සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

9. ඡන්න වර්‍ගය

4. ඡන්න සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙමේද ගිජුකුළුපව්වෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙම හටගත් ආබාධ ඇත්තේ දුකින් පෙළුණේ දැඩි ගිලන් වූයේ වේ.

ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම සවස් වේලෙහි විවේකයෙන් නැගී සිටියේ ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන්ට ,ඇවැත් චුන්‍දය, ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද, එහි අසනීප බැලීම සඳහා යමුයි, කීය. ,ඇවැත්නි එසේයයි, කියා ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට උත්තර දුන්නේය.

ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ පනවන ලද ආසනයෙහි ඉඳගත්හ. ඉඳගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ගෙන්, ‘ඇවැත් ඡන්නය, කිමෙක්ද, ඔබට ඉවසිය හැක්කේද? කිම යැපිය හැක්කේද? කිම දුක් වේදනාවෝ අඩු වෙත්ද, වැඩි නොවෙත්ද, අඩුවන බවක් පෙනේද, වැඩිවන බවක් නොපෙනේදැයි’ ඇසීය.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ බලවත් පුරුෂයෙක් සියුම්වූ විදින කටුවෙන් හිස් මුදුන විදින්නේද, ඇවැත්නි එපරිද්දෙන්ම බලවත්වූ වාතයෝ හිස පහරත්.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අ ඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ බලවත් පුරුෂයෙක් දැඩිවූ වර පටකින් හිසෙහි හිස් වෙළුමක් දෙන්නේද, ඇවැත්නි, එපරිද්දෙන්ම මාගේ හිසෙහි වේදනාවෝ බලවත්ය.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ දක්‍ෂවූ ගවයන් මරන්නෙක් ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ තියුණුවූ ගෙරි කපන කැත්තෙන් කුස කපන්නේද, ඇවැත්නි එපරිද්දෙන්ම බලවත්වූ වාතයෝ කුස කපත්.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ බලවත්වූ පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුර්‍වලවූ පුරුෂයෙකු වෙන වෙනම අත්වලින් අල්ලාගෙන ගිනි අඟුරු වලෙක්හි තවන්නාහුද, ඇවැත්නි, එපරිද්දෙන්ම සිරුරෙහි බලවත්වූ දැවිල්ලක් වේ.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවීමක් නොපෙනේ. ආයුෂ්මත්වූ ශාරිපුත්‍රය, ආයුධයකින් දිවි තොර කරගන්නෙමි.ජීවිතය බලාපොරොත්තු නොවෙමියි, කීයේය.

’’ආයුෂ්මත් ඡන්නතෙමේ ආයුධයකින් දිවි තොරකර නොගනීවා, ආයුෂ්මත් ඡන්නතෙමේ ජීවත් වේවා අපි ජීවත්වන්නාවූ ඡන්නයන් (දැකීමට) කැමති වෙමු. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ ආහාර නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසුවූ ආහාර සපයා දෙන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ බෙහෙත් නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසුවූ බෙහෙත් සපයා දෙන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ උපස්ථායකයෝ නැතිනම් මම ආයුෂ්මත් ඡන්න සථවිරයන්ට උපස්ථාන කරන්නෙමි. ආයුෂ්මත් ඡන්න තෙමේ ආයුධයකින් දිවි තොරකර නොගණිවා. ආයුෂ්මත් ඡන්න තෙමේ ජීවත් වේවා. අපි ජීවත්වන්නාවූ ආයුෂ්මත් ඡන්නයන් (දැකීමට) කැමැත්තෙමුයි, කීය.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට සුදුසු වූ ආහාර නැත්තේ නොවේ. මට සුදුසුවූ ආහාර ඇත. මට සුදුසු වූ බෙහෙත් නැත්තේ නොවේ. මට සුදුසුවූ බෙහෙත්ද ඇත. මට සුදුසු වූ උපස්ථායකයෝ නැත්තාහුද නොවෙත්. මට සුදුසුවූ උපස්ථායකයෝද ඇත්තාහ. ඇවැත්නි, එතකුදු වුවත් මා විසින් ශාස්තෲන් වහන්සේ බොහෝ කලක් කායකර්‍මාදියෙන්ම ඇසුරු කරණ ලදී. අයහපත්වූ කායකර්‍මාදියෙන් ඇසුරු නොකරණ ලදී. ඇවැත්නි, යහපත්වූ කායකර්‍මාදියෙන් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන්නේය. අයහපත්වූ කායකර්‍මාදියෙන් ඇසුරු නොකරන්නේය යන යමක් වේද, ඒ වනාහි ශ්‍රාවකයාහට සුදුසු වේ. ඇවැත් ශාරීපුත්‍රයෙනි, ඡන්න භික්‍ෂුතෙම නැවත ප්‍රතිසන්‍ධියක් නැත්තාවූ ආයුධයකින් දිවි තොරකර ගැනීමක් කරන්නේය යන මේ කාරණය මෙසේ දරණු මැනවැයි, කීය.

’’ඉදින් ආයුෂ්මත් ඡන්න තෙමේ ප්‍රශ්න ඇසීමට අවකාශ කෙරේනම් අපි ආයුෂ්මත් ඡන්නයන්ගෙන් කිසියම් කරුණක් විචාරන්නෙමු., ,ඇවැත් ශාරිපුත්‍රයෙනි, අසනු මැනව, අසා දැනගන්නෙමියි, ඇවැත් ඡන්නය, ඇස, චකඛු විඤ්ඤාණය, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?

’’ඇවැත් ශාරිපුත්‍රයෙනි, අසනු මැනව, අසා දැනගන්නෙමියි,

’’ඇවැත් ඡන්නය, ඇස, චකඛු විඤ්ඤාණය, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?

’’ඇවැත් ඡන්නය, කණ, සෝත විඤ්ඤාණය, සොත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?

’’ඇවැත් ඡන්නය, නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?

’’ඇවැත් ඡන්නය, දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?

’’ඇවැත් ඡන්නය, කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?

’’ඇවැත් ඡන්නය, සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?,

’’ඇවැත් ශාරීපුත්‍රය, ඇස, චක්ඛු විඤ්ඤාණය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

’’ ඇවැත් ශාරීපුත්‍රය, කණ, සෝත විඤ්ඤාණය, සොත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි. ,ඇවැත් ශාරීපුත්‍රය, නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

’’ඇවැත් ශාරීපුත්‍රය, දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

’’ඇවැත් ශාරීපුත්‍රය, කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

’’ඇවැත් ඡන්නය, සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

’’ඇවැත්වූ ඡන්නය, ඇසෙහි, චකඛු විඤ්ඤාණයෙහි, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන ඇස, චකඛු විඤ්ඤාණය, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද,

’’ඇවැත්වූ ඡන්නය, කණෙහි, සෝත විඤ්ඤාණයෙහි, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන කණ, සෝත විඤඤාණය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද,

’’ඇවැත්වූ ඡන්නය, නාසයෙහි, ඝාණ විඤ්ඤාණයෙහි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද,

’’ඇවැත්වූ ඡන්නය, දිවෙහි, ජිව්හා විඤ්ඤාණයෙහි, ජිව්හා විඤඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද,

’’ඇවැත්වූ ඡන්නය, කයෙහි, කාය විඤ්ඤාණයෙහි, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද,

’’ඇවැත්වූ ඡන්නය, සිතෙහි, මනෝ විඤ්ඤාණයෙහි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිදැයි ඇසූහ.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, ඇසෙහි, චක්ඛු විඤ්ඤාණයෙහි, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන ඇස, චක්ඛු විඤ්ඤාණය, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, කණෙහි, සෝත විඤ්ඤාණයෙහි, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන කණ, සෝත විඤ්ඤාණය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, නාසයෙහි, ඝාණ විඤ්ඤාණයෙහි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, දිවෙහි, ජිව්හා විඤ්ඤාණයෙහි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, කයෙහි, කාය විඤ්ඤාණයෙහි, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමියි කීයේය. ,ඇවැත් ශාරීපුත්‍රයෙනි, සිතෙහි, මනෝ විඤ්ඤාණයෙහි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමියි, කීයේය.

මෙසේ කී කල්හි ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරතෙම ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට මෙසේ කීය. ,ඇවැත් ඡන්නය, එසේනම් මෙහිදී ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ අනුශාසනයද නිරන්තරයෙන් මනාකොට මෙනෙහි කටයුතුයි. තෘෂ්ණාදිය ඇසුරුකළහුගේ කම්පාවීම ඇසුරු නොකළහුට කම්පාවීමක් නැත. කම්පා වීමක් නැතිකල්හි ඇලීම ඇතිනොවේ. ඇලීම නැති කල්හි ප්‍රතිසන්‍ධි වශයෙන් ඊමක් හෝ චුති වශයෙන් යාමක් හෝ නැත. ඊමක් හෝ යාමක් නැති කල්හි චුත වීමක් හෝ ඉපදීමක් හෝ නැත. චුතිය හා උත්පත්තිය නැති කල්හි මෙලොවද නැත පරලොවද නැත. දෙලොවම නැත. මෙයම දුක්ඛයාගේ කෙළවර වේය., යන අනුශාසනාවයි.

ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙමේද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට මේ අවවාදයෙන් අවවාද කොට හුනස්නෙන් නැගිට ගියාහුය.

ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරතෙම ඒ ආයුෂ්මතුන් වහන්සේලා බැහැර ගියාවූ නොබෝ කල්හි ආයුධයකින් බෙල්ල කපාගත්තේය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය.

’’සවාමීනි, ආයුෂ්මත් ඡන්න සථවිරයන් විසින් ආයුධයකින් දිවි තොර කරගන්නා ලදී. ඔහුගේ ගතිය කවරීද පරලොව කවරේද?,

’’ශාරීපුත්‍රය, තොපට ඡන්න භික්‍ෂුව විසින් ඉදිරියෙහිදීම නැවත උත්පත්තියක් නැතිබව ප්‍රකාශ කරණ ලද්දේ නොවේද?, ,ස්වාමීනි, පුබ්බවිචිර නම් වජ්ජි ග්‍රාමයක් ඇත්තේය. එහි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ගේ මිත්‍රවූ කුලයෝ යහළුවූ කුලයෝ එළඹිය යුතු කුලයෝ වෙත්යයි, කීය.

’’ශාරීපුත්‍රය, ඡන්න භික්‍ෂූහුගේ මේ මිත්‍රවූ කුලයෝ යහළුවූ කුලයෝ එළඹිය යුතු කුලයෝ වෙත්මැයි, ශාරීපුත්‍රය, මම මෙතෙකින් එළඹිය යුතුයයි නොකියමි. ශාරීපුත්‍රය, යමෙක් වනාහි මේ කය බහා තබාද, අනික් කයක් ගනීද, මම ඔහු එළඹිය යුත්තෙකැයි කියමි. එය ඡන්න භික්‍ෂූහුට නැත්තේය. ඡන්න භික්‍ෂුව විසින් නැවත ඉපදීමක් නැති ආයුධයකින් දිවි තොර නරගැනීම කරණ ලද්දේයයි, ශාරීපුත්‍රය, මෙය මෙසේ දරවයි, දවාළ සේක.