සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

10. ගන්ධබ්බ කාය සංයුත්තය

1. සුද්ධික සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, මම නුඹලාට ගන්ධබ්බකායික දෙවියන් ගැන දේශනා කරන්නෙමි, එය අසවු. මහණෙනි, ගන්ධබ්බකායික දෙවියෝ කවරහුද? මහණෙනි, මූලගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. සාර (හරය) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, ඵෙග්ගු (ඵලය) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි. තව (සිවිය) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි පපටිකා (රුක්පොතු) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, පත්‍ර (කොල) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, පුෂ්ප (මල්) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, ඵල (ගෙඩි) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, රස ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, ගන්ධ ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි. මොවුහු ගන්ධර්ව කායික දෙවතාවෝයයි කියනු ලැබේ.”