සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

9. සුපණ්ණ සංයුත්තය

3. ද්වයකාරී සූත්‍රය. (1)

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.

[2] “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයි. මෙයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”

[3] “මහණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් කයින් දෙපරිද්දෙකින් ක්‍රියා කරන්නේ වෙයි. වචනයෙන් දෙපරිද්දෙකින් ක්‍රියා කරන්නේ වෙයි. සිතින් දෙපරිද්දෙකින් ක්‍රියා කරන්නේ වෙයි. අණ්ඩජ ගුරුළෝ බොහෝ ආයුෂ ඇත්තාහ. වර්ණවන්තයහ. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි “මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙන්නෙම් ඉතා හොඳය”යි කියායි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයි. මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයිද මේ වනාහි එයට හේතුවයි. මේ වනාහි ප්‍රත්‍යයයි.”