සංයුත්තනිකායො

සගාථ වර්ගය

4. මාර සංයුත්තය

3. තුන්වෙනි වර්‍ගය

2. සමිද්ධි සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි සීලාවතියෙහි වැඩවසනසේක.

එකල වනාහි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් අතට මෙහෙයූ සිතැතිව වෙසෙති.

එකල වනාහි තනිව විවේකයෙන් හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ට ’යම් බඳුවූ මාගේ ශාස්තෲන්වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්‍ධද, ඉන් මට වූයේ ඒකාන්කයෙන් මහත් ලාභයෙක. මා ආත්මභාවය හොඳාකාර ලදුයේය. යම්බඳු මම් හොඳාකාර දෙසූ දහම් විනයෙහි ( සස්නෙහි ) පැවිදි වීම්ද, ඒ මට වූයේ මහත් ලාභයෙක. ඒ මා විසින් ආත්මභාවය මැනවින් ලදුයේවන. යම්බඳු මගේ සබ්‍රහ්මචාර්‍ය්‍යවරු සිල්වත් වෙත්ද, මනා ස්වභාව ඇතියෝ වෙත්ද, ඒ මට වූයේ මහත් ලාභයෙක. ඒ මා ආත්මභාවය මැනවින් ලදුයේය’ යි මෙසේ සිතෙහි කල්පනාවෙක් උපන.

එකල පාපී මාරයා, කම සිතින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුන්ගේ සිත දැන, සමිද්ධි ආයුෂ්මතුන් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, සමිද්ධි ආයුෂ්මතුන්ට නොදුරෙහි පොළොව පැළී යන කලෙක සෙයින් බිය උපදවන මහත් භයානක හඬක් කෙළේය.

ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්හ. එසේ එක් පසෙක හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

’’ ස්වාමීනි, මම මෙහි භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් අතට මෙහෙයූ සිතැතිව, විසීමි තනිව විවේකයෙන් හුන් ඒ මට යම්බඳුවූ මාගේ ශාස්තෲන්වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්‍ධද, ඉන් මට වූයේ මහත් ලාභයෙකි. යම්බඳුවූ මම් යහපත්කොට දෙසූ ධර්‍ම විනයෙහි පැවිදි වීම්ද, එයින් මට වූයේ මහත් ලාභයෙකි. මාගේ බ්‍රහ්මචාර්‍ය්‍යවරු සිල්වත් වෙති, ගුණවත් වෙති, ඉන් මට වූයේ මහත් ලාභයෙක. මෙසේ කල්පනාවෙක් උපන. ස්වාමීනි, ඒ මා නොදුරෙහි පොළොව පැළී යන්නා බඳුවූ බිය උපදවන මහත් භයංකාර මහ හඬෙක් විය’’ යි,

එවිට භාග්‍යවතුන් වහන්සේ: ’’සමිද්ධිය, ඒ පොළොව පැළීගියා නොවේ. ඒ පාපී මාරයා තොපගේ නුවණ ඇස අඳුරු කරන්නට ආයේය. සමිද්ධියෙනි, තෙපි යව්. එහිම, නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව වසවු’’ යයි වදාළසේක.

’’ එසේය, ස්වාමීනි,’’ යි කියා ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට උත්තර දී හුන් අස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණුකොට නික්මියේය.

දෙවෙනිවරද ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ එහිම, නොපමාවම, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා යොමුකළ සිතැතිව විසූහ. දෙවෙනිවරද තනිව ආයුෂ්මත් සමිද්ධි තෙරුන්හට ’යම් බඳුවූ මාගේ ශාස්තෲන්වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්‍ධද, ඉන් මට වූයේ මහත් ලාභයෙකි. යම්බඳුවූ මම යහපත්කොට දෙසූ ධර්‍ම විනයෙහි පැවිදි වීම්ද, එයින් මට වූයේ මහත් ලාභයකි. මාගේ සබ්‍රහ්මචාර්‍ය්‍යවරු සිල්වත් වෙති. ගුණවත් වෙති, ඉන් මට වූයේ ලාභයෙක. මා විසින් ආත්මභාවය මැනවින් ලද්යේය’ යි මේ කල්පනාව සිතෙහි පහළවිය. දෙවෙනිවරද පාපී මාරතෙම, ආයුෂ්මත් සමිද්ධි තෙරණුන්ගේ සිතෙහි කල්පනාව කම සිතින් දැන, සමිද්ධි ආයුෂ්මතුන් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ පොළොව පැළී යන කලෙක සෙයින් බිය උපදවන මහ භයංකාර හඬක් කෙළේය.

එවිට ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ’මේ පාපී මාරයා’ යි දැන, පාපී මාරයාට ගාථායෙන් මෙසේ කීය:

’’මම ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදිවූයෙම්. ඒ මගේ සිහියත් ප්‍රඥාවත් වැඩුණහ. මගේ සිත මැනවින් පිහිටුවන ලද්දේ වේ. තට කැමැතිසේ බිහිසුණුදේ කරව. එහෙත් තෝ මා නොසොලවන්නෙහි.’’

එවිට පවිටු මරතෙම ’සමිද්ධි මහණතෙම මා දනීය’ යි දුක් ඇතිව, දොම්නස් ඇතිව, එහිම අතුරුදන්විය.