සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

19. ආසිවිස වර්‍ගය

7. දුක්ඛධම්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂුතෙම සියලුම දුක්ඛ ධර්‍මයන්ගේ හටගැණීමද, දුරුවීමද තත්වූ පරිද්දෙන් දැනගණීද, යම් ආකාරයකින් කාමයන් දක්නාවු ඔහුට කාමයන් කෙරෙහි යම් කාම ආශාවක් කාම ස්නේහයක් කාම මුර්ඡාවක් කාම දාහයක් කාමච්ඡන්‍දයක් වේනම් එය නොපවත්නේද ඒ ආකාරයෙන් කාමයෝ දක්නා ලද්දාහු වෙත්. යම් ආකාරයකින් හැසිරෙන්නහුට වසන්නහුට විෂම ලොභ දොම්නස් යන ලාමක අකුසල ධර්‍මයෝ නැවත නැවත වහනය නොවෙත්ද, ඔහු විසින් ඒ ආකාරයෙන් විසීමද හැසිරීමද අවබෝධ කරණ ලද්දේ වෙයි.

’’මහණෙනි, කෙසේනම් භික්‍ෂුතෙම සියලුම දුක්ඛ ධර්‍මයන්ගේ හටගැනීමද විනාශයද තත්වූ පරිද්දෙන් දැනගනීද, රූපය මෙසේය, රූපයාගේ හටගැනීම මෙසේය, රූපයාගේ විනාශය මෙසේය, වේදනාව මෙසේය, වේදනාවගේ හටගැනීම මෙසේය, වේදනාවගේ විනාශය මෙසේය, සංඥාව මෙසේය, සංඥාවේ හටගැනීම මෙසේය, සංඥාවේ විනාශය මෙසේය, සංස්කාරයෝ මෙසේය, සංස්කාරයන්ගේ හටගැනීම මෙසේය, සංස්කාරයාගේ විනාශය මෙසේය, විඤ්ඤාණය මෙසේය, විඤ්ඤාණයාගේ හටගැනීම මෙසේය, විඤ්ඤාණයාගේ විනාශය මෙසේය කියායි, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම සියලුම දුකඛ ධර්‍මයන්ගේ හටගැනීමද, විනාශයද, තත්වූ පරිද්දෙන් දැනගනියි.

’’මහණෙනි, යම් ආකාරයකින් කාමයන් දක්නාවූ ඔහුට කාමයන්හි යම් කාම ආශාවක් කාම ස්නේහයක් කාම මුර්ඡාවක් කාම දාහයක් වේද, එය නැවත නැවත නොපවතියිද, මහණෙනි, ඔහු විසින් ඒ ආකාරයෙන් කාමයෝ දක්නා ලද්දාහුද? මහණෙනි, යම්සේ ගිණිදළු නැති දුම් නැති ගිණි අඟුරු වලින් පිරුණාවූ පුරුෂයෙකුගේ උසට වැඩියෙන් ගැඹුරුවූ ගිණි අඟුරු වලක් වේද, ඉක්බිති ජීවත්වනු කැමැත්තාවූ නොමැරෙණු කැමැත්තාවූ සැප කැමැත්තාවූ දුක් පිළිකුල් කරන්නාවූ පුරුෂයෙක් එන්නේද ශක්තිමත්වූ පුරුෂයෝ දෙදෙනෙක් ඔහු වෙනවෙනම අත්වලින් අල්වා ඒ අඟුරු වළට අදින්නාහුද, හෙතෙම එසේද මෙසේද ශරීරය නමන්නේය. ඊට හේතු කවරේද, මහණෙනි, ඒ පුරුෂයා විසින් මම මේ අඟුරු වළට වැටෙන්නෙම්ද, ඒ හේතුවෙන් මරණයට හෝ මරණය තරම් දුකට හෝ පැමිණෙමියි, දැනගන්නා ලද්දේ වෙයි.

’’මහණෙනි, එපරිද්දෙන්ම භික්‍ෂුව විසින් අඟුරු වළට උපමා ඇත්තාවූ කාමයෝ දක්නා ලද්දාහු වෙත්. යම්සේ කාමයන් දක්නාවූ ඔහුට ඔහුට කාමයන්හි යම් කාමාශාවක් කාම ස්නේහයක් කාම මුර්ඡාවක් කාම දාහයක් වේද, එය නැවත නැවත නොපවතියිද එසේ ඒ භික්‍ෂුව විසින් අඟුරු වළකට උපමා ඇති කාමයෝ දක්නා ලදහ.

’’මහණෙනි, යම්සේ හැසිරෙන්නහුට වාසය නරන්නහුට විෂම ලොභ දොම්නස් යන ලාමකවූ අකුසල ධර්‍මයෝ නැවත නැවත වහනය නොවෙත්ද, ඒ ආකාරයෙන් හැසිරීමද විසීමද කෙසේනම් අවබෝධ කරණ ලද්දේද? මහණෙනි, යම්සේ පුරුෂයෙක් බොහෝ කටු ඇති වනයකට ප්‍රවිෂ්ට වන්නේද, ඔහුගේ ඉදිරියෙන් කටු ඇත්තේ පිටුපසින්ද කටු ඇත්තේ උතුරෙන්ද කටු ඇත්තේ දකුණෙන්ද කටු ඇත්තේ යට දිසාවෙන්ද කටු ඇත්තේ උඩ දිශාවෙන්ද කටු ඇත්තේවේද, හෙතෙම කටු නොඇනේවායි සිහියෙන් යුක්තව පස්සට යන්නේද, මහණෙනි, එසේම ලෝකයෙහි යමක් ප්‍රිය ස්වභාව ඇත්තේද, එය ආර්‍ය්‍ය විනයෙහි කටුයයි කියනු ලැබේ. මෙසේ එය කටුයයි දැන සංවරයද අසංවරයද දත යුතුයි.

’’මහණෙනි, කෙසේනම් අසංවරය වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැන නොගණීද,

කණින් ශබ්දයක් අසා ප්‍රිය ස්වභාව ඇත්තාවූ ශබ්දයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ශබ්දයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැන නොගණීද,

නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට ප්‍රිය ස්වභාව ඇත්තාවූ ගන්‍ධයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ගන්‍ධයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැන නොගණීද,

දිවෙන් රසයක් විඳ ප්‍රිය ස්වභාව ඇත්තාවූ රසයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ රසයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැන නොගණීද,

කයින් ස්පර්‍ශයක් කොට ප්‍රිය ස්වභාව ඇත්තාවූ ස්පර්‍ශයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ස්පර්‍ශයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැන නොගණීද,

සිතින් ධර්‍මයක් දැන ප්‍රිය ස්වභාව ඇත්තාවූ ධර්‍මයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ධර්‍මයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැන නොගණියිද මහණෙනි, මෙසේ වනාහි අසංවරය වේ.

’’මහණෙනි, කෙසේනම් සංවරය වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි නොඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි නොකිපේද, එළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ ලොකොත්තර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැනගණීද,

කණින් ශබ්දයක් අසා ප්‍රිය ස්වභාව ඇත්තාවූ ශබ්දයෙහි නොඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ශබ්දයෙහි නොකිපේද, එළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ ලොකොත්තර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැනගණීද,

නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට ප්‍රිය ස්වභාව ඇත්තාවූ ගන්‍ධයෙහි නොඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ගන්‍ධයෙහි නොකිපේද, එළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ ලොකොත්තර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැනගණියිද, දිවෙන් රසයක් විඳ ප්‍රිය ස්වභාව ඇත්තාවූ රසයෙහි නොඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ රසයෙහි නොකිපේද, එළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ ලොකොත්තර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැනගණීද,

කයින් ස්පර්‍ශයක් කොට ප්‍රිය ස්වභාව ඇත්තාවූ ස්පර්‍ශයෙහි නොඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ස්පර්‍ශයෙහි නොකිපේද, එළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ ලොකොත්තර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැනගණීද,

සිතින් ධර්‍මයක් දැන ප්‍රිය ස්වභාව ඇත්තාවූ ධර්‍මයෙහි නොඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ධර්‍මයෙහි නොකිපේද, එළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ ලොකොත්තර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැනගණියිද මහණෙනි, මෙසේ වනාහි සංවරය වේ.

’’මහණෙනි, ඉදින් මෙසේ හැසිරෙන්නාවූ මෙසේ වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවහට කිසියම් කළෙක සිහි මුළාවීම හේතුකොටගෙන (මාන) සංයෝජන නම් ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, මහණෙනි, සිහිය ඉපදීම ප්‍රමාද වෙයි. (සිහිය ඉපදීමත් සමගම) එකල්හි එය වහාම දුරු කෙරෙයි. විනාශයට පමුණුවයි.

’’මහණෙනි, යම්සේ පුරුෂයෙක්තෙම දවසක් රත්වූ යකඩ තලියෙහි දෙකක් හෝ තුනක් හෝ දිය බින්දු වැටෙන්නේද, මහනෙනි, දිය බින්දු වැටීම ප්‍රමාද වේ (වැටීමත් සමගම) එකල්හි එය වහාම ක්‍ෂයවීමට වියලීමට යන්නේය. මහණෙනි, එමෙන්ම ඉදින් මෙසේ හැසිරෙන්නාවූ මෙසේ වාසය කරන්නාවූ ඒ භික්‍ෂුහට කිසියම් කලෙක සිත මුළාවීම හේතුකොටගෙන (මාන) සංයෝජන නම් ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, මහණෙනි, සිහිය ඉපදීම ප්‍රමාදය. ඉක්බිති එය වහාම දුරු කරයි. ඉවත් කරයි. කෙළවර කරයි. විනාශයට පමුණුවයි. මහණෙනි, යම්සේ හැසිරෙන්නාවූ වාසය කරන්නාවූ ඔහුට විෂම ලොභ දොම්නස් යන ලාමකවූ අකුසල ධර්‍මයෝ නැවත නැවතත් වහනය නොවෙත්ද, එසේ වනාහි භික්‍ෂුහුගේ හැසිරීමද වාසය කිරීමද අවබොධ කරණ ලද්දේ වෙයි.

’’මහණෙනි, ඉදින් මෙසේ හැසිරෙන්නාවූ මෙසේ වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට රජවරු හෝ රාජමහාමාත්‍යවරු හෝ මිත්‍රයෝ හෝ ඇමතියෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ සම්පත්වලින් සතුටුවීමට පවරන්නාහුද, ‘පින්වත් පුරුෂය, මෙසේ කුමකට නුඹ විසින් මේ කසා වස්ත්‍ර වැළඳගන්නා ලද්දාහුද, කුමකට හිස මුඩුකොට කබලක්ගෙන හැසිරෙන්නෙහිද, එව, ගිහි බවට පැමිණ සම්පත්ද අනුභව කරව පින්ද කරව කියායි. මහණෙනි, මෙසේ හැසිරෙන්නාවූ මෙසේ වාසය කරන්නාවූ ඒ භික්‍ෂුතෙම ඒකාන්තයෙන් ශික්‍ෂාව අත්හැර ගිහිබවට පෙරළෙන්නේය, යන මේ කාරණයට හේතු නැත.

’’මහණෙනි, යම්සේ ගංගානම් නදිය නැගෙනහිර දිගට නැමුනී නැගෙනහිර දිගට නැඹුරුව යන්නී නැගෙනහිර දිගට බරව ඇත්තීවේද, ඉක්බිති මහා ජන සමූහයක් උදලු හා කූඩාගෙන අපි මේ ගංගානම් ගඟ බස්නාහිර දිගට නැමීම ඇත්තක් බස්නාහිර දිගට නැඹුරුව යන්නක් බස්නාහිර දිගට බරවූවක් කරන්නෙමුයි, එන්නේය. මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද, කිම මහජන සමූහයා ගංගානම් ගඟ බස්නාහිර දිගට නැමීම ඇත්තක් බස්නාහිර දිගට නැඹුරුව බසින්නක්, බස්නාහිර දිගට බරවූවක් කරන්නේද?, ,ස්වාමීනි, එය නොවේමැයි.,

’’ඊට හේතු කවරේද?, ,ස්වාමීනි, ගංගානම් ගඟ පෙරදිගට නැමීම ඇත්තී පෙරදිගට නැඹුරුව යන්නී පෙරදිගට බරවීම ඇත්තී වේ. එය අපරදිගට නැමීම ඇත්තක් අපරදිගට නැඹුරුව බසින්නක් අපරදිගට බරවූවක් කරන්නට පහසු නොව්. ඒ මහජන සමූහයා ක්ලාන්තයට වෙහෙසට පත්වීම පමණක් වන්නේය.,

’’මහණෙනි, එපරිද්දෙන්ම මෙසේ හැසිරෙන්නාවූ මෙසේ වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවටද රජවරු හෝ රජ මහ ඇමතියෝ හෝ මිත්‍රයෝ හෝ අමාත්‍යයෝ හෝ ඥාතීහු හෝ සහලේ නෑයෝ හෝ සම්පත්වලින් සතුටුවන්නට පවරන්නාහුය. ‘පින්වත් පුරුෂය, මෙසේ කුමකට නුඹ විසින් මේ කසට වත් වැළඳගන්නා ලද්දාහුද, කුමකට හිස මුඩුකොට කබලක්ගෙණ හැසිරෙන්නෙහිද, එව, ගිහි බවට පෙරලී සම්පත්ද අනුභව කරව පින්ද කරව’යි කියායි. මහණෙනි, ඒ භික්‍ෂුතෙම වනාහි මෙසේ හැසිරෙන්නේ මෙසේ වාසය කරන්නේ ශික්‍ෂාව හැරදමා ගිහිබවට පැමිණෙන්නේය, යන මේ කාරණයට හේතු නැත්තේය. ඊට හේතු කවරේද, මහණෙනි, යම් ඒ සිතක් බොහෝ කලක් විවේකයට නැමී විවේකයට හැරී විවේකයට බරව පවත්නේද එසේ ගිහිබවවට පෙරළෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන නොවේයයි, (වදාළසේක.)