සංයුත්තනිකායො

සගාථ වර්ගය

4. මාර සංයුත්තය

1. පළමු ( ආයු ) වග

3. සුභ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කාලයෙහි උරුවෙල් දනව්හි අජපල් නුගරුක මුල වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ දැඩි ගනඳුරු රැයෙහි එළිමහනෙක හුන්සේක් වේ. වැහි පොද ද එක දෙක වැටෙයි.

එකල පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ ට බිය, වෙවුලුම හා ලොමු දැහැගැන්ම උපදවනු කැමැත්තෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි කුදු මහත් නොයෙක් ආකාර පියකරු බියකරු වෙස් විලස් දැක්වීය.

එවිට භාග්‍යවතුන් වහන්සේ ’මේ පාපී මාරයාය ’ යි දැන පාපී මාරයාට මෙසේ ගාථායෙන් වදාළසේක:

’’ දික් කලක්ම ප්‍රියවූත් අප්‍රියවූත් වෙස් ගෙන තෝ මා වෙත නැවත නැවත එන්නෙහිය. එයින් පව්කාරය, තට වැඩෙක් නැත තෝ ( පැරදුණෙහි )ය.’’

’’ යම් කෙනෙක් කයින්, වචනයෙන්, සිතින් මනාව හික්මුනාද මරුව, ඔවුහු තා යටතට නොඑන්නාහ. මරුව, ඔහු තගේ බැම්මට අසු නොවන්නාහ.

එවිට පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ තමා දනිතැයි, සුගතයෝ තමා හඳුනතැයි සිතා දුක් දොම්නස් වූයේ එහිම අතුරුදහන් විය.