සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

19. ආසිවිස වර්‍ගය

5. දාරුක්ඛන්‍ධ සූත්‍රය. (2)

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නම් නුවර ගංගා නම් ගංඉවුරෙහි වැඩ වසන සේක. භාග්‍යවතුන් වහන්සේ ගංගා නම් ගඟේ දිය පහරින් ගසාගෙන යන්නාවූ මහත්වූ දරකඳක් දුටුසේක. දැක භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළසේක.

’’මහණෙනි, තෙපි ගංගානම් ගඟේ දියපහරින් ගසාගෙන යන්නාවූ අර මහත්වූ දරකඳ දක්නාහුද?, }€“ ,එසේය, සවාමීනි.,

’’මහණෙනි, ඉදින් දරකඳ මෙතෙරට නොපැමිනේද, එතෙරට නොපැමිනේද, ගඟ මැද නොගිලෙන්නේද, ගොඩට නොගසන්නේද, මනුෂ්‍යයන්ගේ ගැනීමක් නොවන්නේද, අමනුෂ්‍යයන්ගේ ගැනීමක් නොවන්නේද, දිය සුළියකට හසු නොවන්නේද, ඇතුළ කුණුවීමක් නොවන්නේද, මහණෙනි, මෙසේ වනාහි ඒ දරකඳ මුහුද කරා නැමුනේ වන්නේය. මුහුදට ගසා යන්නේ මුහුද දෙසට බරවූයේ වන්නේය. ඊට හේතු කවරේද, මහණෙනි, ගංගා නදියේ දියපාර මුහුදට නැමීම ඇත්තේය. මුහුදට නැඹුරුවූයේය. මුහුදට බරවූයේය.

’’මහණෙනි, මෙපරිද්දෙන්ම ඉදින් තෙපිදු මෙතෙරට නොපැමිණෙන්නෙහුද, එතෙරට නොපැමිණෙන්නෙහුද, මැද නොගිලෙන්නහුද, ගොඩට නොනගින්නහුද, , මනුෂ්‍යයන්ගේ ගැනීමක් නොවන්නහුද, අමනුෂ්‍යයන්ගේ ගැනීමක් නොවන්නහුද, මහණෙනි, එසේ තෙපි නිවණට නැමීම ඇත්තෝ නිවණට නැඹුරුවූවෝ නිවණට බරවූවෝ වන්නාහුය. ඊට හේතු කවරේද, මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය නිවණට නැමුනාවූ නිවන් කරා ගමන් කරන්නාවූ නිවනට නැඹුරුවූ ධර්‍මයකැයි, වදාළ සේක.

මෙසේ වදාළ කල්හි ආයුෂමත් කිම්බිල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. , සවාමීනි, මෙතෙර නම් කුමක්ද එතෙර නම් කුමක්ද, මැද ගිලා බැසීම නම් කුමක්ද, ගොඩට නැගීම නම් කුමක්ද, මිනිසුන්ගේ අල්වා ගැනීම නම් කුමක්ද, අමනුෂ්‍යයන්ගේ අල්වාගැනීම නම් කුමක්ද, දිය සුළියට අසුවීම නම් කුමක්ද, ඇතුලත කුණුවීම නම් කුමක්ද යනුයි.

’’කිම්බිලය, මෙතෙර යනු සවැදෑරුම්වූ අධ්‍යාත්මිකවූ ආයතනයන්ට නමකි. මහණ, එතෙර යනු සවැදෑරුම් බාහිර ආයතනයන්ට නමකි. මහණ, මැද ගිලාබැසීම යනු නන්‍දිරාගයට නමකි. මහණ, ගොඩට නැගීම යනු අස්මිමානයට නමකි.

’’කිම්බිලය, මිනිසුන් අල්වා ගැනීම නම් කවරේද, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ගිහින් සමග එකතුවී වාසය කෙරේද, සමග සතුටුවීම් ඇත්තේ, සමග සෝකවීම් ඇත්තේ සුවපත්වූ කල්හි සුවපත්වූයේ දුකට පත්වූ කල්හි දුකට පත්වූයේ උපන්නාවූ වැඩකටයුතු ඇතිකල්හි තෙමේම ඒ කටයුතුවල යෙදීමට පැමිණේද, මහණ, මෙය මිනිසුන් විසින් අල්වා ගැනීමයයි කියනු ලැබේ.

’’කිම්බිලය, අමනුෂ්‍යයන්ගේ ගැනීම නම් කවරේද, මහණ, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ත්‍ථනාකොට බ්‍රහ්මචර්‍ය්‍යාව රකීද, මම මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් හෝ දෙවියෙක් හෝ වන්නෙිමි. දෙවියන්ගෙන් එක්තරා අයෙක් හෝ වන්නෙමි කියායි. මහණ, මෙය අමනුෂ්‍යයන් විසින් අල්වාගැනීම යයි කියනු ලැබේ.

‘ කිම්බිලය, දියසුළියට අසුවීම යනු මේ පඤචකාම ගුණයන්ට නමකි.

’’කිම්බිලය, ඇතුලත කුණුවීම නම් කවරේද, කිම්බිලය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම යම්බඳුවූ ඇවතකට පැමිණියේවේද, යම්බඳුවූ ඇවතකින් නැඟී සිටිය යුතුබව පෙනේද, කිම්බිලය, මෙය ඇතුලත කුණුවීමයයි කියනු ලැබේයයි, වදාළහ.