සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

9. ඡන්න වර්‍ගය

9. ද්වය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ‘කලන්‍දක නිවාප’ නම්ලත් වේළු (උණ) වනයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, තොපට දෙකක් දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, කවරනම් දෙකක්ද යත්, ඇසද රූපයෝද, කණද ශබ්දයෝද, නාසයද ගන්‍ධයෝද, දිවද රසයෝද, කයද ස්පර්‍ශයෝද, සිතද ධර්‍මයෝද වෙත්. මහණෙනි, මෙය දෙකයයි කියනු ලැබේ.

’’මහණෙනි, යමෙක් මම මේ දෙක අත්හැර අනික් දෙකක් දක්වන්නෙමියි කියන්නේ නම් ඔහුගේ කීම වචනයක් පමණක් වන්නේය. අසන ලද්දේද පිළිතුරකට නොපැමිණෙන්නේය. වඩාත් වෙහෙසට පැමිණෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, විෂය නොවූවක් යම්සේද, එමෙනැයි, වදාළ සේක.