සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

7. මිගජාල වර්‍ගය

8. උපවාණ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක.

ඉක්බිති ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එකත් පසක උන්නාවූ ආයුෂ්මත් උපවාණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමීනි, ධර්‍මය සන්‍දිට්ඨිකයයි (මේ ආත්මයේම ලැබිය යුතු ඵල ඇත්තේයයි) කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ධර්‍මය සන්‍දිට්ඨික වේද, අකාලික වේද (කල් නොයවා දෙන විපාක ඇත්තේද), එහිඵස්සික වේද (එව, බලව යන විධියට සුදුසු වේද), ඕපනයික වේද (තමා කෙරෙහි පමුණුවා ගතයුතු වේද), නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් විසින් දත යුතු වේද?’’

’’උපවාණය, මෙහි මහණ තෙම ඇසින් රූපය දැක, රූපය දැන ගත්තේද වෙයි. රූප රාගය දැන ගත්තේද වෙයි. අධ්‍යාත්මය තුළ ඇත්තාවූ රාගය, ’මාගේ අධ්‍යාත්මය තුළ රූපයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගණියි. උපවාණය, මහණතෙම ඇසින් යම් ඒ රූපයක් දැක රූපය දැනගත්තේද, යම් රූප රාගයක් දැන ගත්තේද, අධ්‍යාත්මය තුළ ඇත්තාවූ, රූපයන්හි ඇලෙන යම් රාගයක්, ’මාගේ අධ්‍යාත්මය තුළ රූපයන්හි ඇලෙන රාගය ඇත්තේය, යි දැනගණියිද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.’’

’’උපවාණය, මෙහි මහණ තෙම කණින් ශබ්දය දැන, ශබ්දය දැන ගත්තේද වෙයි. ශබ්ද රාගය දැන ගන්නේද වෙයි. අධ්‍යාත්මය තුළ ඇත්තාවූ රාගය, ’මාගේ අධ්‍යාත්මය තුළ ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගණියි. උපවාණය, මහණතෙම කණින් යම් ඒ ශබ්දයක් දැක ශබ්දය දැනගත්තේද, යම් ශබ්ද රාගයක් දැන ගන්නේද, අධ්‍යාත්මය තුළ ඇත්තාවූ, ශබ්දන්හි ඇලෙන යම් රාගයක්, මාගේ අධ්‍යාත්මය තුළ ශබ්දයන්හි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගණියිද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.’’

’’උපවාණය, මෙහි මහණ තෙම නාසයෙන් ගන්ධය දැක, ගන්ධය දැන ගත්තේද වෙයි. ගන්ධ රාගය දැන ගත්තේද වෙයි. අධ්‍යාත්මය තුළ ඇත්තාවූ රාගය, ’මාගේ අධ්‍යාත්මය තුළ ගන්ධයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගණියි. උපවාණය, මහණතෙම නාසයෙන් යම් ඒ ගන්ධයක් දැක ගන්ධය දැනගත්තේද, යම් ගන්ධ රාගයක් දැන ගන්නේද, අධ්‍යාත්මය තුළ ඇත්තාවූ, ගන්ධන්හි ඇලෙන යම් රාගයක්, මාගේ අධ්‍යාත්මය තුළ ගන්ධයන්හි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගණියිද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.’’

’’උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම දිවෙන් රසය විඳ, රසය දන්නේ වෙයි. රස රාගය දන්නේද වෙයි. තමා තුළ ඇත්තාවූ රසයන්හි ඇලෙන රාගයද, ’මාගේ අධ්‍යාත්මය තුළ රසයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගණියි. උපවානය, මහණතෙම දිවෙන් යම් ඒ රසයක් විඳ රස දන්නේද, යම් ඒ රස රාගයක් දන්නේ වේද, තමා තුළවූ රසයන්හි ඇලෙන රාගය, ’මාගේ අධ්‍යාත්මය තුළ රසයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගණියිද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වෙයි.’’

’’උපවාණය, මෙහි මහණ තෙම කයින් ස්පර්‍ශය දැක, ස්පර්‍ශය දැන ගන්නේද වෙයි. ස්පර්‍ශ රාගය දැන ගන්නේද වෙයි. අධ්‍යාත්මය තුළ ඇත්තාවූ රාගය, ’මාගේ අධ්‍යාත්මය තුළ ස්පර්‍ශයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගණියි. උපවාණය, මහණතෙම කයින් යම් ඒ ස්පර්‍ශයක් දැක ස්පර්‍ශය දැන ගන්නේද, යම් ස්පර්‍ශ රාගයක් දැන ගන්නේද, අධ්‍යාත්මය තුළ ඇත්තාවූ ස්පර්‍ශයන්හි ඇලෙන යම් රාගයක්, ’මාගේ අධ්‍යාත්මය තුළ ස්පර්‍ශයන්හි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගණියිද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වෙයි.’’

’’උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සිතින් ධර්‍මය දැන, ධර්‍මය දන්නේද වෙයි. ධර්‍ම රාගය දන්නේද වෙයි. තමා තුළ ඇති ධර්‍මයන් කෙරෙහි ඇලෙන රාගය, ’මාගේ අධ්‍යාත්මය තුළ ධර්‍මයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගණියි. උපවාණය, මහණතෙම සිතින් යම් මේ ධර්‍මයක් දැන ධර්‍ම දන්නේ වේද, ධර්‍ම රාගය දන්නේත් වේද, තමා තුළ ඇති ධර්‍මයන් කෙරෙහි ඇලෙන රාගය, ’මාගේ අධ්‍යාත්මය තුළ ධර්‍මයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගන්නේද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වෙයි.’’

’’උපවාණය, මෙහි මහණ තෙම ඇසින් රූපය දැක, රූපය දන්නේම වේ. රූප රාගය දන්නේ නොවේ. තමා තුළ නැත්තාවූ රූපයන් කෙරෙහි ඇලෙන රාගය, ’මාගේ අධ්‍යාත්මය තුළ රූපයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැනගණියි. උපවාණය, මහණතෙම ඇසින් යම් ඒ රූපයක් දැක රූපය දන්නේම වේද, රූප රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ, රූපයන් කෙරෙහි ඇලෙන රාගය, ’මාගේ අධ්‍යාත්මයෙහි රූපයන් කෙරහි ඇලෙන රාගය නැත්තේයයි දැනගණියි, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.’’

’’උපවාණය, මෙහි මහණ තෙම කණින් ශබ්දය අසා, ශබ්දය දන්නේම වේ. ශබ්ද රාගය දන්නේ නොවේ. තමා තුළ නැත්තාවූ ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය, ’මාගේ අධ්‍යාත්මය තුළ ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැන ගණියි. උපවාණය, මහණතෙම කණින් යම් ඒ ශබ්දයක් දැන ශබ්දය දන්නේම වේද, ශබ්ද රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ, ශබ්දන් කෙරෙහි ඇලෙන රාගය, මාගේ අධ්‍යාත්මයෙහි ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැනගණියි. උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.’’

’’උපවාණය, මෙහි මහණ තෙම නාසයෙන් ගන්‍ධය දැන, ගන්‍ධය දන්නේම වේ. ගන්‍ධ රාගය දන්නේ නොවේ. තමා තුළ නැත්තාවූ ගන්‍ධයන් කෙරෙහි ඇලෙන රාගය, ’මාගේ අධ්‍යාත්මය තුළ ගන්‍ධයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැනගණියි. උපවාණය, මහණතෙම නාසයෙන් යම් ඒ ගන්‍ධයක් දැන ගන්‍ධය දන්නේම වේද, ගන්‍ධ රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ, ගන්‍ධයන් කෙරෙහි ඇලෙන රාගය, ’මාගේ අධ්‍යාත්මයෙහි ගන්‍ධයන් කෙරහි ඇලෙන රාගය නැත්තේයයි දැනගණියි, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.’’

’’උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම දිවෙන් රසය විඳ, රස දන්නේ වේද. රස රාගය නොදන්නේ වේද. අධ්‍යාත්මය තුළ නැති රස රාගය, මා තුළ නැති රසයන් කෙරෙහි රාගය නැත්තේය’ යි දැනගණියි. උපවාණය, මහණතෙම දිවෙන් යම් ඒ රසයක් දැන රසය දන්නේම වේද, රස රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ, රසයන් කෙරෙහි ඇලෙන රාගය, ’මාගේ අධ්‍යාත්මයෙහි රසයන් කෙරහි ඇලෙන රාගය නැත්තේයයි දැනගණියි, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.’’

’’උපවාණය, මෙහි මහණ තෙම කයින් ස්පර්‍ශය දැන, ස්පර්‍ශය දන්නේම වේ. ස්පර්‍ශ රාගය දන්නේ නොවේ. තමා තුළ නැත්තාවූ ස්පර්‍ශයන් කෙරෙහි ඇලෙන රාගය, ’මාගේ අධ්‍යාත්මය තුළ ස්පර්‍ශයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැන ගණියි. උපවාණය, මහණතෙම කයින් යම් ඒ ස්පර්‍ශයක් දැන ස්පර්‍ශය දන්නේම වේද, ස්පර්‍ශ රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ ස්පර්‍ශයන් කෙරෙහි ඇලෙන රාගය ’මාගේ අධ්‍යාත්මයෙහි ස්පර්‍ශයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැනගණියි. උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.’’

’’උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සිතින් ධර්‍මයන් දැන, ධර්‍මය දන්නේ වේ. ධර්‍ම රාගය නොදන්නේ වේ. තමා තුළ නැති ධර්‍මයන් කෙරෙහි රාගය, මා තුළ ධර්‍මයන් කෙරෙහි රාගය නැත්තේය’ යි දැන ගණියි. උපවාණය, මහණතෙම සිතින් යම් ඒ ධර්‍මයක් දැන ධර්‍ම දන්නේ වේද, ධර්‍ම රාගය නොදන්නේ වේද, තමා තුළ නැති ධර්‍මයන් කෙරෙහි රාගය, මා තුළ ධර්‍මයන් කෙරෙහි රාගය නැත්තේය’ යි දැනගනියි. උපවාණය, මෙසේද වනාහි ධර්‍මය සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේයයි.’’ වදාළ සේක.