සංයුත්තනිකායො

සගාථ වර්ගය

4. මාර සංයුත්තය

1. පළමු ( ආයු ) වග

1. තපොකම්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කාලයෙහි ( බුදුවූ අළුතම ) උරුවේලා ජනපදයෙහි නෙරංජරා ගං ඉවුරෙහි අජපාල නුගරුක මුල වෙසෙන සේක.

එකල වනාහි හුදකලාව චිත්ත විවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට ’’ප්‍රීතියෙන් මම් ඒසා දැඩිවූ දුෂ්කර ක්‍රියායෙන් මිදුනෙම් වෙමි. ඒ අවැඩ පිණිසවූ ( අවැඩ ඇසුරු කළ ) දුෂ්කරක්‍රියායෙන් ඒකාන්තයෙන් මනාව මිදුනෙම් වෙමි. ස්ථිරව එළඹ සිටි සිහි ඇතිව සත්‍යාවබෝධය ලදිමි.’’ යි මෙසේ සිතක් පහළ විය.

එකල පවිටුවූ මාර තෙම භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැනගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ගාථායෙන් මෙසේ කීය:

’’යම් තපසෙකින් සත්වයෝ පිරිසිදු වෙත්ද, එසේවූ ඒ දුෂ්කර ක්‍රියා තපසින් ඉවත්ව, අශුධවම හිඳ, ’ශුද්‍ධයෙමි’ යි සිතන්නේහිය. ශුද්‍ධයට යන මග වරදවා ගත්තෙහිය.’’

එවිට භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු වසවත් මරු යයි දැන ඔහුට ගාථාවලින් මෙසේ වදාළසේක.

’’යම්කිසි අමර තපසක් ( ශරීරයට දුක් දීමෙහි යෙදීමක් ) වේද, එය අවැඩම පිණිස පවතීයයි. වනයෙහි රිටි පලුපත් ( හබල් සුක්කානම් ) ගෙන නැවක් ගෙන නැවක් පදවන්නට තැත් කිරීමක් මෙන් සියලු අනර්‍ථය ගෙන දෙන්නේයයි දැන,

’’ ශීල - සමාධි - පුඥා යන මාර්‍ගය සත්‍යාවබෝධය පිණිස වඩා පරම ශුද්‍ධිය ( රහත් බව ) අත්පත් කෙළෙමි. මරුව, තෝ පැරදුනෙහිය.’’

එවිට පාපී මාර තෙම, ’භාග්‍යවත්තෙම මා දනී, සුගතතෙමේ මා හඳුන’’ යි සිතා ශෝකීව දොම්නස්ව එහිම අතුරුදහන් විය.