සංයුත්තනිකායො

සගාථ වර්ගය

4. මාර සංයුත්තය

1. පළමු ( ආයු ) වග

7. සුප්පති සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දප නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙනසේක.

එකල භාග්‍යවතුන් වහන්සේ දවසෙක රෑ බොහෝ වේලාවක්ම සක්මන්කොට රෑ ඉතා අලුයම්හි පා සෝදා විහාරයට ඇතුල්වී, දකුණු පය මත වම් පය මඳක් ඉක්මවා තබා, සිහිනුවණ ඇතිව, ’අසුවල් වේලෙහි නැගී සිටුම්හ’ යි අදහස සිත්හි කොට, දකුණු ඇලයෙන් උත්‍රම් සැතපුම ( සිංහශය්‍යාව) කළසේක.

එකල්හි පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථායෙන් මෙසේ කීය:

’’ කිමෙක්ද, නිදන්නෙහිද? කුමට නිදන්නෙහිද? මළ එකකු සෙයින් මේ කුමට සැතපෙන්නෙහිද? ’මට හිස් ගෙයක් ලැබිණැ ’ යි සිතා සැතපෙන්නෙහිද? මේ හිරු නැගි කල්හි කවර හෙයින් නිදන්නෙහිද?’’

( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ) ’’ දැලක් බඳුවූ ඒ ඒ රූපාදීවූ අරමුණෙහි ඇලෙන

තෘෂ්ණාව කිසි අරමුණකට ( තමා ) පමුණුවන්නට ( හැකිසේ ) යමකු තුළ නැද්ද, එසේවූ බුදුවරතෙම සියලු උපධි නසා ලීමෙන් (සුවපත්ව ) සැතපෙන්නේය. මරුව මෙහි ලා තට කවර වැඩෙක්ද?’’

පාපී මාරයා එය අසා, ’ භගවත්හු මා හැඳිනගත්හ, සුගතයෝ මා දැනගත්හයි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.