සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

12. ලොකකාමගුණ වර්‍ගය

7. සාරීපුත්ත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අණේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි එක්තරා භික්‍ෂුවක් තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ යම් තැනෙක්හි ද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර සථවිරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත් පසක උන්නේය. එකත් පසක උන්නා වූ ඒ භික්‍ෂුතෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන්ට මෙය සැළකෙළේය. ,ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, සඬිවිහාරික වූ ශිෂ්‍ය භික්‍ෂුවක් තෙම ශික්‍ෂාව ප්‍රත්‍යඛ්‍යානය කොට (උපසම්පදා ශීලය ඉවත්කොට) ගිහි බවට පෙරලුනේයයි, යනුයි.

’’ඇවැත්නි, ඉන්‍ද්‍රියයන්හි නොරක්නාලද දොරටු ඇති භෝජනයෙහි පමණ නොදන්නා වූ නිදි දුරු කිරීමෙහි නොයෙදුනාවූ මහණ හට එය එසේ වෙයි. ඇවැතිනි, ඉන්‍ද්‍රියයන්හි නොරක්නාලද දොරටු ඇති භොජනයෙහි පමණ නොදන්නේ නිදි දුරු කිරීමෙහි නොයෙදුනු ඒ භික්‍ෂු තෙම ඒකාන්තයෙන් දිවිහිමියෙන් සම්පූර්‍ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව රකින්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

’’ඇවැත්නි, ඉන්‍ද්‍රියයන්හි රකිනලද දොරටු ඇත්තාවූ භෝජනයෙහි පමණ දන්නා වූ නිදි දුරු කිරීමෙහි යෙදුනාවූ ඒ භික්‍ෂු තෙම ඒකාන්තයෙන් දිවිහිමියෙන් සම්පූර්‍ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව රක්නේය යන මේ කරුණ විද්‍යමාන වේ.

’’ඇවැත්නි, කෙසේ නම් ඉන්‍ද්‍රියයන්හි රකිනලද දොරටු ඇත්තේ වේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක මහත් සටහන් වශයෙන් ගන්නේ නොවෙයිද කුඩා සටහන් වශයෙන් ගන්නේ නොවෙයිද යම් හේතුවකින් මේ චක්‍ෂු ඉන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වේෂ ලාමක වූ අකුසල ධර්‍මයෝ නැවත නැවත පහළ වෙත්ද එය සංවර කිරීම පිණිස පිළිපදියිද, චක්ඛු ඉන්‍ද්‍රිය රකියිද, චක්ඛු ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයිද, , ඇවැත්නි, කෙසේනම් ඉන්‍ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇත්තේ වේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම කණින් ශබ්දයක් අසා මහත් සටහන් වශයෙන් ගන්නේ නොවෙයිද, කුඩා සටහන් වශයෙන් ගන්නේ නොවෙයිද, යම් හේතුවකින් මේ සෝත ඉන්‍ද්‍රිය අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වේෂ ලාමක වූ අකුසල ධර්‍මයෝ නැවත නැවත පහළ වෙත්ද, එය සංවර කිරීම පිණිස පිළිපදියිද, සෝත ඉන්‍ද්‍රියය රකියිද, සෝත ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයිද,

’’ඇවැත්නි, කෙසේනම් ඉන්‍ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇත්තේ වේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට මහත් සටහන් වශයෙන් ගන්නේ නොවෙයිද, කුඩා සටහන් වශයෙන් ගන්නේ නොවෙයිද, යම් හෙයකින් මේ ඝාණ ඉන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වේෂ ලාමක වූ අකුසල ධර්‍මයෝ නැවත නැවත පහළ වෙත්ද, එය සංවර කිරීම පිණිස පිළිපදියිද, ඝාණ ඉන්‍ද්‍රියය රකියිද, ඝාණ ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයිද,

’’ඇවැත්නි, කෙසේනම් ඉන්‍ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇත්තේ වේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම දිවෙන් රසයක් විඳ මහත් සටහන් වශයෙන් ගන්නේ නොවෙයිද, කුඩා සටහන් වශයෙන් ගන්නේ නොවෙයිද, යම් හෙයකින් මේ ජිව්හා ඉන්‍ද්‍රිය අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වේෂ ලාමක වූ අකුසල ධර්‍මයෝ නැවත නැවත පහළ වෙත්ද, එය සංවර කිරීම පිණිස පිළිපදියිද, ජිව්හා ඉන්‍ද්‍රියය රකියිද, ජිව්හා ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයිද,

’’ඇවැත්නි, කෙසේනම් ඉන්‍ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇත්තේ වේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම කයෙන් ස්පර්‍ශයක් කර මහත් සටහන් වශයෙන් ගන්නේ නොවෙයිද, කුඩා සටහන් වශයෙන් ගන්නේ නොවෙයිද, යම් හේතුවකින් මේ ස්පර්‍ශඉන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වේෂ ලාමක වූ අකුසල ධර්‍මයෝ නැවත නැවත පහළ වෙත්ද, එය සංවර කිරීම පිණිස පිළිපදියිද, කාය ඉන්‍ද්‍රියය රකියිද, කාය ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයිද, , ඇවැත්නි, කෙසේනම් ඉන්‍ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇතිවේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම සිතින් ධර්‍මාරමුණක් දැන මහ සටහන් වශයෙන් ගන්නේ නොවෙයිද, කුඩා සටහන් වශයෙන් ගන්නේ නොවෙයිද, යම් හේතුවකින් මේ මනින්‍ද්‍රියය අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වේෂ ලාමක වූ අකුසල ධර්‍මයෝ නැවත නැවත පහළ වන්නාහුද, එය සංවර කිරීම පිණිස පිළිපදියිද, මනින්‍ද්‍රිය රකියිද, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයිද, ඇවැත්නි මෙසේ වනාහි ඉන්‍ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇත්තේ වෙයි.

’’ඇවැත්නි, කෙසේනම් භොජනයෙහි පමණ දන්නේ වේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ‘ක්‍රීඩා පිණිස මද වැඩීම පිණිස සැරසීම පිණිස අලංකාර කිරීම පිණිස ආහාර නොවළඳමි, මේ ශරීරයාගේ පැවැත්ම පිණිසම යැපීම පිණිසම පීඩා වැලැක්වීම පිණිසම බ්‍රහ්මචර්‍ය්‍යාවට අනුග්‍රහ පිණිසම ආහාර වළඳමි. මෙසේ පුරාණ වේදනාද නසමි. අළුත් වේදනාද නොඋපදවන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාවද නිවරද බවද සැප පහසුවද වන්නේයයි’ නුවණින් සලකා ආහාර වළඳයිද, ඇවැත්නි මෙසේ වනාහි භොජනයෙහි පමණ දන්නේ වෙයි.

’’ඇවැත්නි, කෙසේනම් නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද? ,ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම දහවල් දවස සක්මනින්ද හිඳීමෙන් ද වැළැක්විය යුතු ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයිද, රාත්‍රියෙහි පළමුවන යාමය සක්මනින්ද, හිඳීමෙන් ද වැළැක්විය යුතු ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයිද, රාත්‍රියෙහි මධ්‍යම යාමය දකුණු පයින් දකුණු පයෙහි වම් පය මඳක් ඉක්මවා තබා සිහි ඇත්තේ නුවණ ඇත්තේ නැඟිටිමි යන සංඥාව මෙනෙහිකොට ශ්‍රෙෂ්ඨවූ සයනය කෙරෙයිද, රාත්‍රියෙහි පශ්චිම යාමය නැවත නැගිට සක්මනින්ද හිඳීමෙන් ද වැළැක්විය යුතු ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරයිද, ඇවැත්නි මෙසේ වනාහි නිදි දුරු නිරීමෙහි යෙදුනේ වෙයි.

‘ ඇවැත්නි, එසේ හෙයින් ‘මෙහි ඉන්‍ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇත්තෝ භොජනයෙහි පමණ දන්නෝ නිදි දුරුකිරීමෙහි යෙදුනෝ වන්නෙමුයි’ මෙසේ හික්මිය යුතුයි. ඇවැත්නි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයයි, (වදාළ සේක.)