සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

13. ගෘහපති වර්‍ගය

9. ලෝහිච්ච සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිර තෙම අවන්තී රට මක්කරකට නම් නගරයෙහි ආරණ්‍යයෙහි වූ කුටියෙක්හි වාසය කරති. එකල්හි වනාහි ලෝහිච්ච නම් බ්‍රාහ්මණයාගේ බොහෝ වූ දර ගෙනෙන්නාවූ මානවකයෝ ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ ආරණ්‍යයෙහි වූ කුටිය යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ කුටිය හාත්පසින් සිට , මේ මුඩු ශ්‍රමණයෝ වනාහි හීන ගෘහපතියෝය. කිළුටු වූවෝය. බ්‍රහ්මයාගේ පිටිපතුලෙන් උපන්නෝය. මේ රට වැසියන් විසින් සත්කාර කරණ ලද්දාහු, ගෞරව කරණ ලද්දාහු, බුහුමන් කරණ ලද්දාහු, පුදන ලද්දාහු, සැලකිළි කරණ ලද්දාහු වෙත්යයි’ උස් හඬින් මහත් හඬින් කියමින් කුටිය වටේ සක්මන් කරත්, ඔබමොබ හැසිරෙත්.

එකල්හි ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරතෙම විහාරයෙන් නික්ම ඒ මානවකයන්ට මෙය කීයේය. , මානවකයිනි, තොපි ශබ්ද නොකරව්. තොපට ධර්‍මය දේශනා කරන්නෙමි,,යි මෙසේ කී කල්හි ඒ මානවකයෝ නිශ්ශබ්ද වූහ. ඉක්බිති ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරතෙම ඒ මානවකයන්ට ගාථා වලින් මෙය ප්‍රකාශ කෙළේය.

(1) , යම් කෙනෙකේ පුරාණ බ්‍රාහ්මණ ධර්‍මය සිහිකෙරෙත්ද, ඉතා පූර්‍වයෙහි වූ ඒ බ්‍රාහ්මණයෝ සීලය උතුම්කොට ඇත්තේ වූහ. ඔවුන්ගේ ක්‍රොධය මැඩ පවත්වා මනාව රක්නා ලද ගොපනය කරණ ලද දොරටු ඇත්තෝ වූහ.

(2) යමි කෙනෙක් පුරාණ වූ ( බ්‍රාහ්මණ ධර්‍මය ) සිහි කෙරෙත්ද, ඒ බ්‍රාහ්මණයෝ දසකුශල ධර්‍මයෙහිද, ධ්‍යානයෙහිද, ඇලුනෝ වූහ. මේ ගුණයන්ද ඉක්මවා අප මන්ත්‍ර හදාරන්නෙමුයි, ගොත්‍රයෙන් මත්වූවාහු ගන්නා ලද නොයෙක් දඬු ඇත්තාහු, ක්‍රොධයෙන් මඬනා ලද්දාහු තෘෂ්ණා සහිත වූද තෘෂ්ණා රහිත වූද, සත්‍වයන් කෙරෙහි වරද කෙරෙමින් විසමව හැසිරෙත්.

(3) නොරක්නාලද දොරටු ඇත්තහුගේ ආහාර නොගැණීමද නිල් කුසතණ ඇතිරියෙහි සයනය කිරීමද, උදෑසන ස්නානය කිරීමද, ත්‍රිවෙදයද යන මොහු පුරුෂයෙකුගේ සිහිනෙන් ලබන ලද වස්තුවක් මෙන් හිස් වූවාහු වෙත්.

(4) රළු ස්පර්‍ශ ඇති අඳුන් දිවි සමද, ජටාවද, දත් මැලියම්ද, මනත්‍රද අන්‍ය ශීල ව්‍රත සමාදානය වූ තපසද, කුහක බවද, වක්වූ දඬු ඇති බවද, ජලයෙන් පිරිසිදු කිරීමද, කිසියම් ආමිස ලාභයන් පිණිස කරණ ලද මොව්හු බ්‍රාහ්මණයන්ගේ වර්‍ණයෝ (ගුණයෝ) වෙත්.

(5) යම් කෙනෙකුන්ගේ සිතද මනාව එකඟ කරණ ලද්දේද, විශේෂයෙන් ප්‍රසන්නවූයේ නොකැළඹුනේ සියළු සත්‍වයන් කෙරෙහි මෘදුවූයේ වේද, එය ශ්‍රේෂ්ඨ බවට පැමිණීමට මාර්‍ගය වේයයි, (කීය.)

එකල්හි ඒ මානවකයෝ කිපුනාහු නොසතුටු සිත් ඇත්තාහු ලෝහිච්ච නම් බ්‍රාහ්මණයා යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස් ලෝහිච්ච නම් බ්‍රාහ්මණයාට මෙය කීවාහුය. , මහා කත්‍යායන නම් ශ්‍රමණතෙම බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍රවලට ඒකානතයෙන් දොස් කියයි, ආක්‍රෝශ කරයි, යන මෙය දන්නේද, යනුයි. මෙසේ කී කල්හි ලෝහිච්ච නම් බ්‍රාහ්මණතෙම කිපියේ නොසතුටු සිත් ඇත්තේ වූයේය. ඉක්බිති ලෝහිච්ච නම් බ්‍රාහ්මණයාට මෙබඳු අදහසක් විය. ‘ යම්බඳු මම ඒකාන්තයෙන් මානවකයන්ගෙන්ම අසා මහා ආක්‍රොශ කත්‍යායන ශ්‍රමණයන්ට කරන්නෙම්නම් මේ මට සුදුසු නොවෙයි. මම පැමිණ අසන්නෙම්නම් යහපති කියායි.

ඉක්බිති ලෝහිච්ච නම් බ්‍රාහ්මණතෙම ඒ මානවකයන් සමඟ ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරතෙම යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් සමඟ සතුටු වූයේය. සතුටු වියයුතු සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක උන්නාවූ ලෝහිච්ච නම් බ්‍රාහ්මණතෙම ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන්ට මෙය කීයේය.

’’භවත් කාත්‍යායන සථවිරයන් වහන්ස, අපගේ බොහෝවූ අතවැසිවූ දරගෙණියන්නාවූ මානවකයෝ මෙහි ආවාහුද?,

’’බ්‍රාහ්මණය, තොපගේ බොහෝවූ අතවැසිවූ දරගෙණියන්නාවූ මානවකයෝ මෙහි ආවාහුය,,

’’භවත් කාත්‍යායන සථවිරයන්ගේ ඒ මානවකයන් සමඟ කිසියම් කතාබහෙක් වූයේද?,

’’බ්‍රාහ්මණය, මාගේ ඒ මානවකයන් සමඟ කිසියම් කතාබහෙක් වූයේය,

’’භවත් කාත්‍යායන සථවිරයන් වහන්සේගේ ඒ මානවකයන් සමඟ කෙබඳුවූ කතාබහෙක් වීද?,

’’බ්‍රාහ්මණය මෙසේ වනාහි මාගේ ඒ මානවකයන් සමග කතාබහෙක් වූයේය.

(1) , යම් කෙනෙකේ පුරාණ බ්‍රාහ්මණ ධර්‍මය සිහිකෙරෙත්ද, ඉතා පූර්‍වයෙහි වූ ඒ බ්‍රාහ්මණයෝ සීලය උතුම්කොට ඇත්තෝ වූහ. ඔවුන්ගේ ක්‍රොධය මැඩ පවත්වා මනාව රක්නා ලද ගොපනය කරණ ලද දොරටු ඇත්තෝ වූහ.

(2) යමි කෙනෙක් පුරාණ වූ ( බ්‍රාහ්මණ ධර්‍මය ) සිහි කෙරෙත්ද, ඒ බ්‍රාහ්මණයෝ දසකුසල ධර්‍මයෙහිද, ධ්‍යානයෙහිද, ඇලුනෝ වූහ. මේ ගුණයන්ද ඉක්මවා අපි මන්ත්‍ර හදාරන්නෙමුයි, ගොත්‍රයෙන් මත්වූවාහු ගන්නා ලද නොයෙක් දඬු ඇත්තාහු, ක්‍රොධයෙන් මඬනා ලද්දාහු තෘෂ්ණා සහිත වූද, තෘෂ්ණා රහිත වූද, සත්‍වයන් කෙරෙහි වරද කෙරෙමින් හැසිරෙත්.

(3) නොරක්නාලද දොරටු ඇත්තහුගේ ආහාර නොගැනීමද නිල් කුසතණ ඇතිරියෙහි සයනය කිරීමද, උදෑසන ස්නානය කිරීමද, ත්‍රිවෙදයද යන මොහු පුරුෂයෙකුගේ සිහිනෙන් ලබන ලද වස්තුවක් මෙන් හිස් වූවාහු වෙත්.

(4) රළු ස්පර්‍ශ ඇති අඳුන් දිවි සමද, ජටාවද, දත් මැලියම්ද, මන්ත්‍රද අන්‍ය ශීල ව්‍රත සමාදානය වූ තපසද, කුහක බවද, වක්වූ දඬු ඇති බවද, ජලයෙන් පිරිසිදු කිරීම්ද, කිසියම් ආමිස ලාභයන් පිණිස කරණ ලද මොව්හු බ්‍රාහ්මණයන්ගේ වර්‍ණයෝ (ගුණයෝ) වෙත්.

(5) යම් කෙනෙකුන්ගේ සිතද, මනාව එකඟ කරණ ලද්දේද, විශේෂයෙන් ප්‍රසන්නවූයේ නොකැළඹුනේ සියළු සත්‍වයන් කෙරෙහි මෘදුවූයේ වේද, එය ශ්‍රේෂ්ඨ බවට පැමිණීමට මාර්‍ගය වේයයි, (කීය.)

නොරක්නාලද දොරටු ඇත්තේයයි, භවත් කාත්‍යායන තෙමේ කීයේය. කත්‍යායන වහන්ස, කොපමණකින් වනාහි නොරක්නාලද දොරටු ඇත්තේවේද?, ‘ බ්‍රාහ්මණය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි කෙළෙස් වශයෙන් ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි කිපෙයි. නොඑළඹසිටි සිහිය හේතුකොටගෙන සවල්පවූ (දුර්‍වලවූ) සිත් ඇතිව වාසය කරයි. ඔහුට යම් අරමුණෙක්හි උපන්නාවූ ලාමකවූ ඒ අකුසල ධර්‍මයෝ ඉතිරිනොවී නිරුඬ නොවෙත්ද, ඒ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාවද තත්‍වාකාරයෙන් නොදනියි.

’’බ්‍රාහ්මණය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් කණින් ශබ්දයක් අසා ප්‍රිය ස්වභාව ඇත්තාවූ ශබ්දයෙහි කෙළෙස් වශයෙන් ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇත්තාවූ ශබ්දයෙහි කිපෙයි. නොඑළඹසිටි සිහිය හේතුකොටගෙන සවල්පවූ (දුර්‍වලවූ) සිත් ඇතිව වාසය කරයි. යම් අරමුණෙක්හි ඔහුට උපන්නාවූ ලාමකවූ ඒ අකුසල ධර්‍මයෝ ඉතිරිනොවී නිරුඬ නොවෙත්ද, ඒ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාවද තත්‍වාකාරයෙන් නොදනියි.

’’බ්‍රාහ්මණය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකර ප්‍රිය ස්වභාව ඇත්තාවූ ගන්‍ධයෙහි කෙළෙස් වශයෙන් ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇත්තාවූ ගන්‍ධයෙහි කිපෙයි. නොඑළඹසිටි සිහිය හේතුකොටගෙන සවල්පවූ (දුර්‍වලවූ) සිත් ඇතිව වාසය කරයි. යම් අරමුණෙක්හි ඔහුට උපන්නාවූ ලාමකවූ ඒ අකුසල ධර්‍මයෝ ඉතිරිනොවී නිරුඬ නොවෙත්ද, ඒ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාවද තත්‍වාකාරයෙන් නොදනියි.

’’බ්‍රාහ්මණය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් දිවෙන් රසයක් විඳ ප්‍රිය ස්වභාව ඇත්තාවූ රසයෙහි කෙළෙස් වශයෙන් ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇත්තාවූ රසයෙහි කිපෙයි. නොඑළඹසිටි සිහිය හේතුකොටගෙන සවල්පවූ (දුර්‍වලවූ) සිත් ඇතිව වාසය කරයි. යම් අරමුණෙක්හි ඔහුට උපන්නාවූ ලාමකවූ ඒ අකුසල ධර්‍මයෝ ඉතිරිනොවී නිරුඬ නොවෙත්ද, ඒ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාවද තත්‍වාකාරයෙන් නොදනියි.

’’බ්‍රාහ්මණය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් කයෙන් ස්පර්‍ශයක් කර ප්‍රිය ස්වභාව ඇත්තාවූ ස්පර්‍ශයෙහි කෙළෙස් වශයෙන් ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇත්තාවූ ස්පර්‍ශයෙහි කිපෙයි. නොඑළඹසිටි සිහිය හේතුකොටගෙන සවල්පවූ (දුර්‍වලවූ) සිත් ඇතිව වාසය කරයි. යම් අරමුණෙක්හි ඔහුට උපන්නාවූ ලාමකවූ ඒ අකුසල ධර්‍මයෝ ඉතිරිනොවී නිරුඬ නොවෙත්ද, ඒ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාවද තත්‍වාකාරයෙන් නොදනියි.

’’සිතින් ධර්‍මාරම්මණයක් දැන ප්‍රිය ස්වභාව ඇත්තාවූ ධර්‍මාරම්මණයෙහි කෙළෙස් වශයෙන් ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇත්තාවූ ධර්‍මාරම්මණයෙහි කිපෙයි. නොඑළඹසිටි සිහිය හේතුකොටගෙන සවල්පවූ (දුර්‍වලවූ) සිත් ඇතිව වාසය කරයි. යම් අරමුණෙක්හි ඔහුට උපන්නාවූ ලාමකවූ ඒ අකුසල ධර්‍මයෝ ඉතිරිනැතිව නිරුඬ නොවෙත්ද, ඒ ඵල සමාධිද ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැන නොගණියි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි නොරක්නාලද දොරටු ඇත්තේ වේයයි, (කීය.)

’’භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, ආශ්චර්‍ය්‍යය. , භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, පුදුමය. , භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, නොරක්නාලද දොරටු ඇත්තේම, නොරක්නාලද දොරටු ඇත්තේය යන මෙය, යහපත් කොටම ප්‍රකාශ කරණ ලදී. ‘රක්නා ලද දොරටු ඇත්තේයයි, භවත් කාත්‍යායනතෙමේ කීයේය. භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, කොපමණකින් වනාහි රක්නාලද දොරටු ඇත්තේ වේද?,

’’බ්‍රාහ්මණය, මේ ලොකයෙහි භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි කෙළෙස් වශයෙන් ගිජු නොවෙයි. අප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපය කෙරෙහි නොකිපෙයි. එළඹසිටි සිහිය නිසා අප්‍රමාණ සිත් ඇතිව වාසය කෙරයි. ඔහුට යම් අරමුණෙක්හි ඔහුට ඒ උපන්නාවූ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬ වෙත්ද, ඒ ඵල සමාධිය ද ඵල ප්‍රඥාවද දැන ගණියි.

කණින් ශබ්දයක් අසා ප්‍රිය ස්වභාව ඇත්තාවූ ශබ්දය කෙරෙහි කෙළෙස් වශයෙන් ගිජු නොවෙයි. අප්‍රිය ස්වභාව ඇත්තාවූ ශබ්දය කෙරෙහි නොකිපෙයි. එළඹසිටි සිහිය නිසා අප්‍රමාණ සිත් ඇතිව වාසය කෙරෙයි. යම් අරමුණෙක්හි ඔහුට ඒ උපන්නාවූ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬ වෙත්ද, ඒ ඵල සමාධියද ඵල ප්‍රඥාවද දැන ගණියි.

නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකර ප්‍රිය ස්වභාව ඇත්තාවූ ගන්‍ධයෙහි කෙළෙස් වශයෙන් ගිජු නොවෙයි. අප්‍රිය ස්වභාව ඇත්තාවූ ගන්‍ධය කෙරෙහි නොකිපෙයි. එළඹසිටි සිහිය නිසා අප්‍රමාණ සිත් ඇතිව වාසය කෙරෙයි. යම් අරමුණෙක්හි ඔහුට ඒ උපන්නාවූ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬ වෙත්ද, ඒ ඵල සමාධියද ඵල ප්‍රඥාවද දැන ගණියි.

දිවෙන් රසයක් විඳ ප්‍රිය ස්වභාව ඇත්තාවූ රසය කෙරෙහි කෙළෙස් වශයෙන් ගිජු නොවෙයි. අප්‍රිය ස්වභාව ඇත්තාවූ රසය කෙරෙහි නොකිපෙයි. එළඹසිටි සිහිය නිසා අප්‍රමාණ සිත් ඇතිව වාසය කෙරෙයි. යම් අරමුණෙක්හි ඔහුට ඒ උපන්නාවූ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬ වෙත්ද, ඒ ඵල සමාධියද ඵල ප්‍රඥාවද දැනගනියි.

කයෙන් ස්පර්‍ශයක් කර ප්‍රිය ස්වභාව ඇත්තාවූ ස්පර්‍ශය කෙරෙහි කෙළෙස් වශයෙන් ගිජු නොවෙයි. අප්‍රිය ස්වභාව ඇත්තාවූ ස්පර්‍ශය කෙරෙහි නොකිපෙයි. එළඹසිටි සිහිය නිසා අප්‍රමාණ සිත් ඇතිව වාසය කෙරෙයි. යම් අරමුණෙක්හි ඔහුට ඒ උපන්නාවූ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬ වෙත්ද, ඒ ඵල සමාධිද ඵල ප්‍රඥාවද දැනගණියි.

’’සිතින් ධර්‍මාරම්මණයක් දැන ප්‍රිය ස්වභාව ඇත්තාවූ ධර්‍මාරම්මණයන් කෙරෙහි නොඇලෙයි. අප්‍රිය ස්වභාව ඇත්තාවූ ධර්‍මාරම්මණයන් කෙරෙහි නොකිපෙයි. එළඹසිටි සිහිය නිසා අප්‍රමාණවූ සිත් ඇතිව වාසය කරයි. යම් අරමුණෙක්හි ඔහුට උපන්නාවූ ලාමකවූ ඒ අකුසල ධර්‍මයෝ ඉතිරි නොවී නිරුඬ වෙත්ද, ඒ ඵල සමාධියද ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැනගණියි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි රක්නාලද දොරටු ඇත්තේ වේයයි, කීය.

’’භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, ආශ්චර්‍ය්‍යය. භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, පුදුමය. භවත් කාත්‍යායන ස්ථවිරයන් විසින් රක්නාලද දොරටු ඇත්තෙන්ම රක්නාලද දොරටු ඇත්තේය, යන මෙය යහපත් කොට ප්‍රකාශ කරණ ලදී. භවත් කාත්‍යායන සථවිරයන් වහන්ස, ඉතා යහපති, භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, ඉතා යහපති.

’’භවත් කාත්‍යායන සථවිරයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැසුම් හරින්නේද, මංමුලාවූවකුට හෝ මඟ කියන්නේද, අන්‍ධකාරයෙහි හෝ ‘ඇස් ඇත්තෝ රූප දකිත්වායි’ තෙල් පහනක් දරන්නේද, එපරිද්දෙන්ම භවත් කාත්‍යායන ස්ථවිරයන් විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලදී

’’භවත් කාත්‍යායන සථවිරයන් වහන්ස, ඒ මම ඒ භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්‍මයද භික්‍ෂු සංඝයාද (සරණකොට යමි.) භවත් කාත්‍යායන සථවිරතෙමේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගියාවූ උපාසකයෙකු කොට දරණු මැනව. යම්සේ භවත් කාත්‍යායන සථවිරතෙමේ මක්කරකට නම් නගරයෙහි උපාසක කුලවලට එළඹෙන්නේද එපරිද්දෙන්ම ලෝහිච්ච බ්‍රාහ්මණයාගේ ගෙදරටද එළඹෙනු මැනවි. එහි යම් මානවකයෝද මානවිකාවෝද භවත් කාත්‍යායන සථවිරයන්ට වඳින්නාහුද දැක හුනස්නෙනේ නැගිටින්නාහුද, ආසනයක්හෝ ජලයක් දෙන්නාහුද ඔවුන්ට එය බොහෝ කලක් වැඩ පිණිස සැප පිණිස වන්නේයයි, (කීයේය.)