රිය රජවරුන්ගේ යම් ඒ අශ්ව යුද්ධ වෙත්ද? ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල ඒ අශ්ව යුද්‍ධවලින්ද පිහිටක් නැත. අප රැකීමට ඒ අශ්ව යුද්‍ධවලට සමත්කමක් නැත. ස්වාමීනි, ඔටුනුපලන් ක්‍ෂත්‍රිය රජවරුන්ගේ යම් ඒ රථ යුද්ධ වෙත්ද? ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල ඒ රථ යුද්ධවලින්ද පිහිටක් නැත. අප රැකීමට ඒ රථ යුද්ධවලට සමත්කමක් නැත. ස්වාමීනි, ඔටුනුපලන් ක්‍ෂත්‍රිය රජවරුන්ගේ යම් ඒ පාබල සෙනගින් කරන යුද්ධ වෙත්ද? ස්වාමීනි, ජරා මරණ දෙකින් අප මඩින කල්හි ඒ පාබල යුද්ධවලින්ද ඩැඩක් නැත. ඒ යුද්ධවලට අප රැකීමට පුළුවන්කමක් නැත.

’’ස්වාමීනි, විරුද්ධව පැමිණි සතුරන් මන්ත්‍රණයෙන් බිඳ හැරීමෙහි පොහොසත්වූ, මන්ත්‍රණයෙහි දක්‍ෂ මහ ඇමතියෝ මේ රාජකුලයෙහි ඇත්තාහ. ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල්හි ඒ මන්ත්‍රණ යුද්ධවලින්ද ප්‍රයෝජනයක් නැත. ඒ මන්ත්‍රණ යුද්ධවලින් අප රැකීමට නුපුළුවන.

’’ස්වාමීනි, පැමිණි පසමිතුරන් ධනයෙන් පොළඹවන්ට සමත්වූ පොළොවෙහි නිදන් කළාවූද, උඩ තැබුවාවූද, බොහෝ රත්රන් මේ රාජකුලයෙහි ඇත්තාහ. ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල්හි ඒ ධන යුද්ධවලින්ද වැඩක් නැත. ඒ ධන යුද්ධවලින්ද අප රැක්ක නොහැක.

’’ ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල්හි කුසල් දහම්හි හැසිරීම, සම චරියාවෙහි හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර වෙන කුමක් නම් කටයුතුද?’’

’’මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. ජරා මරණ දෙකින් ඔබ මඩින කල්හි ධර්‍මයෙහි හැසිරීම, සමබැව්හි හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර වෙන කුමක් නම් කටයුතුද?’’ ( නැත්මය. )

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. මෙය වදාරා නැවත අන්‍යවූ මේ ගාථාද වදාලේය.

’’යම්සේ අහස හැපී සිටි මහත්වූ ශෛලමය පර්‍වත දෙකක් හාත්පස සිව්දිගින් හැම දෙය මැඩ සුනුවිසුනු කරමින් පෙරලී එත්ද, එසේම ජරාවද මරණයද යන දෙක ක්‍ෂත්‍රියයන්ද, බ්‍රාහ්මණයන්ද, වෛශ්‍යයන්ද, ශ්‍රද්‍රයන්ද, චණ්ඩාලයන්ද, කසල ශෝධකයන්ද යන හැම සතුන්ම මැඩගෙන සිටිති. කිසිවෙකු අත් නොහරියි. හැම දෙනම මැඩලයි.

’’එහිදී හෙවත් ජරා මරණ සතුන් මැඩලීමේදී ඇත් සෙනගටද, අස් සෙනගටද, රිය සෙනගටද, පාබල සෙනගටද, විෂයවූ භූමියක් නැත. මන්ත්‍රණ යුද්‍ධයෙන්ද,ධනයෙන්ද ඒ ජරා මරණ පරදවන්නට නොහැක්කේය.

’’එහෙයින් පණ්ඩිත පුරුෂයා තමහට වැඩ කැමැත්තේ ධෘතිසම්පන්නවූයේ බුදුන්, දහම්, සඞඝ යන රත්නත්‍රය විෂයෙහි ශ්‍රද්‍ධාව පිහිට වන්නේය.

’’යමෙක් කයින්ද, වචනයෙන්ද, නැවත සිතින්ද, ධර්‍මයෙහි හැසිරේද, ඔහුට මෙලොවදීත් පසසති. පරලොව ස්වර්‍ගයෙහි සතුටට පත්වේ.

තතියො වග්ගො.

කොසල සංයුත්තකය සමාප්තයි.