සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

6. අවිජ්ජා වර්‍ගය

1. අවිජ්ජා සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

’’ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ අවිද්‍යාව (චතුරාර්‍ය්‍ය සත්‍යය නොදැනීම) දුරුවේද? විද්‍යාව (අර්හත් මාර්‍ග ඥානය) උපදීද?’’

’’මහණ, ඇස අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රූපයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.

’’මහණ, කණ අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.

’’මහණ, නාසය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ගන්‍ධයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.

’’මහණ, දිව අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රසයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.

’’මහණ, කය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ස්පර්‍ශයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.

’’මහණ, සිත අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදීය’’ යි වදාළ සේක.