සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

19. ආසිවිස වර්‍ගය

6. අවස්සුත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි කිඹුල්වත්පුර වැසි ශාක්‍ය රජුන්ගේ අළුත්වූ සන්ථාගාර ශාලාව කරවනලද නොබෝ කල් ඇත්තේ වෙයි. ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ මනුෂ්‍යවූ කිසිවකු විසිනුත් නොවසන ලද්දේය. ඉක්බිති කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක උන්හ. එක් පසෙක උන්නාවූ කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළාහුය.

’’ස්වාමීනි, මෙහි කිඹුල්වත්පුර වැසි ශාක්‍යයන්ගේ අළුත්වූ සන්ථාගාර ශාලාව කරවනලද නොබෝ කල් ඇත්තේවෙයි. ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ මනුෂ්‍යවූ කිසිවකු විසිනුත් නොවසන ලද්දේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ එය පළමුව පරිභොග කරණ සේක්වා. භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුව පරිභොග කරනලද කල්හි පසුව කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ පරිභොග කරන්නාහුය. එය කිඹුල්වත්පුර වැසි ශාක්‍යයන්ට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය, කියායි. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූ සේක.

ඉක්බිති කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෞරවකොට අළුත්වූ සන්ථාගාර ශාලාව යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස් සන්ථාගාර ශාලාව සියළු තන්හි ඇතිරිලි අතුරා අසුන් පනවා දිය සැලක තබ්බවා තෙල් පහන් දල්වා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියාහුය. ගොස් භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළාහුය. , ස්වාමීනි, සන්ථාගාර ශාලාව සියළු තැන ඇතිරිලි අතුරණ ලදී. අසුන් පනවන ලදී. දියසැලි තබන ලද්දේය. තෙල් පහන් දල්වන ලදී. භාග්‍යවතුන් වහන්සේ දැන් වැඩීමට කල් දන්නා සේක, යනුවෙනි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පොරවා පාසිවුරු ගෙන භික්‍ෂු සංඝයා සමග අළුත්වූ සන්ථාගාර ශාලාව යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. වැඩ පා සෝදා සන්ථාගාර ශාලාවට ඇතුල්ව මැදවූ කණුව ඇසුරුකොට නැගෙනහිරට මුහුණලා වැඩඋන්සේක. භික්‍ෂු සංඝයා පා සෝදා සන්ථාගාරයට ඇතුල්ව බස්නාහිර බිත්තිය ඇසුරුකොට නැගෙනහිරට මුහුණලා භාග්‍යවතුන් වහන්සේ පෙරටුකොට වැඩහුන්නේය. කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝද පා සෝදා සන්ථාගාරයට ඇතුල්ව නැගෙනහිර බිත්තිය ඇසුරුකොට බස්නාහිරට මුහුණලා භාග්‍යවතුන් වහන්සේ පෙරටුකොට හුන්නාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර වැසි ශාක්‍යයන්ට රාත්‍රී බොහෝ වේලාවක්ම දැහැමිවූ කථාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා, , ගෞතමයෙනි, (ශාක්‍යයෙනි) රාත්‍රිය ඉක්ම ගියාය. යම් ගමනක් වේනම් ඊට දැන් කල් දනිව්යයි, වදාළසේක. ,ස්වාමීනි, එසේයයි, කියා කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෞරව කොට ගියාහුය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර වැසි ශාක්‍යයන් බැහැරගිය නොබෝ කල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්ට කථාකළසේක. , මොග්ගල්ලානයෙනි, භික්‍ෂුසංඝතෙම පහව ගියාවූ ථිනම්ඬය (නිදිමත) ඇත්තේය. මොග්ගල්ලානය, භික්‍ෂූන්ට ධර්‍ම කථාවක් ප්‍රකාශ කෙරේවා, මාගේ පිට රුජා කෙරෙයි. එහෙයින් මම දිගහැරෙන්නෙමියි’ වදාළේය. ,ස්වාමීනි, එසේයයි,, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟල සිව්ර සතරගුණකොට දකුණැලයෙන් දකුණු පයෙහි වම්පය මඳක් ඉක්මවා තබා සිහියෙන් යුක්තව නුවණින් යුක්තව නැගිටිමි යන සංඥාව මෙනෙහිකොට ශ්‍රේෂ්ඨවූ සයනය කළසේක.

එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම භික්‍ෂූන්ට , ඇවැත් මහණෙනි, කියා ආමන්ත්‍රණය කෙළේය. , ඇවැත්නි, කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම මෙය වදාළේය. , ඇවැත්නි තොපට කෙළෙසුන්ගෙන් තෙත්වන ආකාරයද කෙළෙසුන්ගෙන් තෙත් නොවන ආකාරයද දේශනා කරන්නෙමි. එය අසව්.

’’ඇවැත්නි, කෙසේනම් කෙළෙසුන්ගෙන් තෙත් වන්නේද? ඇවැත්නි මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපය කෙරෙහි ඇලෙයිද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි කිපෙයිද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේද, කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරෙයිද, යම් තැනෙක්හි මොහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරිනොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද, නොදනීද,

කණින් ශබ්දයක් අසා ප්‍රිය ස්වභාව ඇත්තාවූ ශබ්දය කෙරෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ශබ්දයෙහි කිපෙයිද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේද, කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරෙයිද, යම් තැනෙක්හි මොහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරිනොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද, නොදනීද,

නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ප්‍රිය ස්වභාව ඇත්තාවූ ගන්‍ධය කෙරෙහි ඇලෙයිද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ගන්‍ධයෙහි කිපෙයිද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේද, කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරෙයිද, යම් තැනෙක්හි මොහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරිනොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද, නොදනීද,

දිවෙන් රසයක් විඳ ප්‍රිය ස්වභාව ඇත්තාවූ රසය කෙරෙහි ඇලෙයිද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ රසයෙහි කිපෙයිද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේද, කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරෙයිද, යම් තැනෙක්හි මොහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරිනොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද, නොදනීද,

කයින් ස්පර්‍ශයක් විඳ ප්‍රිය ස්වභාව ඇත්තාවූ ස්පර්‍ශය කෙරෙහි ඇලෙයිද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ස්පර්‍ශයෙහි කිපෙයිද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේද, කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරෙයිද, යම් තැනෙක්හි මොහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරිනොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද, නොදනීද,

සිතින් ධර්‍මයක් දැන ප්‍රිය ස්වභාව ඇත්තාවූ ධර්‍මයෙහි ඇලෙයිද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ධර්‍මයෙහි කිපෙයිද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේද, කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරෙයිද, යම් තැනෙක්හි මොහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරිනොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැන නොගනියිද,

’’ඇවැත්නි, මේ භික්‍ෂුතෙම චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු රූපයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත්වූයේයයිද, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ශබ්දයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත්වූයේයයිද, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ගන්‍ධයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත්වූයේයයිද, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු රසයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත්වූයේයයිද, කාය විඤ්ඤාණයෙන් දතයුතු ස්පර්‍ශයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත්වූයේයයිද, මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත්වූයේයයිද කියනු ලැබේ.

’’ඇවැත්නි, මෙසේ වාසය කරන්නාවූද, ඒ භික්‍ෂුවට ඇස නිසාද මාරයා ළංවෙයි. මාරයා ඉඩක් ලබන්නේමය. ක්ලේශ මාරයා කාරණයක් ලබන්නේමය. කණ නිසාද ඔහුට මාරයා ළංවෙයි. මාරයා ඉඩක් ලබන්නේමය. ක්ලේශ මාරයා කාරණයක් ලබන්නේමය. නාසය නිසාද ඔහුට මාරයා ළංවෙයි. මාරයා ඉඩක් ලබන්නේමය. ක්ලේශ මාරයා කාරණයක් ලබන්නේමය. දිව නිසාද ඔහුට මාරයා ළංවෙයි. මාරයා ඉඩක් ලබන්නේමය. ක්ලේශ මාරයා කාරණයක් ලබන්නේමය. කය නිසාද ඔහුට මාරයා ළංවෙයි. මාරයා ඉඩක් ලබන්නේමය. ක්ලේශ මාරයා කාරණයක් ලබන්නේමය. සිත නිසාද ඔහුට මාරයා ළංවෙයි. මාරයා ඉඩක් ලබන්නේමය. ක්ලේශ මාරයා කාරණයක් ලබන්නේමය.

’’ඇවැත්නි, යම්සේ බට සෙවිලිකළ ගෙයක් හෝ තණ සෙවිලිකළ ගෙයක් වියලුනේ දිරාගියේ බොහෝ කල් ඉක්මගියේවේද, ඉදින් පෙරදිගින්ද එයට පුරුෂයෙක් ඇවිලගත්තාවූ තණහුලක් ගෙනඑන්නේද, ගින්න ඉඩක් ලබන්නේමය. ගින්න හේතුවක් ලබන්නේය.

ඉදින් අපරදිගින්ද එයට පුරුෂයෙක් ඇවිලගත්තාවූ තණහුලක් ගෙනඑන්නේද, ගින්න ඉඩක් ලබන්නේමය. ගින්න හේතුවක් ලබන්නේය.

ඉදින් උතුරු දිගින්ද එයට පුරුෂයෙක් ඇවිලගත්තාවූ තණහුලක් ගෙනඑන්නේද, ගින්න ඉඩක් ලබන්නේමය. ගින්න හේතුවක් ලබන්නේය.

ඉදින් දකුණු දිගින්ද එයට පුරුෂයෙක් ඇවිලගත්තාවූ තණහුලක් ගෙනඑන්නේද, ගින්න ඉඩක් ලබන්නේමය. ගින්න හේතුවක් ලබන්නේය.

ඉදින් යට දිශාවෙන්ද එයට පුරුෂයෙක් ඇවිලගත්තාවූ තණහුලක් ගෙනඑන්නේද, ගින්න ඉඩක් ලබන්නේමය. ගින්න හේතුවක් ලබන්නේය.

ඉදින් උඩ දිශාවෙන්ද එයට පුරුෂයෙක් ඇවිලගත්තාවූ තණහුලක් ගෙනඑන්නේද, ගින්න ඉඩක් ලබන්නේමය. ගින්න හේතුවක් ලබන්නේය.

ඉදින් යම් කොයි දිශාවකින් හෝ එයට පුරුෂයෙක් ඇවිලගත්තාවූ තණහුලක් ගෙනඑන්නේනම්, ගින්න ඉඩක් ලබන්නේමය. ගින්න හේතුවක් ලබන්නේය.

’’ඇවැත්නි, මෙසේ වාසය කරන්නාවූද, ඒ භික්‍ෂුවට ඇස නිසාද මාරයා ළංවෙයි. මාරයා ඉඩක් ලබන්නේමය. ක්ලේශ මාරයා කාරණයක් ලබන්නේමය. කණ නිසාද ඔහුට මාරයා ළංවෙයි. මාරයා ඉඩක් ලබන්නේමය. ක්ලේශ මාරයා කාරණයක් ලබන්නේමය. නාසය නිසාද ඔහුට මාරයා ළංවෙයි. මාරයා ඉඩක් ලබන්නේමය. ක්ලේශ මාරයා කාරණයක් ලබන්නේමය. දිව නිසාද ඔහුට මාරයා ළංවෙයි. මාරයා ඉඩක් ලබන්නේමය. ක්ලේශ මාරයා කාරණයක් ලබන්නේමය. කය නිසාද ඔහුට මාරයා ළංවෙයි. මාරයා ඉඩක් ලබන්නේමය. ක්ලේශ මාරයා කාරණයක් ලබන්නේමය. සිත නිසාද ඔහුට මාරයා ළංවෙයි. මාරයා ඉඩක් ලබන්නේමය. ක්ලේශ මාරයා කාරණයක් ලබන්නේමය.

’’ඇවැත්නි, මෙසේ වාසය කරන්නාවූ භික්‍ෂුව රූපයෝ මැඩ පවත්නාහුය. භික්‍ෂුතෙම රූපයන් මැඩ පවත්වන්නේ නොවෙයි. ශබ්දයෝ භික්‍ෂුව මැඩපවත්වන්නාහුය. භික්‍ෂුතෙම ශබ්දයන් මැඩ පවත්වන්නේ නොවෙයි. ගන්‍ධයෝ භික්‍ෂුව මැඩපවත්වන්නාහුය. භික්‍ෂුතෙම ගන්‍ධයන් මැඩ පවත්වන්නේ නොවෙයි. රසයෝ භික්‍ෂුව මැඩපවත්වන්නාහුය. භික්‍ෂුතෙම රසයන් මැඩ පවත්වන්නේ නොවෙයි. ස්පර්‍ශයෝ භික්‍ෂුව මැඩපවත්වන්නාහුය. භික්‍ෂුතෙම ස්පර්‍ශයන් මැඩ පවත්වන්නේ නොවෙයි. ධර්‍මයෝ භික්‍ෂුව මැඩපවත්වන්නාහුය. භික්‍ෂුතෙම ධර්‍මයන් මැඩ පවත්වන්නේ නොවෙයි. ඇවැත්නි, මේ භික්‍ෂුතෙම රූපයන් විසින් මඬනා ලද්දේ, ශබ්දයන් විසින් මඬනා ලද්දේ, ගන්‍ධයන් විසින් මඬනා ලද්දේ, රසයන් විසින් මඬනා ලද්දේ, ස්පර්‍ශන් විසින් මඬනා ලද්දේ, ධර්‍මයන් විසින් මඬනා ලද්දේ, යටත් වූයේය. යටත් නොවූයේ නොවේයයි කියනු ලැබේ.

’’කෙළෙස් සහිතවූ නැවත උත්පත්තිය ඇතිකරන්නාවූ කෙළෙස් දාහ සහිතවූ දුක් විපාක ඇත්තාවූ මත්තෙහි ජරා මරණ දෙකට පමුණුවන්නාවූ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු යටත් කළාහුය. ඇවැත්නි, මෙසේ වනාහි කෙළෙසුන්ගෙන් තෙත්වූ පුද්ගලයෙක් වෙයි.

’’ඇවැත්නි, කෙසේනම් කෙළෙසුන්ගෙන් තෙත් නොවූ පුද්ගලයෙක්වේද, ඇවැත්නි, මේ ශාසනායහි භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි නොඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි නොකිපේද, ලොකොත්තර සිතිවිලි වලින් යුක්තව කය පිළිබඳ සිහිය ඇතිව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද, තත්වූ පරිද්දෙන් දැනගණීද,

’’කණින් ශබ්දයක් අසා ප්‍රිය ස්වභාව ඇත්තාවූ ශබ්දයෙහි නොඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ශබ්දයෙහි නොකිපෙයිද, ලොකොත්තර සිතිවිලි වලින් යුක්තව කය පිළිබඳ සිහිය ඇතිව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද, තත්වූ පරිද්දෙන් දැනගණීද,

’’නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ප්‍රිය ස්වභාව ඇත්තාවූ ගන්‍ධය කෙරෙහි නොඇලෙයිද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ගන්‍ධයෙහි නොකිපෙයිද, ලොකොත්තර සිතිවිලි වලින් යුක්තව කය පිළිබඳ සිහිය ඇතිව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද, තත්වූ පරිද්දෙන් දැනගණීද,

’’දිවෙන් රසයක් විඳ ප්‍රිය ස්වභාව ඇත්තාවූ රසයෙහි නොඇලෙයිද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ රසයෙහි නොකිපෙයිද, ලොකොත්තර සිතිවිලි වලින් යුක්තව කය පිළිබඳ සිහිය ඇතිව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද, තත්වූ පරිද්දෙන් දැනගණීද,

’’කයින් ස්පර්‍ශයක් ස්පර්‍ශකොට ප්‍රිය ස්වභාව ඇත්තාවූ ස්පර්‍ශයෙහි නොඇලෙයිද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ස්පර්‍ශයෙහි නොකිපෙයිද, ලොකොත්තර සිතිවිලි වලින් යුක්තව කය පිළිබඳ සිහිය ඇතිව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද, තත්වූ පරිද්දෙන් දැනගණීද,

’’සිතින් ධර්‍මයක් දැන ප්‍රිය ස්වභාව ඇත්තාවූ ධර්‍මයෙහි නොඇලෙයිද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ධර්‍මයෙහි නොකිපෙයිද, ලොකොත්තර සිතිවිලි වලින් යුක්තව කය පිළිබඳ සිහිය ඇතිව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද, තත්වූ පරිද්දෙන් දැනගණීද,

’’ඇවැත්නි, මේ භික්‍ෂුතෙම චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේ යයි කියනු ලැබේ. සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේ යයි කියනු ලැබේ. ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේයයි කියනු ලැබේ. ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේ යයි කියනු ලැබේ. කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේයයි කියනු ලැබේ. මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේයයි කියනු ලැබේ.

’’ඇවැත්නි, මෙසේ වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට ඇස නිසාද මාරයා ළංනොවෙයි. මාරයා ඉඩක් නොලබයි. මාරයා හේතුවක් නොලබයි. කණ නිසාද ඔහුට මාරයා ළංනොවෙයි. මාරයා ඉඩක් නොලබයි. මාරයා හේතුවක් නොලබයි. නාසය නිසාද ඔහුට මාරයා ළංනොවෙයි. මාරයා ඉඩක් නොලබයි. මාරයා හේතුවක් නොලබයි. දිව නිසාද ඔහුට මාරයා ළංනොවෙයි. මාරයා ඉඩක් නොලබයි. මාරයා හේතුවක් නොලබයි. කය නිසාද ඔහුට මාරයා ළංනොවෙයි. මාරයා ඉඩක් නොලබයි. මාරයා හේතුවක් නොලබයි. සිත නිසාද ඔහුට මාරයා ළංනොවෙයි. මාරයා ඉඩක් නොලබයි. මාරයා හේතුවක් නොලබයි.

’’ඇවැත්නි, යම්සේ ඝණ මැටි බිත්ති ඇති තෙත්වූ මැටි ආලේප කළ කුළුගෙයක් හෝ කූටාගාර ශාලාවක් හෝ ඇත්තීවේද, ඉදින් පෙරදිගින්ද එයට පුරුෂයෙක් ඇවිලගත්තාවූ තණහුලක් සහිතව පැමිණෙන්නේද, ගින්න ඉඩක් නොලබයි. ගින්න හේතුවක් නොලබයි.

’’ඉදින් අපරදිගින්ද එයට ඇවිලගත්තාවූ තණහුලක් සහිතව පැමිණෙන්නේද, ගින්න ඉඩක් නොලබයි. ගින්න හේතුවක් නොලබයි.

’’ඉදින් උතුරු දිගින්ද එයට පුරුෂයෙක් ඇවිලගත්තාවූ තණහුලක් සහිතව පැමිණෙන්නේද, ගින්න ඉඩක් නොලබයි. ගින්න හේතුවක් නොලබයි.

’’ඉදින් දකුණු දිගින්ද එයට පුරුෂයෙක් ඇවිලගත්තාවූ තණහුලක් සහිතව පැමිණෙන්නේද, ගින්න ඉඩක් නොලබයි. ගින්න හේතුවක් නොලබයි.

’’ඉදින් යට දිශාවෙන්ද එයට ඇවිලගත්තාවූ තණහුලක් සහිතව පැමිණෙන්නේද, ගින්න ඉඩක් නොලබයි. ගින්න හේතුවක් නොලබයි. ඉදින් උඩ දිශාවෙන්ද එයට පුරුෂයෙක් ඇවිල ගත්තාවූ තණ හුලක් සහිතව පැමිණෙන්නේද, ගින්න ඉඩක් නොලබයි. ගින්න හේතුවක් නොලබයි.

ඉදින් යම්කිසි දිශාවකින් හෝ එයට පුරුෂයෙක් ඇවිලගත් තණ හුලක් සහිතව පැමිණෙන්නේද, ගින්න ඉඩක් නොලබන්නේය. ගින්න හේතුවක් නොලබන්නේය.

’’ඇවැත්නි, මේ භික්‍ෂුතෙම චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේ යයි කියනු ලැබේ. සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේ යයි කියනු ලැබේ. ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේයයි කියනු ලැබේ. ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේ යයි කියනු ලැබේ. කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේයයි කියනු ලැබේ. මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේයයි කියනු ලැබේ.

’’ඇවැත්නි, මෙසේ වාසය කරන්නාවූ භික්‍ෂුතෙම රූපයන් යටපත් කෙළේය. රූපයෝ භික්‍ෂුව යටපත් නොකළාහුය. භික්‍ෂුතෙම ශබ්දයන් යටපත් කෙලේය. ශබ්දයෝ භික්‍ෂුව යටපත් නොකළාහුය. භික්‍ෂුතෙම ගන්‍ධයන් යටපත් කෙළේය. ගන්‍ධයෝ භික්‍ෂුව යටපත් නොකළාහුය. භික්‍ෂුතෙම රසයන් යටපත් කෙලේය. රසයෝ භික්‍ෂුව යටපත් නොකළාහුය. නොවෙයි. භික්‍ෂුතෙම ස්පර්‍ශයන් යටපත් කෙලේය. ස්පර්‍ශයෝ භික්‍ෂුව යටපත් නොකළාහුය. භික්‍ෂුතෙම ධර්‍මයන් යටපත් කෙළේය. ධර්‍මයෝ භික්‍ෂුව යටපත් නොකළාහුය.

’’ඇවැත්නි, මේ භික්‍ෂුතෙම රූපයන් යටපත් කළාවූ ශබ්දයන් යටපත් කළාවූ ගන්‍ධයන් යටපත් කළාවූ රසයන් යටපත් කළාවූ ස්පර්‍ශන් යටපත් කළාවූ ධර්‍මයන් යටපත් කළාවූ අභිභවනය කලාවූ අභිභවනය නොකරන ලද්දාවූ පුද්ගලයායයි කියනු ලැබේ. කෙළෙස් සහිතවූ නැවත උත්පත්තිය ගෙනදෙන්නාවූ කෙළෙස් දාහ සහිතවූ දුක් විපාක ඇත්තාවූ මත්තෙහි ජාති ජරා මරණ ඇත්තාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයන් මැඩපැවැත්වූයේය. ඇවැත්නි, මෙසේ වනාහි කෙළෙසුන්ගෙන් තෙත් නොවූවෙක් වේයයි වදාළේය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ නැගිට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළසේක. ,මොග්ගල්ලානය, යහපත, යහපත, මොග්ගල්ලානය නුඹ භික්‍ෂූන්ට කෙළෙසුන්ගෙන් තෙත්වන ආකාරයද කෙළෙසුන්ගෙන් තෙත් නොවන ආකාරයද කීයේය ඒ යහපති., ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම මෙය ප්‍රකාශ කෙළේය. ශාස්තෲන් වහන්සේ අනුමතකළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේගේ කීම සතුටින් පිළිගත්තාහුය.