සංයුත්තනිකායො

සගාථ වර්ගය

4. මාර සංයුත්තය

3. තුන්වෙනි වර්‍ගය

1. සම්බහුල සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය රටෙහි සීලාවතී ගමෙහි වැඩවසනසේක.

එකල වනාහි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට නොදුරු තැන, එළඹ සිටි සිහි ඇතිව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන්කරා මෙහෙයූ සිත් ඇතිව, වෙසෙත්.

එකල්හි පාපී මාරයා බමුණු වෙසක් මවාගෙන, මහත් ජටාවක් බැඳගෙන, අඳුන් දිවි සම් හැඳ පොරවාගෙන, මහලුව වකුටු පරාලයක්සේ වක්වූ ශරීරයක් ඇතිව, ඝුරු ඝුරු යන හඬින් හුස්ම පිට කෙරෙමින්, දිඹුල් සැරයටියක් අතින් ගෙන, ඒ භික්‍ෂූහු යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, ’’පැවිදිවරු ළපටියහ, තරුණයහ, කළු කෙහෙ ඇතියහ, මනා තරුණ භාවයෙන් යුක්තයහ, කම්සුව නොවිඳියෝහ. භවත්හු මිනිස් කම්සැප විඳිත්වා. දැන් මේ ආත්මයෙහි වින්දයුතු සැප හැර, කල් ගොසින් වින්දයුතු සැපක් ඔස්සේ නොදුවත්වා’’ යි කීය.

එවිට ඒ භික්‍ෂූහු, ’’බමුණ, මේ ආත්මයෙහිදී වින්දයුතු සුව හැරදමා කල් ගොසින් ලැබෙන සැපක් ඔස්සේ අපි නොදුවමු. බමුණ, කල් ගොසින් ලැබෙන සැප හැර දමා මේ ආත්මයෙහිදීම ලැබියයුතු සැප ඔස්සේ දුවමු. බමුණ, ’ කම්සැප වනාහි කල් ගොසින් ලැබෙන දෙයක, බොහෝ දුක් ඇති එකෙක, දැඩි වෙහෙස ඇතිඑකෙක. මෙහි දොස් බොහෝයැ’ යිද, ’මේ ලොවුතුරා දහම වනාහි මේ ආත්මයෙහිම කමා විසින්ම වින්දයුතුය. කල් නොයවා සැප පල දෙන ස්වභාව ඇත්තේය, එව බලවයි කියයුතුය. තම සිත්හි පමුණුවාලීමට සුදුසුය. නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහිලා දතයුතුයැ’ යිද, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදැ’’ යි කීහ.

මෙසේ කී කල්හි පාපී මාරයා තම හිස පහතට වනා, දිව දික්කොට ලෙලවා, බැම හකුළුවා, නලළෙහි තුන් රුළි නංවා, සැරයටියට බරව ( එබී ) නික්ම ගියේය.

ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්හ. එක් පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය.

’’ස්වාමීනි, අපි මෙහි භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි නොපමාව එළඹ සිටි සිහි ඇතියෝව, කෙලෙස් කවන වීර්‍ය්‍ය ඇතියෝව, නිවන්කරා මෙහෙයූ සිතැතියෝව, විසීමු. එකල එක්තරා මහලුවූ, වකුටු පරාලයක්සේ වක්වූ බමුණෙක් ජටාවක් බැඳගෙන, අඳුන් දිවි සම් හැඳ පෙරවා, ඝුරු ඝුරු යන ශබ්දයෙන් හුස්ම පිට හෙලමින්, දිඹුල් ලීයෙන් කළ සැරයටියක් ගෙන, අපකරා පැමිණියේය. පැමිණ, ’’ භවත් පැවිදිවරු ළපටියහ, තරුණයහ, කළු කෙහෙ ඇතියහ, මනා තරුණ බවෙන් යුක්තයහ, කම්සැප නොවිඳියෝහ. භවත්හු මිනිස් කම්සැප විඳිත්වා. දැන් මේ ආත්මයෙහි වින්දයුතු සැප හැර, කල් ගොසින් වින්දයුතු සැපක් ඔස්සේ නොදුවත්වා’’ යි අපට කීය.

’’ ස්වාමීනි, එසේ කී කල අපි ඔහුට, ’ බමුණ, මේ ආත්මයෙහිදී වින්දයුතු සැප හැරදමා කල් ගොසින් ලැබෙන සැපක් ඔස්සේ අපි නොදුවමු. බමුණ, ’ කම්සැප වනාහි කල් ගොසින් ලැබෙන දෙයකි, බොහෝ දුක් ඇති එකෙක, දැඩි වෙහෙසක් ඇති එකෙක. මෙහි දොස් බොහෝය’ යිද, ’මේ ලොවුතුරා දහම වූකලී කල් නොයවා සැප ඵල දෙන ස්වභාව ඇත්තේය, එව බලවයි කියයුත්තෙක. තම සිත්හි පමුණුවාලීමට සුදුසුය. නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහිලා දතයුතුයැ’ යිද, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදැ’’ යි කීමු.

’’ ස්වාමීනි, මෙසේ කී කල්හි ඒ බමුණුතෙම හිස පහතට වනා, දිව දික්කොට ලෙලවා, බැම හකුළුවා, නලළෙහි තුන් රුළි නංවා, සැරයටියට බරව, නික්ම ගියේය.’’

එවිට භාග්‍යවතුන් වහන්සේ: ’’ මහණෙනි, ඒ බමුණෙක් නොවේ. ඒ පාපී මාරයාය, තොපගේ නුවණ ඇස් වසාලන්නට ආයේය’’ යි වදාළසේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ සලකා එවේලෙහි මේ ගාථාව වදාළසේක.

’’යමෙක් දුක පස්කම් සැපක් මුල්කොට පවතීයයි දිටීද, ඒ සත්ත්‍වතෙම ඒ කම්සැප කෙරෙහි කෙසේනම් නැමිය හැක්කේද? කම්සැප ලොව සතුන් ලැගෙනා දේයයි දැන සත්ත්‍වතෙම එයම දුරලනු පිණිස හික්මෙන්නේය.’’