සංයුත්තනිකායො

සගාථ වර්ගය

4. මාර සංයුත්තය

2. දෙවෙනි ( රජ්ජ ) වර්‍ගය

3. සකලික සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසළ මද්දකුච්ඡි නම් මුව වෙනෙහි වැඩවසනසේක.

එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ගේ පය ගල් පතුරෙකින් පැහැරුනේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ ගේ ශරීරයෙහි හටගත් දැඩිවූ, රළුවූ, නොමිහිරිවූ, නොමනාවූ මහත් දුක් වේදනා පැවැත්තේය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ඒ හැම එළඹ සිටි සිහි ඇතිව, නුවණ ඇතිව, නොපෙළමින් ඉවසති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර හතරට නමා එළා ( දකුණු ) පය මත ( වම් ) පය මඳක් ඉක්මවා තබා සිහි නුවණ ඇතිව උතුම් සැතපුමෙන් සැතපුණුසේක.

එවේලෙහි පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:

’’සිහි මුළායෙන් නොහොත් කවි බැඳීමට සිත සිතා කවි බැඳුමෙන් මත්ව නිදන කවියෙකු මෙන් මත්ව නිදන්නෙහිද? කළයුතු ( අන් ) බොහෝ වැඩ යුෂ්මතාට නැද්ද? කිසිවෙකු නැති මේ සස්නෙහි මේ කුමට තනිව නිදිබර මුහුණ ඇතිව නිදන්නෙහිද?’’

( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) මුළායෙකින් නොමනිදමි. කවි බැඳීමට සිත සිතා කවි බැඳුමෙහි මත්ව නිදනා කවියෙකු මෙන් මත්ව නිදන්නෙක්ද නොවෙමි. අර්‍ථයට පැමිණෙන එහෙයින්ම පහවූ ශෝක ඇතිව, සියලු සතුන්ට අනුකම්පා ඇතිව, කිසිවකු නැති සෙනස්නෙහි තනිව සැතපෙමි.

’’යම් කෙනෙකුන්ගේ පපුවෙහි ( කෙලෙස් ) හුල ඇනුණේද, එහෙයින්ම සැනෙන් සැනෙන් ළය සැලෙනුයේද, ඒ ( කෙලෙස් ) හුල් ඇති, ඔහු පවා නිදි ලබත්. එසේ කල්හි පහවූ සියලු හුල් ඇති මේ මම් කවර හෙයකින් නොනිදම්ද?

’’මම් වූකලී අවදිව ඉඳිමිනුත් සැක බිය නොගනිමි. නිදන්නට වුවද සැක බිය නැතියෙමි. රෑ දවල්හු මා නොතවත්. ලොව කිසිම තැනෙක ( මට ) පිරිහීමක් නොදකිමි. එබැවින් සියලු සත් වග කෙරේ දයාවෙන් සැතපෙමි.

එවිට පාපී මාරයා ’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.